(සුජිත් හේවාජුලිගේ)

විදේශ රටකට පලා ගොස් සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා සම්බන්ධයෙන් අන්තර්ජාතික පොලිසියට (INTERPOL) දැනුම්දී ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලි) මහතා 2026 ඔක්තෝබර් 21 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්, ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විවෘත වරෙන්තුවක් (දුටු තැන අත්අඩංගුවට ගැනීමේ නියෝගයක්) නිකුත් කෙරිණ.

තවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා මාර්ගයෙන් වරෙන්තුව ක්‍රියාත්මක කරන ලෙසද පොලිස්පතිවරයාට වැඩිදුරටත් නියෝග කරන ලදි.

මේ අතර එදින අධිකරණයේ පෙනී සිටි සිද්ධියේ සෙසු විත්තිකරුවන් දෙදෙනා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමටද ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.

ඉකුත් 2015 ජනාධිපතිවරණ සමයේ කහවත්ත ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව, අභියාචනාධිකරණය මොවුන් නිදොස් කර නිදහස් කිරීමට දුන් තීන්දුවට එරෙහිව ගොනුකළ පෙත්සමකට අනුව විත්තිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණි. කෙසේ වෙතත් ප්‍රේමලාල් ජයසේකර මහතා පැමිණ නොසිටි අතර, ඔහු විදේශගතව සිටින බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා මෙහිදී අධිකරණයට දැනුම් දුන්නේය.