
(අංජුල මහික වීරරත්න)
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රඹුක්කන - පේරාදෙණිය, ගම්පොල අතර දුම්රිය ධාවනය නැවත දැනුම් දෙන තුරු අත්හිටුවන බව ශ්රී ලංකා දුම්රිය සේවය පවසයි.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රඹුක්කන - පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ නාය යාමක් සක්රිය වී දුම්රිය මාර්ගය මතට පස් සේදී එමින් පවතින අතර අදාළ දුම්රිය මාර්ගය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඊයේ (24) සහ අද(25) හදිසි ප්රතිසංස්කරණ කටයුතු සිදු කළ ද, ප්රදේශයට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් පස් කඳු කඩා වැටීමේ දැඩි අවදානම තවමත් පහව ගොස් නොමැති බව දුම්රිය සේවය කියයි.
ඒ අනුව, මාර්ගයේ ප්රතිසංස්කරණ කටයුතු අවසන් කර දුම්රිය ධාවනය සඳහා පූර්ණ ආරක්ෂිත බව තහවුරු වන තෙක්, 24 සහ 25 දෙදින සඳහා තාවකාලිකව අත්හිටවූ රඹුක්කන සහ පේරාදෙණිය / ගම්පොල අතර සියලුම දුම්රිය ධාවන කටයුතු නැවත දැනුම් දෙන තුරු ඉදිරි දින සඳහා ද (25 වන දින රාත්රී 12 සිට ඉදිරියටද) තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.
අදාළ කාල සීමාව තුළ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියන් සඳහා මුදල් ගෙවා ආසන වෙන් කරවා ගත් මගී ජනතාවට, ඒ සඳහා වැය වූ සම්පූර්ණ මුදල දුම්රිය ස්ථානයකින් නැවත ලබා ගැනීමට අවශ්ය පහසුකම් සලසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd