IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මහ කොටියා හිටියා නම් අද හැටයි

දෙමළ ඊළම සදහා වන විමුක්තිකාමි කොටි සංවිධානයේ නායකයාවූ වේලූපිල්ලේ ප්‍රභාකරන් අද දිනයේ ජීවත්ව සිටියානම් ඔහු තම 60 වැනි උපන්දිනය පසුගිය නොවැම්බර් 26 වැනිදා සමරන්නට ඉඩ තිබුණි.

2009 වසරේ මැයි මස 19 වැනිදා මුලතිව් දිස්ත්‍රික්කයේදී ආරක්ෂක අංශ අතින් ඝාතනයට ලක්වූ ඔහු හා ශ්‍රී ලංකා දේශපාලනයේ කොටසක්ද වැළලී ගිය බව කිව හැකිය.දශක 3 ක් පුරාවට දිග්ගැස්සුණු යුද්ධය මෙරට දේශපාලන ගමන් මග තීරණය කළ ප්‍රධාන සාධකයක් විය.ප්‍රභාකරන් මියගොස් ඇතත් යුද්ධයේ අමිහිරි මතකයන් ශ්‍රී ලංකා දෙමළ ජනතාව අතරින් මැකී ගොස් නැත.අතිශයින් පීඩාකාරී කාලයක් ගෙවී මේ උදාවී ඇති සාමකාමී වාතාවරණයේ ඔවුන් යුද සමයේ කැඩී බිදී විසිරී ගිය ඔවුන්ගේ ජීවිත නැවත වරක් ගොඩනගා ගැනීමට උත්සාහ කරමින් සිටී.

දෙමළ ඊළම සදහා වූ අරගලය අවිගත් අරගලයකට පත්වීමත් එය කාලයත් සමග පරිනාමය වීමත් දේශපාලනිකමය හා මිලිටරිමය මුහුණුවරකින් යුත් අවිගත් දෙමළ කණ්ඩායම් රාශියක උපත සදහා තිඹිරිගෙය සකස් කර දුන් වාතාවරණයක් විය.තත්ත්වය කෙතරම් දරුණු වූවේද යත් එක් අවස්ථාවක මෙසේ ඊළම වෙනුවෙන් සටනට බට කණ්ඩායම් ගණන 34 ක් වැනි ඉහළ අගයක් ගති.ප්‍රමාණයෙන් විශාල මෙන්ම කුඩා කණ්ඩායම්ද මේ අතර විය.නමුත් මේ කණ්ඩායම් සියල්ල අතරින් අරගලයට සක්‍රීයවම දායකවී එයට දශක 3 කට ආසන්න කාලයක් පුරාවටම ජීවය දුන්නේ එල්.ටී.ටී.ඊ සංවිධානයයි.සංවිධානයේ නායක ප්‍රභාකරන් ඊළම දිනාගැනීම සදහා වූ අරගලයේ නියමුවා විය.1976 වසරේ මැයි මස 5 වැනිදා මෙලොව එළිය දුටු එල්.ටී.ටී.ඊ සංවිධානය 2009 වසරේ මැයි මස 19 වැනිදා ඔහුත් සමගම මියයන තෙක් ඔහු අවසානය දක්වාම වෙනම දමිළ රාජ්‍යයක සිහිනය සැබෑ කරගැනීම සදහා වූ සටනට නායකත්වය දුනි.

එක් පිස්තෝලයක් ඇතිව වෙනම රාජ්‍යයක් සදහා වූ සටන ආරම්භ කළ ප්‍රභාකරන් අනතුරුව ගතවූ අවුරුදු කිහිපයේදී එල්.ටී.ටී.ය, සෙවණැලි රාජ්‍යයක,එනම් අන්තර්ජාතික වශයෙන් හෝ දේශීය වශයෙන් හෝ රටක් ලෙස හදුනානොගත් ප්‍රදේශයක පාලනය දැරීමට තරම්,එම ප්‍රදේශයට එල්.ටී.ටී.ඊ යටම අනන්‍යවූ අනන්‍යතාවක් ලබාදීමට තරම් දියුණු සංවිධානයක් බවට පත්කළේය.මේ සෙවණැලි රාජ්‍යයේ ඔහු ‘‘දෙමළ ජාතික නායකයා‘‘ විය.(තේසියාත් තෙලෙවර්).ජීවත්ව සිටි සමයේදී අනුගාමිකයෝ හා ආධාකරුවෝ ඔහු දේවත්වයෙහි ලා සැළකූහ.එල්.ටී.ටී.ඊ සංවිධානයේ දේශපාලන නායක ඇන්ටන් බාලසිංහම් වරෙක ඔහුව හදුන්වාදුන්නේ දෙමළ ඊළාම් රාජ්‍යයේ ජනපති හා අගමැතිවරයා ලෙසය.ලොව බලවත්ම යැයි සැළකුණු ගරිල්ලා සංවිධානයක නායකයාවූ ප්‍රභාකරන් මියගිය පසුවුවද ඔහුගේ බලය අවසන් නොවන බව පෙන්වීම ඔහුගේ අනුගාමිකයින්ගේ අරමුණ වූ අතර ඔවුහු ඔහුව ‘‘සූර්යදේවන්‘‘ (හිරු දෙවියා) යන වන්දනීය තත්ත්වයට එසවූහ.

අවුරුදු ගණනාවක් පුරාවට බලයේ හිනිපෙත්තේම විරාජමාන වූවද නම්‍යශීලීවීමට තිබුණු නොහැකියාව හෝ නුවුමණාව නිසා ඔහුට ඔහුගේ සංවිධානය,ඔහුගේ පවුල, අවසානයේ ඔහුගේ ජීවිතයද අහිමිවූයේ අවාසනාවන්ත ලෙසය.මැයි මස 19 වැනි බ්‍රහස්පතින්දා දිනයේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායකයාවූ 54 හැවිරිදි ප්‍රභාකරන්ගේ සිරුර මුලතිව් දිස්ත්‍රික්කයේ නන්දිකඩාල් (හක් ඛෙල්ලන්ගේ මුහුද) කලපුවේ පාවෙමින් තිබියදී සොයාගැනින.වැලි පොළව මත සතපා තිබුණු ප්‍රභාකරන්ගේ අඩ නිරුවත් දේහය දෙස වරෙක ඔහුගේ සමීපතමයෙකුවූ ‘‘කොල්‘‘කරුණා බලාසිටිනු සටහන්ව තිබූ ඡායාරූපයක් දෛවය නම් මේ යැයි මොනවට කියා පෑය.

බලාපොරොත්තුවේ පුනරුදය

ප්‍රභාකරන්ගේ අවසානයත්,එල්.ටී.ටී.ඊ සංවිධානයේ පරාජයත් සමග දිගු කාලයක් තිස්සේ ගැටුම් වලට මැදිව පීඩා විදිමින් සිටි දෙමළ ජනතාවගේ ජීවිත වලට අන්තිමේදී සහනයක් ලැබෙන ලකුණු පෙනෙන්නට ගති.ගැටලූ රැසක් විසදා ගැනීමටත් බාධක රැසක් තරණය කිරීමටත් ඇති බව සැබෑය.යුධ සමයේ අදුරු උමගක අන්තයේ දකින ආලෝක පුංජයක් බදුවූ අනාගතය පිළිඹද වූ බලාපොරොත්තුව යුද්ධයේ අවසානයත් සමග දසත එළිය විහිදුවමින් බබලන්නට පටන්ගෙන ඇත.මේ ලියන්නා වසර 25 කට පසු නැවත ශ්‍රී ලංකාවට පැමිණ ගතකළ පසුගිය කාලයේදී එය හොදින් අත්වින්දේය.උතුරේ ජනතාවගේ බලාපොරොත්තු දලූලා වැඩෙමින් තිබේ.කොටි සාමාජිකයින්ට අසුවේයැයි බියෙන් නිවෙස් වල සැගවුනු දරුවෝ දැන් ප්‍රීතියෙන් පාසැල් කරා යති.එය යුද්ධයේ අමිහිරි අත්දැකීම් අත්විද ඇති මේ ලියන්නාට සිත නිවා සනසන දසුනක්වූ බව සදහන් කළ යුතුය.

මෙවර තීරු ලිපිය එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ ජීවන තොරතුරු වෙනුවෙන් මා වෙන් කරන්නේ රටෙහි මෙවන් තත්ත්වයක් පැවතියදීය.ඔහුගේ 60 වැනි ජන්ම දිනයද ළගම පැමිණේ.නමුත් මෙම ලිපිය ඔහුගේ චරිතාපදානයක් හෝ ඔහු ගැන ප්‍රශස්ති ගායනාවක් හෝ නොවේ.අඩුම තරමේ චිචාරයක් හෝ විශ්ලේෂණයක්ද නොවේ.ප්‍රභාකරන් යනු කවුදරෑ ඔහු කවර ආකාරයේ පුද්ගලයෙකුවීදරෑ යන්න ඔහු ගැන වර්ණනාවකට නොයා පැහැදිලි කර දීම මාගේ උත්සාහයයි.මා මීට පෙර අවස්ථාවන් කිහිපයකදී ලියූ ලිපි වල ඔහු ගැන කරුණු සදහන් කළ අතර මේ ලිපිය සකස් කිරීමේදී එම ලිපිවලින්ද බොහෝ තොරතුරු ලබා ගැනීම මගේ අපේක්ෂාවයි.

තිරුවෙන්ගදම් වේලූපිල්ලේ ප්‍රභාකරන් 1954 නොවැම්බර් මස 26 වැනිදා උපත ලැබීය.ඔහු ගැහැණු දරුවන් දෙදෙනෙක් හා පිරිමි දරුවෙකු සිටි පවුලකට අලූතින් එකතුවූ පවුලේ බඩපිස්සා විය.ඔහුගේ එක් සහෝදරියක් අද දිනයේ කැනඩාවේ ජීවත් වන අතර අනෙක් සහෝදරිය තම මුලූ පවුල පිටින්ම ඉන්දියාවට සංක්‍රමණයවී සිටී.ඔහුගේ එකම සහෝදරයා ඔහුගේ පවුල හා සිටින්නේ ස්කැන්ඩිනේවියාවේය.ප්‍රභාකරන්ගේ දෙමව්පියෝ වන්නි උතුරු ප්‍රදේශයේ ජීවත්වූහ.පසුව ඔවුන් ආරක්ෂක අංශ වෙත භාරවූ අතර එම දෙදෙනාව ආරක්ෂා සහිතව රැදවුනි.පියාගේ නම වීරසාමි තිරුවෙන්ගදම් වේලූපිල්ලේය.මවගේ නම පාර්වතීපිල්ලේය.ඇයගේ උපන් නමද වේලූපිල්ලේ වීම විශේෂය.ආරක්ෂක අංශ භාරයට පත්වන විට වියපත් අවදියේ සිටි ඔවුන් දෙදෙන අද ජීවතුන් අතර නැත.

ප්‍රභාකරන්ගේ පවුලේ උදවියගේ උපන් බිම උතුරුකරයේ පිහිටි වෙරළාශ්‍රීත නගරයක් වන වැල්වැටිතුරෙයි (වී.වී.ටී.) ය.ඔහුගේ පියා රාජ්‍ය සේවයට එක්වූ අතර පසුව ඉඩම් හා ඉඩම් සංවර්ධන දෙපාර්තමෙන්තුවේ දිස්ත්‍රික් ඉඩම් නිළධාරියෙකු බවට පත්විය.මා සිතන හැටියට ඔහු ගාමිණී දිසානායක මහතා ඉඩම් සංවර්ධන අමාත්‍යධූරය දැරූ සමයේ තම රැකියාවෙන් විශ්‍රාම ගෙන තිබේ.වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ ජනතාව අතර ප්‍රභාකරන්ගේ පවුලේ සාමාජිකයින්ට ඉහළ ස්ථානයක් හිමිව තිබුණි.ඔවුන්ව ජනතාව හැදින්වූයේ ‘‘තිරුමනෙයි කුඩුම්බම්‘‘ හෙවත් තිරුමනෙයි පවුලට අයත්වූවන් ලෙසය.තිරුමනෙයි පවුලේ මුතුන්මිත්තෝ වැල්වැටිතුරෙයි හි ප්‍රකට සිවම් දේවාලය ඉදිකළෝ වෙති.දේවාලයේ භාරකරු තනතුර ප්‍රභාකරන්ගේ පියා සතුවිය යුතුවුවත් රාජ්‍ය සේවයේ නිරතව සිටි නිසා ඔහු එය ප්‍රතික්ෂේප කර තිබෙන බව සදහන්ය.

එල්.ටී.ටී.ඊ නායකයාගේ පියා රාජකාරිය දේවකාරියටත් ඉහළින් සැළකූ පුද්ගලයෙකු විය.මැදහත් ගතිගුණ තිබුණු ඔහු ප්‍රදේශයේ වැසියන්ගේ ආදර ගෞරවයටත් පාත්‍ර වුනි.

වේලූපිල්ලේ මහත්තයාගේ පයට පෑගෙන තණකොළ පවා පොඩිවන්නේ නැතැයි එවක වැල්වැටිතුරෙයි හි ජනතාව අතර කතාවක්ද පැවතුණි.පසුව පියා හා පුතා එකිනෙකා සන්සන්දනය කරමින් නොයෙකුත් මතිමතාන්තර ඉදිරිපත් විය.වේලූපිල්ලේ මහතා තම පුත්‍රයා තෝරාගත් මාර්ගය දැඩිව ප්‍රතික්ෂේප කළ අයෙකි.මේ නිසාම ඔහු ප්‍රභාකරන් හා අවුරුදු ගණනාවක් යනතෙක්ම වචනයකුදු හෝ කතා නොකර සිට ඇත.

කරිකාලන්

ප්‍රභාකරන් යන නාමයෙන් අර්ථ ගැන්වෙන්නේ සූර්යයායි (දෙමළ බසින් සූරියන්).පසුව ඔහුගේ අනුගාමිකයෝ ඔහුව ‘‘සූර්යදේවන්‘‘ හෙවත් ‘‘හිරු දෙවියා‘‘ ලෙස හැදින්වීමට පටන් ගත්හ.නිවසේදී ඔහුට අඩගැසුණේ ‘‘තම්බි‘‘ (මල්ලි) යැයි කියාය.අවිගත් අරගලයට අඩුම වයසින් එකතුවූ සාමාජිකයා වීමෙන් තම්බි යන සුරතල් නාමය ප්‍රභාකරන්ගේ ළමා අවදියට පමණක් සීමා නොවී පසුවටද ඔහුව හැදින්වීමට යොදාගැනුනි.මානි, මනිවනන්, මානියම් වැනි අනවර්ථ නාමයන්ද වරින් වර තමන්ව හදුන්වාගැනීමට ප්‍රභාකරන් භාවිතා කළේය.නමුත් ඒවා අතරින් ඔහු වඩාත්ම යොදාගත්තේ ‘‘කරිකාලන්‘‘නම් අනවර්ථ නාමයයි.

කරිකාලන් යනු ‘‘වෙන්ගායි‘‘ හෙවත් චීටාවෙකුගේ රුව තම ජය සංකේතය බවට පත්කරගෙන සිටි චෝල අධිරාජ්‍යයෙකු වන තිරුමාවලවාන් හැදින්වීමට යොදාගැනුනු නාමයකි.ඔහුගේ පැරණි මිත්‍රයෝ ප්‍රභාකරන්ව ‘‘මනියත්තාර්‘‘ නමින් හැදින්වූහ.සමකාලීනයින්ට ඔහු ‘‘තම්බි‘‘ විය.තරුණ එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ට ඔහු ‘‘අන්නා‘‘ හෙවත් වැඩිමහලූ සහෝදරයා විය.තවත් කලක් ගතවූ පසු ඔහු ‘‘තෙලෙයිවර්‘‘ (නායකයා) ලෙස හැදින්වෙන්නට විය.පසුව එය ‘‘තේසිය තෙලෙයිවර්‘‘ ‘‘ජාතියේ නායකයා‘‘ බවට පත්වුනි.ග්‍රාමීය ව්‍යවහාරයේදී ඔහුව ‘‘පෙරිසු‘‘ එනම් ‘‘ලොක්කා‘‘ ලෙස හැදින්වුනි.පියාට නිතරම ස්ථාන මාරුවීම් ලැබීම නිසා ප්‍රභාකරන් යාපනයේ, වව්නියාවේ, හා මඩකලපුවේ පාසැල් රැසක අධ්‍යාපනය හැදෑරීය.ඔහු අවුරුදු ගණනාවක් එක දිගට අධ්‍යාපනය ලැබූයේ මඩකලපුව රජයේ විදුහල (අද දින මහජන විදුහල) හා වැල්වැටිතුරෙයි හි චිඩම්පර විදුහල යන පාසැල් වලය.ඔහු කිසිදිනෙක ආදර්ශවත් ශිෂ්‍යයෙක් නොවීය.ඔහු අධ්‍යාපනය ලබා ඇත්තේද සාමාන්‍ය පෙළ දක්වා පමණකි.මෙයින් ඔහු මුග්ධයෙකු හෝ දැනුම් පිපාසයක් නැතියෙකු බව අදහස් නොකෙරේ.ඔහුට තිබුණේ පාසැලේ පන්ති කාමරයකින් ලබන අධ්‍යාපනයට වඩා වැඩි යමක් ලබාගැනීමේ අරමුණකි.

ප්‍රභාකරන්ට ඉතා හොද මතකයක් තිබුණු අතර ඔහු කියවීමේ රුසියෙක්ද විය.කියවීමේදී ඔහුගේ සිත් ඇදගත්තේ ඓතිහාසික සංග්‍රාමයන් පිළිඹද තොරතුරු ලියවී තිබූ පොතපතය.නැපෝලියන් හා මහා ඇලෙක්සැන්ඩර් වැනි අධිරාජ්‍යයෝ ඔහුගේ වීරයෝ වූහ.ඉන්දියා නිදහස් අරගලයද ඔහුගේ අවධානය දිනා ගති.මහත්මා ගාන්ධි ලියූ ‘‘සත්‍ය සෝදනයි‘‘ කෘතියේ දෙමළ පරිවර්තනය ඔහු තම තරුණ වියේදී කියවීය.නමුත් එම කෘතිය ගැන ඔහුගේ වැඩි පැහැදීමක් නොතිබුණි.

සුභාෂ් චන්ද්‍රා බෝස්

ඉන්දියා නිදහස් අරගලයේ ඔහුගේ වීරයා වූයේ නෙටාජි හෙවත් සුභාෂ් චන්ද්‍රා බෝස්ය.එකම අරගලය වෙනුවෙන් පෙනී සිටියද ඔහු හා මහත්මා ගාන්ධි අතර මතවාදමය ගැටුමක් පැවතුණි.එක් අවස්ථාවකදී මහත්මා ගාන්ධිගේ අවිහිංසාවාදයට ප්‍රසිද්ධියේම විරෝධය පළ කළ ඔහු ඉන්දියා ජාතික හමුදාව පිහිටුවාගත්තේය.ඔහුගේ අරමුණ වූයේ අවිගත් අරගලයක සහයෙන් බ්‍රිතාන්‍යයින් පරාජය කිරීමයි.මේ වෙනුවෙන් පසුව බෝස් ජර්මානු හා ජපාන පාර්ශවයන් හා සම්බන්ධ වුනි.අද්භූත ලෙස සිදුවූ ගුවන්යානා අනතුරකින් මියයන තෙක්ම ඔහු ඉන්දියා නිදහස් අරගලය වෙනුවෙන් කැපවී කටයුතු කළේය.ඔහුගේ එක් ප්‍රකට කියමනක් වන්නේ ‘‘මාගේ දේශයේ නිදහස වෙනුවෙන් මම මාගේ අන්තිම ලේ බිදුව දක්වාම සටන් වදින්නෙමි‘‘ යැයි ඔහුගේ එක් ප්‍රකට කියමනක් ඇත.මෙය ප්‍රභාකරන් තම හදවත ගැඹුරේම තැන්පත් කරගෙන තිබුණක් විය.

නෙටාජිට අමතරව ප්‍රභාකරන්ගේ සිත දිනාගෙන සිටි තවත් පුද්ගලයෙකුවූයේ සීක් ජාතික ස්වාධීන සටන්කාමියෙකුවූ බගර් සිංය. බ්‍රිතාන්‍යයන්ගේ අත්අඩංගුවට පත්වූ ඔහුට උරුමවූයේ දංගෙඩියයි.තමිල්නාඩුවෙන් කරළියට පැමිණි තවත් ස්වාධීන සටන්කාමීන් දෙදෙනෙකුද ප්‍රභාකරන්ගේ අවධානය දිනා ගැනීමට සමත්විය.එක් අයෙකු වනචිනාතා ඉයෙර් නම් විය.ඔහු තමිල්නාඩුවේ මයිනාච්චි දුම්රිය ස්ථානය ඉදිරිපිටදී තිරුනෙල්වෙලි දිස්ත්‍රික් බදු එකතුකරන්නාවූ ආශී හට වෙඩි තබා ඝාතනය කළ අතර පසුව පොලිසිය තමන් ලූහුබැද පැමිණෙන විට ගැලවීමක් නොමැති බව දැක තමන්ටම වෙඩි තබාගෙන සියදිවි හානි කරගත්තේය.අනෙකා වූයේ තිරුපූර් කුමරන්ය.පොලිසිය නොනවත්වා පහර දුන්නද භාරතමාතා ධජය අත නොහැර සිටි ඔහුගේ වීරත්වය සිහිකැදවනු වස් එම සිදුවීමේ පටන් ඔහුව හැදින්වුනේ ‘‘කෝඩි කාත කුමරන්‘‘ (ධජය බේරාගත් කුමරන්) ලෙසය.

භගවත් ගීතාව

ප්‍රභාකරන් භගවත් ගීතාව පදනම් කරගෙන තම ප්‍රතිපත්තීන් සකස් කරගෙන සිටියෙකි.මහාභාරතය ආශ්‍රයෙන් තැනුනු එන්.ටී රාමා රාවෝ ක්‍රිෂ්ණාටත් මුතුරාමන් අර්ජුනටත් පණ පොවන ‘‘කන්නන්‘‘ දෙමළ චිත්‍රපටියේ භගවත් ගීතාව සම්බන්ධ කොටස තිරය මත දිගහැරෙන්නේ මියුරු ගීතයක ස්වරූපයෙනි.‘‘මරනතායි එන්නි කලන්ගිඩුම් විජය‘‘ නම් වන එම ගීතය ප්‍රභාකරන්ගේ ප්‍රියතම ගීත අතරින් එකකි.එය ගයන්නේ සීරකාලි ගෝවින්දරාජන්ය.

ප්‍රභාකරන් ගේ ප්‍රතිපත්ති හා භගවත් ගීතාව අතර සම්බන්ධය පෙන්වා දුන් එක් පුද්ගලයෙකු වූයේ ශ්‍රී ලංකාවේ හිටපු ඉන්දියා මහ කොමසාරිස්වරයෙකු වන ජෝතින්ද්‍ර නාත් ඩික්සිත්ය.ඔහු මේ බව සදහන් කළේ ඉන්දියා සාම සාධක හමුදා හා එල්.ටී.ටී.ය සටන්වැද සිටි සමයේය.එය ඔහු ප්‍රභාකරන් ගැන ප්‍රශංසාත්මක ලෙස කළ සදහනක් ලෙස මම හදුනාගත්තෙමි.ඊට පෙර අවස්ථාවකදී ඩික්සිත් මා හා පවසා සිටියේ දැවෙන ගින්නක් ඇති හදවතක් ඇත්තේ ප්‍රභාකරන්නට පමණක් බවයි.ඒ වන විට ඔහු ප්‍රධාන පෙලේ සන්නද්ද කණ්ඩායම් 5 හිම නායකයින්, උමාමහේෂ්වරන් - ප්ලොට්, ශ්‍රී සුභරත්නම් - ටෙලෝ,පද්මනාබ - ඊපී.ආර්.එල්.එෆ්.බාලකුමාර් - ඒරෝස් හා ප්‍රභාකරන් - එල්.ටී.ටී.ඊ හමුවී සාකච්ඡා පවත්වා තිබුණි.

1985 වසරේ එවක දිවයිනේ ආරක්ෂක ඇමතිව සිටි ලලිත් ඇතුලත් මුදලි මහතා හා සිදුවූ සංවාදයක් මගේ මතකයට නැගේ.මේ 1987 ඉන්දු ලංකා ගිවිසුමට අත්සන් තැබීමට පෙරය.ප්‍රභාකරන් හැර අනෙක් නායකයින් සියලූ දෙනා සටන අතහරිනු ඇතැයි ඔහු මත පළකළේය.‘‘ඔහු කිසිදාක සටන අතහරින එකක් නැහැ.ඔහු අවසානය දක්වාම සටන් කරාවි‘‘ ඔහු පැවසුවේය.කෙතරම් සත්‍යදරෑ

ප්‍රභාකරන් දෙමළ නවකතා කියවීමටද රුචිකත්වයක් දැක්වූවෙක් විය.ඉතිහාසය තේමා කරගනිමින් ලියැවුනු නවකතා වලට ඔහුගේ වැඩි කැමැත්ත හිමිව තිබුණි.කල්කි (ආර්.ක්‍රිෂ්ණමූර්ති) ගේ විශිෂ්ටතම නිර්මානය ලෙස සැළකෙන ‘‘පොන්නියින් සෙල්වන්‘‘ ප්‍රභාකරන්ගේ ප්‍රියතම නවකතාව විය.එහි කතාව ගෙතී තිබුණේ මහා චෝල අධිරාජ්‍යයෙකු වූ රාජ රාජ චෝල බවට පත්වන අරුල්මොලිවාර්වන් කුමරු වටාය.අකිලන් හා චන්දියිලන් වැනි ලේඛකයන්ගේ පොතපතද ඔහු කියවීය.අකිලන්ගේ ‘‘වෙන්කයින් මායින්තන්‘‘ හා ‘‘කායල් වාස්හි‘‘ , චන්දියිලන්ගේ ‘‘යවන රාණි‘‘ ‘‘කාදල් පුරා‘‘ ‘‘ජලදීපම්‘‘ යන නවකතා විශේෂයෙන් ඔහුගේ සිත්ගත් අනෙක්වා විය.

ගලක් වැනි හදවතක තෙතමනය

එල්.ටී.ටී.ඊ යේ පළමු නාවුක යාත්‍රාව නම් කෙරුණේද චන්දිලියන්ගේ ‘‘කාදල් පුරා‘‘ (ආදර පරවියා) නවකතාවේ නමිනි.

පසුකාලීනව එල්.ටී.ටී.ඊ ය කූටප්‍රාප්තියට පත්වූ සමයේ පුවත්පත්හි හා සගරාවන්හි පළවූ වාර්තා ප්‍රභාකරන්හට කියවීමේ හැකිවනු වස් දෙමළ භාෂාවට පරිවර්තනය කිරීමේ කටයුතු සිදුවිය.ආරක්ෂක හා යුධමය කටයුතු සම්බන්ධයෙන් ලියැවී තිබුණු පොතපත රාශියක්ද දෙමළ භාෂාවට පරිවර්තනය කැරණි.

 

පාසැල් වියේදී තම සමකාලීන සගයින් සේම ප්‍රභාකරන්ගේද කැමැත්ත තිබුණේ පාපැදි පැදීමට,අත්පන්දු ක්‍රිඩා කිරීමට, පාපන්දු ක්‍රිඩා කිරීමට ආදී ක්‍රියාකාරකම් වලටය.නමුත් ඔහු දක්ෂ ක්‍රීඩකයෙක් නොවුනි.මෙනිසාම ඔහු එළියේ දුව පැන දැගලීමට වඩා පොත පත කියවීමට, ත්‍රාසජනක චිත්‍රපට නැරඹීමට ප්‍රිය කළේය.ඇමරිකා මාධ්‍යවේදියෙකු හා පැවැත්වූ

සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රභාකරන් තමන් ආත්මාරක්ෂක සටන්කලාව ප්‍රගුණ කළේ ක්ලින්ට් ඊස්ට්වුඩ්ගේ චිත්‍රපට නැරඹීමෙන් බව පවසා තිබීම ඔහුව සමච්චලයට ලක්කිරීමට බටහිර බොහෝ දෙනා භාවිතා කළහ.නමුත් ඇත්තටම සිදුවී ඇත්තේ එම ඇමරිකා මාධ්‍යවේදියා ආත්මාරක්ෂක සටන්කලා පුහුණුවූයේ කියුබා නායක පිදෙල් කැස්ත්‍රෝගෙන්දැයි විමසා සිටි විට ප්‍රභාකරන් එය විහිලූවෙන් භාරගෙන, නැත තමා සටන් පුහුණුවූයේ ප්‍රකට හොලිවුඩ් නලූවෙකු වන ක්ලින්ට් ඊස්ට්වුඩ්ගේ චිත්‍රපට නරඹා යැයි පවසා සිටීමය.ඇමරිකා මාධ්‍යවේදියා එය සැබෑවට ගෙන ඇත.

ලේනුන්ට,කුඩා උරගයින්ට,කටුස්සන්ට, කැටපෝල ප්‍රහාරයන් එල්ල කිරීම කුඩා කළ ඔහුගේ තවත් විනෝදාංශයක් විය.දැඩිව වැඩී ඇති ගස්වැල් පීරන ඔහු කෙසේහෝ තම ගොදුරු සොයාගැනීමේ සමත්ය.ඔහුගේ මතක ශක්තිය අති තියුණු විය.පුද්ගලයින්ගේ නම ගම හා මුහුණුවර මතක තබාගැනීමට ප්‍රභාකරන්ට ගතවන්නේ නිමේෂයකි.එම පුද්ගලයින් අවුරුදු ගණනාවකට පසු මුණගැසුනද ඔවුන් කවුරුන්ද ඔවුන් පැමිණෙන්නේ කොහේ සිටද ඔවුන් අවසානයට දුටුවේ කවදාද ආදී තොරතුරු සියල්ලක්ම මතකයට නගා ගැනීමේ හැකියාවක් ඔහුට තිබුණි.ඔහුගේ පෙනීමද තියුණු විය.ඇස් ඒ මේ අත කරකවමින් ඔහු සෑම විටම සිටියේ තම වටපිටාව ගැන දැඩි විමසිල්ලකිනි.ඔහුගේ මේ ඇස් නිසාම ඔහුට ‘‘මුලියන්‘‘ (පිටතට නෙරා ආ ඇස්) යැයි නමක්ද පබැදී තිබුණි.

මනා පෙනුම

ප්‍රභාකරන් අවස්ථා බොහෝමයකදී සුචරිතවාදියෙක් වුනි.ඔහු දුම්පානය කළේ හෝ මත්පැන් පානය කළේ හෝ නැත.එල්.ටී.ටී.ඊ ය ආරම්භ කළ සමයේදී එහි සාමාජිකයින්ට ව්‍රත රැකීමද අනිවාර්ය විය.ඔහුට ඉතා සුලූ දෙයක් පවා පිළිවෙලටත්,පිරිසිදුවටත් තිබීම අවශ්‍ය වුනි.සෑම අවස්ථාවකදීම මනාව ඇද පැළදි ඔහුගේ ප්‍රියතම වූයේ ‘‘කැළෑ කමිසයත්‘‘ අත් කොට කමිසයත්ය.කැළෑ කමිස ගිනි අවි සගවාගෙන යතහැකි සේ නිර්මානය කර තිබුණු කමිස වර්ගයක් විය.මුදල් සොයාගැනීම අතිදුෂ්කර වූ එල්.ටී.ටී.ඊ යේ ආරම්භක අවදියේ පවා ප්‍රභාකරන් තමන්ට තිබූ ඇදුම් පැළදුම් කිහිපය දිනපතාම සෝදා පිරිසිදු කර හොදින් මැද මනාව ඇද පැළදීමට පුරුදුව සිටි බව පැවසේ.

ප්‍රභාකරන් හොද කෝකියෙක් මෙන්ම රසවත් ආහාර ප්‍රියකළ අයෙක්ද විය.චීන ක්‍රමයට සැදු ආහාර වලට ඔහුගේ වැඩි කැමැත්තක් තිබුණි.පිට්ටු, පොල් සම්බෝල,බැදපු පොකිරිස්සන් ඔහුගේ ප්‍රියතම කෑම වර්ග කිහිපයකි.ඔහු තලගොයි හා ඉදිබු මස් වලටද කැමැත්තක් දැක්වීය.ස්වභාවික පළතුරු හා මිී පැණිද ඔහුගේ ආහාර වේලේ අනිවාර්ය අංගයන්ය.දඩුවම් නියම කෙරෙන එල්.ටී.ටී.ඊ කාඩර්වරුන් යැවෙන්නේ සංවිධානයේ සාමාජිකයින්ට කෑම පිසින මුලූතැන්ගෙයටය.ප්‍රභාකරන්ද එවන් අවස්ථාවන්හිදී ඔවුන් හමුවට විත් ‘‘හොද කෝකියෙකුගෙන් තමයි හොද ගරිල්ලා සාමාජිකයෙකුත් හැදෙන්නේ‘‘ යැයි කියමින් ඔවුන්ව මුලූතැන්ගෙයි වැඩට උනන්දු කරවයි.නිවසේ සිටින විට ඇතැම් අවස්ථාවන්හි ආහාර පිළියෙල කරන්නේ ඔහුය.වරක් සමීප ඥාතියෙකු ප්‍රභාකරන් හමුවීමට ඔහුගේ නිවසට පැමිණි විට රටක් බියගන්වාගෙන සිටින ගරිල්ලා නායකයා මුලූතැන්ගෙයටවී පොල්ගාමින් සිටිනු දැක පුදුමයට පත්වුනේලූ.

ප්‍රභාකරන්ගේ ආකල්ප හා දේශපාලන මතය හැඩගැස්වුනේ කාලීන සිදුවීම් වලිනි.අවුරුදු 4 ක කුඩා දරුවෙකුව සිටියදී 1958 කළහකාරී සමයේ දෙමළ ජාතිකයින් මුහුණදුන් බිහිසුණු සිදුවීම් ගැන ඇසුණු කතා ඔහුගේ මතකයේ තැන්පත් වන්නට ඇත.එක් දිනක ප්‍රභාකරන්ගේ නිවසට කාන්තාවක් පැමිණියාය.ඇයගේ දෙපා පිළිස්සී තිබුණි.ඒ ඇයිදැයි විමසා සිටි කුඩා ප්‍රභාකරන්ට පිළිතුරු ලෙස ලැබුණේ එම කාන්තාවගේ නිවස ‘‘සිංහල‘‘ කළහකාරීන් පිරිසක් ගිනි තබා විනාශ කර ඇති බවයි.කාන්තාව පිළිස්සුම් තුවාළ ඇතිව දිවි බේරා ගැනීමට සමත්ව ඇති බව ඔහුට පැවසුනි.පානදුර ප්‍රදේශයේ සිටි බ්‍රාහ්මීය පූජකවරෙයකු දර සෑයක දමා පණ පිටින් පුලූස්සා දමා ඇතැයි,කුඩා දරුවෙකු තාර බැරලයක ගිල්වා ඇතැයි ආදී ලෙස කෝළහාල සමයේ ප්‍රභාකරන්ගේ කණ වැකුණු පුවත් ඔහුගේ අනාගත ආකල්ප වල හා දේශපාලන මතයේ හැඩගැස්වීමට මග පෑදීය.

වැල්වැටිතුරෙයි

වැල්වැටිතුරෙයි හි උපන්නෙකුවීමද ප්‍රභාකරන් සටන්කාමියෙකු බවට පත්වීමට හේතුවකි.විවිධාකාරයේ ජාවාරම් සිදුවන ස්ථානයක් ලෙස වැල්වැටිතුරෙයි හැදින්වින.වැල්වැටිතුරෙයි වැසියන්ට ඔවුන්ටම අනන්‍යවූ උප සංස්කෘතියක්ද තිබුණි.අනවසර සංක්‍රමණිකයින් දිවයිනට ගෙන ඒම ඇතුලූ විවිධ ජාවාරම් කටයුතු මැඩපැවැත්වීමේ අරමුණින් ආරක්ෂක අංශ ‘‘මොන්ටි‘‘ මෙහෙයුම දියත් කළේ මේ අවදියේය.එහි ප්‍රතිඵලයක් ලෙස වැල්වැටිතුරෙයි පුරා හමුදා කදවුරු ඉදි කැරිණි.ආරක්ෂක අංශ වල මෙම ‘‘අදිසි‘‘ ආගමනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ නොසන්සුන්කාරී වාතාවරණයක් ඇතිකිරීමට හේතුවිය.70 දශකයේ දේශපාලන ගැටුම් වල ප්‍රතිඵලයක් ලෙස යුද්ධය ආරම්භ වීමට පෙර සිටම වැල්වැටිතුරෙයි වැසියන් හා එහි කදවුරු බැදගෙන සිටි ආරක්ෂක අංශ සාමාජිකයින් අතර පුංචි යුද්ධයක් පැවතිනි.ප්‍රභාකරන් හා ඔහුගේ සමවයස් මිතුරන් හැදී වැඩුණේ මෙවන් පරිසරයකය.ප්‍රභාකරන් හා එකට හැදී වැඩී පසුව එල්.ටී.ටී.ඊ සංවිධානයටද සම්බන්ධවී එහි ඉහළ තනතුරු දැරූ සත්‍යසිවම්පිල්ලේ ක්‍රිෂ්ණකුමාර් හෙවත් කිට්ටු හා ගෝපලස්වාමි මහේන්ද්‍රරාජා හෙවත් මහත්තයා මා හා කිහිප අවස්ථාවකම සදහන් කර ඇති ආකාරයට ඔවුන්ගේ පරම්පරාවේ තරුණයින් බොහෝ දෙනෙකු හැදී වැඩී ඇත්තේ ඔවුන් උපන් භූමිය ආක්‍රමණය කර සිටි ආරක්ෂක අංශ කෙරෙහි උපන් ක්‍රෝධයකිනි.එම ආරක්ෂක අංශ සාමාජිකයින් මෙහි එවීමට මුල්වූ රජයටද ඔවුහු වෛර කළහ.

60 දශකයේ අග භාගය හා 70 දශකයේ මුල් භාගය වූ මේ සමයේ ප්‍රභාකරන් දේශපාලන කරුණු සම්බන්ධයෙන් සංවේදී වන්නට පටන්ගෙන තිබුණි.ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂයෙන් (ෆෙඩරල් පක්ෂය)  කයිට්ස් දුපත නියෝජනය කරමින් පාර්ලිමෙන්තුවට තේරී පත්ව සිටි වී.නවරත්නම් පක්ෂයෙන් ඉවත්වූයේ මේ කාලයේය.ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ මහ මොළකරු ලෙස හැදින්වුනු ඔහු පක්ෂයෙන් ඉවත්වුනු පසු 1968 දී ‘‘තමිලර් සුයාට්චි කසාග්හම්‘‘ නැතහොත් ‘‘දෙමළ ස්වයං පාලන පක්ෂය‘‘ පිහිටුවාගත්තේය.ජාතික ගැටලූවට ෆෙඩරල් විසදුමක් ලබාදීමට දැන් ප්‍රමාද වැඩියැයි පවසා සිටි ඔහු ඒ වෙනුවට ‘‘සුයාට්චි‘‘ එනම් ‘‘ස්වයං පාලනයක්‘‘ ඇති වෙනම ප්‍රදේශයක් ඉල්ලා සිටියේය.

වෙනුගෝපාල් මාස්ටර් නම් ප්‍රභාකරන් ඉතා ගරුකළ ඔහුගේ ගුරුවරයෙක් විය.ඔහු පසුකාලීනව වී.නවරත්නම්ගේ ආධාරකරුවෙක් බවට පත්වුනි.ඒ හා සමග ස්වකීය ගෝලබාලයින්ටද තම නව දේශපාලන දර්ශනය හදුන්වාදීමට ඔහු කටයුතු කළේය.එහි ප්‍රතිඵලය වූයේ ප්‍රභාකරන් ඇතුලූ ඔහුගේ ශිෂ්‍යයින් දෙමළ ස්වයං පාලන රාජ්‍යයක සංකල්පය ඇදහීමට පටන්ගැනීමය.

අපේම රටක්

සුයාට්චි කසාග්හම් පක්ෂයට එයටම වෙන්වූ පුවත්පතක්ද තිබුණි.‘‘විඩුතලයි‘‘ (විමුක්තිය) එය නම් විය.එම පුවත්පතේ ප්‍රකට ලේඛක ලියෝන් යුරිස් ලියන දල ‘‘එක්සෝඩස්‘‘ නව කතාව දමිළ බසින් කොටස් වශයෙන් පළ විය.ඉංග්‍රීසි බසින් ලියැවී තිබූ නවකතාව එසේ කොටස් වශයෙන් දමිළ බසට පරිවර්තනය කරමින් ඉදිරිපත් කළේ වී.නවරත්නම්ය.‘‘නමකෙන්ඩ්‍රෝරු නාඩු‘‘ (අපේම රටක්) නමින් පළවූ එම ලිපි පෙළ ප්‍රභාකරන් ඉමහත් ආශාවෙන් යුතුව කියවූවක් වුනි.දෙමළ ජාතිකයින්ට වෙන්වූ වෙනම දේශයක් ගැන සිහින මවන්නට එම ලිපි පෙළ ඔහුට මං පෑදීය.දෙමළ ස්වයං පාලන පක්ෂය 1970 වසරේ මැතිවරණයෙන් අන්ත පරාජයකට ලක්වූ අතර නායක වී.නවරත්නම්ට පවා අසුනක් දිනාගැනීමට නොහැකි වුනි.නමුත් පක්ෂයේ දේශපාලන ව්‍යාපාරය පුරාවට සදහන් කෙරුණු ස්වයං පාලන ප්‍රදේශයක සංකල්පය ප්‍රභාකරන්ගේ සිතෙහි ස්ථීර ලෙසම මුල්බැසගෙන තිබුණි.

1970 වසරේ සිට රටෙන් හුදෙකලා වන්නට ගත් යාපනයේ සිටි ශිෂ්‍ය ප්‍රජාව ක්‍රමයෙන් විප්ලවවාදී වන්නට ගත්හ.තමිල් මානවර් පෙරවායි (දෙමළ ශිෂ්‍ය ෆෙඩරේෂනය) හා තමිල් ඉලෛයිනගර් පෙරවායි (දෙමළ තරුණ ෆෙඩරේෂනය) ඇති කෙරුණි.රැස්වීම්,හමුවීම්,පෙළපාලි යෑම් ආදී ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාවට නැංවුනි.ප්‍රභාකරන්ද මෙවන් කටයුතු වලට හවුල් වන්නට ගත්තේය.1971 දී එවක සිටි තැපැල් හා විදුලිසංදේශ අමාත්‍ය සෙල්ලයියා කුමාරසූරියර් වෙලානේහි නව තැපැල් කාර්යාලයක් විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ දෙමළ තරුණයෝ පැවැත්වූ කලූ කොඩි විරෝධතාවය ප්‍රභාකරන්ගේ ලද පළමු අත්දැකීම වුනි.

දෙමළ ශිෂ්‍ය හා තරුණ ක්‍රියාකාරීන් පැවැත්වූ හමුවන් හා රැස්වීම් ගණනාවකටද ප්‍රභාකරන් සහභාගී විය.කල්ගතවීමේදී මෙවැනි දේ ඔහුට නීරස වුනි.සාමකාමී ලෙස පැවැත්වෙන මෙවන් විරෝධතා ඔහුගේ සිත්ගත්තේ නැත.පලස්තීනයෙන් මිදී වෙනම රාජ්‍යයක් ලෙස පිහිටැවුණු ඊශ්‍රායෙලය ඒ සදහා යොදාගත් හග්නාහ් සහ ඉර්ගන් වැනි ක්‍රමවේදයන් ඔහුගේ අවධානය දිනාගත්තේය.ශ්‍රී ලංකා රජයට එරෙහිව නැගී සිටීමට භාවිතා කළ හැකි එකම දේ බලය යැයි ඔහු තීරණය කළේය.වෙඩි තැබීම පුහුණුවීමට ගිනි අවියක් මිලට ගැනීමේ වුවමනාව ප්‍රභාකරන්ට ඇතිවූයේ මින් පසුය.

එම සමයේ පේදුරුතුඩුවේ නම ගිය මැරයෙකු සිටියේය.නමින් සම්බන්ධන්වූ ඔහු ගිිනි අවි විකිණීමේ ජාවාරමක් පවත්වාගෙන ගියෙකු විය.ප්‍රභාකරන් ඔහු හමුවුනි.ප්‍රභාකරන්ගේ අවශ්‍යතාවයට සරිලන අවියක් සම්බන්ධන් සන්තකයේ විය.පැරණි ගිනි අවියක්වූ එය රුපියල් 150 කට ප්‍රභාකරන්ට ලබාදීමට ඔහු කැමැත්ත පළ කළේය.ප්‍රභාකරන් අත එතරම්

මුදලක් නොවුනි.වහාම තමන් හා සමාන අදහස් දැරූ තරුණයින් පිරිසක් සම්බන්ධ කරගත් හෙතෙම ඔවුන්ගෙන් මුදල් එකතු කළේය.රුපියල් 40 ක් එකතුවී තිබුණු අතර එය ගිනි අවිය මිලට ගැනීමට ප්‍රමාණවත් නොවුනි.අන්තිමේදී තම ඇගිල්ලේ රැදී තිබූ රන් මුදුව හිග මුදලවූ රුපියල් 110 වෙනුවට සම්බන්ධන් හට ලබාදුන් ප්‍රභාකරන් ගිනි අවිය තමා සතුකරගත්තේය.මේ මුදුව ප්‍රභාකරන්ගේ මස්සිනා ඔහුට ලබාදුන්නක් විය.හින්දු සම්ප්‍රදායානුකූලව කාන්තාවට බාල සොහොයුරෙකු සිටියහොත් ඔහු තම නිවසට තම සොහොයුරිය හා විවාපත්වීමට එන අනාගත මස්සිනා පිළිගන්නේ ජල පහරක් ගසා ඔහුගේ පා සෝදා හැරය.ප්‍රභාකරන්ද මෙසේ අනාගත මස්සිනාගේ පා සෝදා හැරිය අතර එයට ඔහුට තිළිණයක් ලෙස ලැබුණෙA මේ රන් මුදුවයි.

ප්‍රභාකරන් තම පළමු ගිනිඅවිය මිලට ගත්තේ මේ ආකාරයටය.වෙඩි තැබීම ඔහු රහසිගතව පුහුණුවුනි.ඔහුට ගුරුහරුකම් ලබාදුන්නේ විශ්‍රාමික හමුදා භටයෙකි.

පොන්ඩි බසාර්හි වෙඩි හුවමාරුව

මේ වන විට කොල්ලෝ පොලිසියේ අවධානය දිනාගැනීමට සමත්ව සිටියහ.‘‘මානි‘‘ නම් තරුණයෙකු සොයා පොලිසිය පරීක්ෂණ අරඹා ඇති බව කණවැකුණු ප්‍රභාකරන් ඔවුන් ඉක්මනින්ම තමා සොයා පැමිණෙනු ඇති බව දැනගත්තේය.ඔහු නිවස අතහැර ගියේය.අනාගතයේ ගැටලූ වලට මුහුණදීමට සිදුවෙතැයි දැනුනු නිසා ඔහු පිටව යෑමට ප්‍රථමයෙන් නිවසේ තිබූ ඔහුගේ ඡායාරූප සියල්ලක්ම විනාශ කළේය.පොලිසිය වැල්වැටිතුරෙයිහි ඔහුගේ නිවසට පැන ඔහු සෙව්වද ඔහු එහි නොවීය.ඔහුගේ ඡායාරූපයක්ද නොවීය.මෙනිසා පොලිසියට සිදුවූයේ ප්‍රභාකරන් හදුනාගැනීමට ඔහු විභාගයට පෙනී සිටීමට භාවිතා කළ තැපැල් හැදුනුම්පතේවූ ඡායාරූපයේ පිහිට පැතීමටය.1982 මැයි මාසයේදී ප්‍රභාකරන් හෙවත් කරිකාලන් හා සිවකුමාර් හෙවත් රාගවන් චෙන්නායිහි පොන්ඩි බසාර් හිදී ප්ලොට් සංවිධානයේ උමා මහේෂ්වරන් හෙවත් මුහුන්දන් හා ජොතීශ්වරන් හෙවත් කන්නන් සමග වෙඩි හුවමාරු කරගත්තේය.අත්අඩංගුවට ගැනුනු ප්‍රභාකරන්ගේ ඡායාරූපයක්ද ලබා ගැනුනු අතර ඒ වනතෙක් ශ්‍රි ලංකා ආරක්ෂක අංශ සතුව ඔහුගේ නියම ඡායාරූපයක් නොතිබුණි.

තවත් කිහිපදෙනෙකු හා එක් වූ ප්‍රභාකරන් නව දෙමළ කොටි (නිව් ටැමිල් ටයිගර්ස්) සංවිධානය පිහිටවූවේය.නුසාවිල් හි රාජරත්නම් වැන්නවුන් 60 දශකයේදී දෙමළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් සටන් වදින කොටි නම් සංවිධානයක් නිර්මානය කර තිබුණු අතර එය සක්‍රීය ලෙස ක්‍රියාකාරී නොවුනි.ප්‍රභාකරන් හා රාජරත්නම් තමිල්නාඩුවේ මුණගැසීමේ ප්‍රතිඵලයක් ලෙස නව දෙමළ කොටි සංවිධානය ඇතිවූ අතර එය රාජරත්නම් 60 දශකයේ නිර්මාන කළ සංවිධානයට යළි පණ දුන්නාක් වැනි විය.ටී.එන්.ටී. ලෙස මෙම සංවිධානය කෙටියෙන් හැදින්වුනි.ටී.එන්.ටී අකුරු 3 ඩයිනමයිට් වල පුපුරණ සංඝඨකය වන ට්‍රයිනයිට්‍රොටොලූයින් හැදින්වීමටද යොදාගැනේ.

ටී.එන්.ටී සංවිධානයට මුලින්ම නායකත්වය සැපයූවේ දනබාලසිංහම් හෙවත් කල්වියන්කාඩුහි චෙට්ටිය.පොලිසිය කඩාවැදී තරුණ ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමට පටන්ගත් විට ඔවුන්ව මගහැරි ප්‍රභාකරන් මුහුදු මාර්ගයෙන් තමිල්නාඩුවට පැනගත්තේය.70 දශකයේ වැඩි කාලයක් ඔහු ගතකළේ තමිල්නාඩුවේ සිට ශ්‍රී ලංකාවටත් ශ්‍රී ලංකාවේ සිට තමිල්නාඩුවටත් ගමන්කරමින්ය.ඔහු කිසිදිනෙක අත්අඩංගුවට පත්වුනේ නැත.මේ සමයේ තවත් තරුණ කණ්ඩායම් කිහිපයක් කරළියට පැමිණි අතර ඔවුහුද නොයෙකුත් කඩාකප්පල්කාරී ක්‍රියාවන්ගේ නිරත වන්නට විය.ටී.එන්.ටී සංවිධානය තම බලය පෙන්වා සිටියේ 1975 වසරේදී යාපනය දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරෙඅප්පා ඝාතනය කරය.යාපනෙයේ පොන්නාලෙයි වාරතාරජපෙරුමාල් (විශ්නු) කෝවිලට යමින් සිටියදී ඔහු වෙඩි තබා ඝාතනය කෙරුණි.ප්‍රභාකරන් ඇතුලූ තවත් තරුණයින් 4 දෙනෙකු මේ සදහා හවුල්විය.පසුව ප්‍රභාකරන් ප්‍රසිද්ධියේම පවසා සිටියේ අරගලයේ පළමු පියවර මෙය වන බවයි

1976 මැයි මස පස් වැනිදා ටී.එන්.ටී සංවිධානය එල්.ටී.ටී.ඊ හෙවත් දෙමළ ඊළම සදහා විමුක්තිකාමී කොටි සංවිධානය ලෙස නම් කෙරුණි.එයින් දින නවයකට පසු එනම් මැයි 14 වැනිදා දෙමළ විමුක්ති පෙරමුණ (ටී.යූ.එෆ්) ප්‍රකට වඩුක්කොලඩායි සමුලූව පැවැත්වීය.එහිදී දෙමළ විමුක්ති පෙරමුණ, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ලෙස (ටී.යූ.එල්.එෆ්) ලෙස නම වෙනස් කරගත් අතර දෙමළ ඊලමක් නිළ වශයෙන්ම ඉල්ලා සිටියේය.1977 මැතිවරණයේදී වෙනම තනිව තරගවැදුණු දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ උතුරු නැගෙනහිර ආසන 19 න් ආසන 18 ක්ම දිනාගැනීමට සමත්විය.මේ ලැබුණු ජනවරම දෙමළ ජනතාව ඊළමට කැමැති බව පෙන්වා සිටින්නක් යැයි දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ පැවසීමට යෙදුණි.

වසර ගණනක ඇවෑමෙන් ප්‍රකාශයක් නිකුත් කළ එල්.ටී.ටී.ඊ ය තමන් එදවස කටයුතු කළේ ටී.යූ.එල්.එෆ් හි නියෝගයට අනුව බව පවසා සිටියේය.

හිමාලයේ සිට කොමරින්තුඩුව දක්වා

ප්‍රභාකරන් ජේ.එස්.සී විභාගයට පෙනී සිටි අවදියේ (අට ශ්‍රේණිය) ‘‘තිරුමාවලවාන්‘‘ නම් පාඩම් පොතක් ඔහුට තිබුණි.එම පොතෙහි සදහන්ව තිබුණේ චෝල අධිරාජ්‍යයෙකුවූ කරිකාලන් ගැනය.තම ජය සංකේතය වූ ‘‘පුල්ලිකෝඩයි‘‘ (කොටියෙකුගේ රුව දැරූ ධජයක්) ‘‘ඉමායන් මුතාල් කුමාරි වාරයි‘‘ (හිමාලයේ සිට කොමරින් තුඩුව දක්වා) පෞඩ ලෙස එසවීමට ඔහුට හැකිවුනු බව එම පොතෙහි දැක්වින.කරිකාලන් හා කොටියෙකුගේ රුව රැගත් ධජයක් කෙරෙහි ප්‍රභාකරන්නේ උනන්දුව වර්ධනය වීමට මෙම කරුණු ප්‍රමාණවත් විය.දෙමළ බසින් ‘‘පුල්ලි‘‘ ලෙස හැදින්වෙන්නේ කොටියා වුවත් කරිකාලන්ගේ ධජයේ සිටියේ ‘‘වෙන්ගායි‘‘ හෙවත් චීටාවෙකි.බෙංගාලි ව්‍යාඝ්‍රයෙකුගේ රුව දරන අප හොදින් දන්නා එල්.ටී.ටී.ඊ ධජය හා එහි කිසිදු සමාන ලක්ෂණයක් නැත.අනෙක් අතට ශ්‍රී ලංකාවේ සිටින්නේ කොටි නොව දිවියන්ය.නමුත් සිංහයින් නැතත් අප රටේ ජාතික ධජයේ සිටින්නේ සිංහයෙකි.එක්තරා අතකින් රයිෆල දෙකක් හරහට තැබුණු කොටි ධජය කඩුවක් අතින් ගෙන නැගී සිටින සිංහයෙකුගේ රුවින් සැරසුණු ජාතික ධජයට එකට එක කිරීමක් ලෙස නිර්මානය කෙරුණක් බවද සිතිය හැකිය



අදහස් (0)

මහ කොටියා හිටියා නම් අද හැටයි

චමිලා Thursday, 27 November 2014 01:50 PM

බටහිර ඉන්න කොටි බලාගන ඉන්නේ මහින්ද පරදිනකම්. යුද අදිකරණයකට ගෙනියන්න. කවදා හරි එහෙම උනොත් ඒකට වගකියන්න ඕන මුළු රටේම ජනතාව. ජනතාව ගේ යුතුකම එතුමා රැකගන්න එක. (නදී)

:       0       0

චාමික Thursday, 27 November 2014 01:50 PM

ඔව් බන්දුල හරි. අපි 2002 ආණ්ඩුව වැට්ටුවේ නැති නම් නැත්නම් අද ප්‍රභාකරන්ට තමයි කිරිබත් කවන්නේ. එ්ක දැනගෙන තමයි අපි එ්කට සහයෝගේ දුන්නේ. ඒ වගේම අද අපි මේ ආණ්ඩුව වැට්ටුවේ නැති නම් කේ. පී., කරුණට විතරක් නෙවෙයි චීන්නුන්ටත් කවන්න වේවි ඔහෙලට. එ්ක දැනගෙන තමයි අපි අද මේක වට්ටන්නත් සහයෝගේ දෙන්නෙත්. නැතුව ඔය වගේ කට වාචාල කමට කියවන්න නෙමෙයි (නදී)

:       0       0

රණසිංහ Thursday, 27 November 2014 10:26 AM

ඔව් මොහාන් ඒ නිසා තමා ඒ කට්ටිය රට පාලනය කරන කාලේ යුද්ධය ඉවර නොකරේ. හිගන්නාගේ තුවාලේ කරගන හිටියේ. දැන් හිඟන්නාගේ තුවාලේ කරගන ඉන්නේ යුද්දේ ඉවර කරපු එකනේ. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 28 November 2014 04:51 AM

දැන් රට යන ක්‍රමයටඅනේ මන්දා මොකක් වෙයිද කියලා (දිල්)

:       0       0

සඳුනි Thursday, 27 November 2014 03:16 PM

චාමික අවසානේ කන්න හදන්නේ බටහිර ඉදුල් එන්.ජී.ඕ හැන්දෙන්. (නදී0

:       0       0

හේරා Thursday, 27 November 2014 10:38 AM

දැන් ඉතින් අපායට වෙලා සමරනවා ඇති (නදී)

:       0       0

ඇසිලින් නෝනා Thursday, 27 November 2014 04:07 PM

අපිත් සිරිකොතදී ඊයේ පෙරේද උපන්දිනේට කිරිබත් කැව්වා. දැන් හාල් මෝල් යු අැන් පි යේ. හෙට අනිද්දට පාර්ලිමේන්තුවට ප්‍රබාගේ පින්තුරය අරන් යනවා. ටි ඇන් ඒ එකට මංගලත් එක්ක. ආරක්ෂක ඇමැතිකමත් එයාලට දෙනවා. (නදී)

:       0       0

ඇසිලින්නෝනා Thursday, 27 November 2014 04:07 PM

අපිත් සිරිකොතදී ඊයේ පෙරේද උපන්දිනේට කිරිබත් කැව්වා.දැන් හාල් මෝල් යු අන් පි යේ. හෙට අනිද්දට පාර්ලිමේන්තුවට ප්‍රබාගේ පින්තුරය අරන් යනවා. (ස)

:       0       0

ශිරන්ති Thursday, 27 November 2014 11:11 AM

ප්‍රභාගේ ඇස් දෙකේ කවදත් තිබුනේ බියගුළු පරාජිත ගුප්ත බවක් විතරයි. හරියට හීනෙන් බය වෙලා වගේ .නිකන් "සොම්බි" (මිනී වලෙන් නැගිටලා කිසිම හැගීමක් දැනීමක් නැතුව ඈවිදින අය)වගේ . ජීවත් වෙන කාලෙත් ප්‍රභා මැරිලා. (ස) .

:       0       0

බන්දුල පෙරේරා Thursday, 27 November 2014 11:14 AM

2002 යු අන් පි ආණ්ඩුව වැටුනේ නැත්නම් අද කට්ටිය මෛත්‍රීට නෙමෙයි ප්‍රභාකරන්ට තමයි කිරිබත් කවන්නේ.. (ස)

:       0       0

ටිරෝන් Thursday, 27 November 2014 11:22 AM

මෙයානම් දෙකක් නැහැ මේ වෙනකොට අපායේ ආතල් ගන්නවා ඇති. යම රජ්ජුරුවොට පණිවිඩයක් යවා ගන්න පුලුවන්නම් මෙයාට ඩබල් කරලා දෙන්න කියන්න. (ස)

:       0       0

විකුම් රංගන Thursday, 27 November 2014 05:19 PM

සඳුනි, වාසනාවට ජෙනරාල් ෆොන්සේකා මහත්මයා වැනි රණවිරුවන් දිවි හිමියෙන් යුද්ධ කරමින් අපිට අරගෙන දුන්න නිදහස ගැන අපට අමතක නැහැ. ජාත්‍යන්තර පොලිසියේ සහය ඇතිව රැගෙන ආපු කොටි නායකයව ආදරයෙන් රැක බල ගන්න දේශප්‍රේමී නායකයින් ගැනත් අපිට හොඳට මතකයි. ෆොන්සේකා නමැති උදාර රණ විරුවාගේ විශ්‍රාම වැටුපටත් කටුව ගහපු එක අපිට තවමත් මතකයි. රණවිරුවාට හිරබත් කවල, කොටි නායකයා සමග කිරිබත් කාපු අය ගැන බැලයින්ට අමතක උනාට, මේ රටේ බුද්ධිමත් ජනතාවට ඒවා අමතක නැහැ. (ස)

:       0       0

චානක. Thursday, 27 November 2014 06:09 PM

චාමික,,,,,නියම උත්තරය කඩේ යන පුද්ගලයන්ට දීල තිබෙනවා. (ස)

:       0       0

මහී Thursday, 27 November 2014 11:47 AM

කොටි දැන් බටහිර රටවල පෙරට වඩා ප්‍රබලයි. ලාංකිකයන් එය මතක තබාගත යුතුයි. (ස)

:       0       0

චානක. Thursday, 27 November 2014 06:17 PM

ප්‍රභාකරන්ටත් වඩා දරුණු කෙනෙක් ඉන්නවා. (ස)

:       0       0

අමන්ද Thursday, 27 November 2014 06:41 PM

දැන් හිටියනම් ආණ්ඩුවේ ඇමතිකමක් ෂුවර් .කලබලව වෙන්නේ නැතිව කේපී ,කරුණලා වගේ සාම හිනාව දැම්මනම් හරි (ස)

:       0       0

චින්තක Thursday, 27 November 2014 12:11 PM

මැරුණු මෙම සතාව නැවත මොකටද මතක් කරන්නේ? (නදී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 28 November 2014 09:42 AM

සතුරාට විරුද්ධව සතුරා පාවිච්චි කරන එක යුධ උපක්‍රමයක්. (ර)

:       0       0

සඳුනි Thursday, 27 November 2014 12:23 PM

අවාසනාවට ප්‍රභාකරන්ගේ අඳුරු යුගය අද බොහෝ දෙනෙකුට අමතකයි. සමහරු මැරිලා ඉපදිලා.ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනීසිටි ද්‍රෝහීන් කවුද කියලත් අමතකයි. නමුත් ඔහුගේ ඉරණම අවසන් කල මහින්ද නම් නායකයා මේ රටේ පොදු ජන හිත වලින් කවදාවත් ඉවත් කරන්න බැහැ. (නදී)

:       0       0

මොරිස් Thursday, 27 November 2014 10:28 PM

වරුණ කියන්න වගේ වෛරයෙන්ම හිතන්නේ නැතුව මධ්‍යස්තව හිතුවොත් ඔහු ඍජු, දරදඬු එමෙන්ම නිර්භීත පුද්ගලයෙක්. අවසාන කාලයේදීත් ඔහු පමණක් නොව තම පවුලම සමග එකට මියයන්නට ඔහු තීරණය කලා. පහසුවෙන්ම තමාගේ දරුවන් විදේශ රටකට යවන්න හැකියාව තිබුනත් එසේ කලේ නැහැ. දකුණේ බොහෝ දේශපාලක්නයන් ගැන හිතනකොට වමනය ආවත් ප්‍රබාකරන් ගැන හිතනවිට දකුණේ ප්‍රජාවට දැනෙන්නේ සන්ත්‍රසයක් සහ බියක්. ඒ නිසාමයි ඔහුගේ අවසානය දැකීමට ඔච්චර කැමති වන්නේ. (නදී)

:       0       0

වරුණ Thursday, 27 November 2014 12:37 PM

ප්‍රභාකරන් වගේ නායකයෙන් ධර්මිෂ්ට නායකයෙක් උනා නම් රටක් ඉහලට ඔසවා තබන්න හැකියාව තිබෙන්නට ඉඩ තිබුනා. නමුත් අවාසනාවකට ඔහු වැරදි පැත්තට ගිය නිසා රටට ශාපයක් උනා. සමන් ටින් බෝම්බෙන් පටන් අරන් ගුවන් යානා හිමි එකම ත්‍රස්තවාදී කණ්ඩායම ලෙස ඉදිරියට ආවා. ප්‍රජාතන්ත්‍රවාදීව මේ වගේ කෙනෙක් රටක් පාලනය කරානම් ඔහුගේ හැකියාවෙන් රටක් කොතරම් දියුණු වෙන්න ඉඩ තිබුනද? (නදී)

:       0       0

මංගල ඕස්ට්‍රේලියාව Thursday, 27 November 2014 11:55 PM

මහින්ද නැත්නම් රට අබ සරණයි. සමහරු මැරිලා ඉපදිලා. (නදී)

:       0       0

මොහාන් Thursday, 27 November 2014 09:16 AM

දැන් ඔය කට්ටියක්ම ලෑස්ති වෙලා ඉන්නෙ මැරිච්ච එකාට පණ දෙන්න. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 718 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 536 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 768 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 575 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 495 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 312 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38515 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25356 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 916 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site