(අංජුල මහික වීරරත්න)
ජනතා ගෞරවය සහ පිළිගැනීම සුරැකී පවතින්නේ භික්ෂුත්වයට ආවේණික වූ සංවරශීලී පැවිදි ප්රතිපදාව සහ සම්බුද්ධ විනය ආරක්ෂා වන තාක් කල් පමණක් බව ත්රෛනිකායික මහා නාහිමිවරුන් විරෝධතා වල නිරත මහා සංඝරත්නය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ගලගොඩඅත්තේ ඥාණසාර ස්ථවිර වෙත ජනාධිපති සමාව ප්රදානය කරන ලෙස ඉල්ලා සිටිමින් විරෝධතා වල නිරත මහා සංඝරත්නය වෙත ශාසනාලයෙන් සිදුකෙරෙන කාරුණික දැනුම්දීමයි යන හිසින් නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේද සඳහන්ය.
ශ්රී ලංකාවේ ඓතිහාසික, ආගමික හා සාමාජීය සන්දර්භය තුළ භික්ෂූන් වහන්සේ යනු ජනතාවගේ පරම ගෞරවාදරයට හා පූජෝපහාරයට පාත්ර වන ආධ්යාත්මික මාර්ගෝපදේශකයාණන් වහන්සේය. එම අද්විතීය ගෞරවය හා පිළිගැනීම සුරැකී පවතින්නේ භික්ෂුත්වයට ආවේණික වූ සංවරශීලී පැවදි ප්රතිපදාව සහ සම්බුද්ධ විනය ආරක්ෂා වන තාක් කල් පමණි.
එබැවින්, වර්තමානයේ උද්ගතව ඇති සංවේදී වාතාවරණය හමුවේ ගලගොඩඅත්තේ ඥාණසාර ස්ථවිර සම්බන්ධ ඓතිහාසික උක්ත ගැටළුව නීත්යානුකූල හා සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට ත්රෛනිකායික මහානායක ස්වාමීන්ද්රයන් වහන්සේලා ලෙස අපි රජය වෙත අවශ්ය මැදිහත්වීම් සිදු කර ඇත්තෙමු.
දැනට මෙම සිදුවීම සම්බන්ධයෙන් සිදුකරන ඇතැම් විරෝධතා දැක්වීම් පාදක කරගනිමින් ශ්රී ලාංකේය සමාජය තුළත්, ජාත්යන්තරය හමුවේත් භික්ෂූන් වහන්සේ කෙරෙහි පවතින උත්තරීතර ගෞරවය හා කීර්තිනාමය පළුදු කිරීමට ඇතැම් පිරිස් කටයුතු කරන අතර ඒ සඳහා ඉඩ නොතැබීමට සමස්ත භික්ෂූන් වහන්සේලා කටයුතු කළ යුතුය. තව ද, කිනම් අර්බුදයක් හමුවේ වුව ද ශාසනික විනය හා සංඝ සාමග්රිය ආරක්ෂා කරමින්, එකී අර්බුද ධර්මානුකූලව හා විනයානුකූලව නිරාකරණය කර ගැනීමට කටයුතු කිරීම මහා සංඝරත්නය ලෙස අපගේ පරම වගකීම විය යුතු බව දන්වා සිටිනු කැමැත්තෙමු.
එහෙයින් ශාසන බ්රහ්මචර්යාවේ උදාර අරමුණත් ඓතිහාසික භික්ෂු භූමිකාවේ සාමාජීය කර්තව්යයත් නිරන්තරයෙන් මෙනෙහි කරමින් "අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා භිය්යෝභාවාය" යන සම්බුද්ධෝපදේශය මත පිහිටා මහජන ප්රසාදය වඩා වර්ධනය වන ආකාරයෙන් කටයුතු කරන මෙන් සියලු නිකාය පාර්ශ්වයන්හි සමස්ත මහා සංඝරත්නයට මෙයින් සිහිපත් කර සිටිම්හ යනුවෙන් එම නිවේදනයේ සඳහන්වේ.
තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමි,වරකාගොඩ ඤාණරතන අස්ගිරි මහා නා හිමි,කරගොඩ උයන්ගොඩ මෛත්රී මූර්ති ශ්රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහා නා හිමි සහ මකුලෑවේ විමල ශ්රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහා නාහිමියන්ගේ අත්සනින් මෙම නිවේදනය නිකුත් කර තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd