(අංජුල මහික වීරරත්න)

 ලෝක බැංකු ණය වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන සමාජ ආරක්ෂණ ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් සංඛ්‍යාව සහ ප්‍රාග්ධන මූල්‍ය ප්‍රදානය ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ආසියානු සංවර්ධන බැංකු හා ලෝක බැංකු මූල්‍යාධාර පහසුකම් යටතේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ලබන දුප්පත් සහ අන්ත දුප්පත් කාණ්ඩවලට අයත් පවුල් සවිබල ගැන්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා 2025-10-13 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. 

මේ වන විට ආසියානු සංවර්ධන බැංකු මූල්‍යාධාර යටතේ පවුල් 8,660 ක් සඳහා අදාළ ප්‍රාග්ධන මූල්‍ය ප්‍රදාන ලබා දී එම බැංකුව විසින් ක්‍රියාත්මක කළ වැඩසටහන අවසන් කර ඇත. ලෝක බැංකු ණය වැඩසටහනේ සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් පළමු අදියරේදී දිස්ත්‍රික්ක 07ක පවුල් 4,900 ක් සඳහා ප්‍රාග්ධන මූල්‍ය ප්‍රදාන ලබා දී ඇති අතර, එහි දෙවන අදියරේදී දිස්ත්‍රික්ක 05ක මේ වන විට හඳුනා ගනු ලැබ ඇති පවුල් 6,600ක් සඳහා ප්‍රාග්ධන මූල්‍ය ප්‍රදාන ලබා දීමට සැලසුම් කර තිබේ. 

එම සමාජ ආරක්ෂණ ව්‍යාපෘතියේ පළමු අදියර ක්‍රියාත්මක කිරීමේදී ලද අත්දැකීම් මත දැනට සවිබල ගැන්වීමේ පවුල් ඒකකයක් සඳහා ලබා දෙන මූල්‍ය ප්‍රදානය ඉහළ නැංවීමට සහ ව්‍යාපෘතියේ ගුණාත්මකභාවයට හානියක් නොවන පරිදි ව්‍යාපෘතියේ අපේක්ෂිත ප්‍රතිලාභීන් සංඛ්‍යාව ඉහළ නැංවීමට ලෝක බැංකුවේ එකඟතාව ලැබී ඇත. ඒ අනුව, ලෝක බැංකු ණය වැඩසටහනේ සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය යටතේ සවිබල ගැන්වීමට අපේක්ෂිත ප්‍රතිලාභීන් සංඛ්‍යාව 10,975 සිට 11,500 ක් දක්වා වැඩි කිරීමටත්, දැනට ලබා දෙන රුපියල් 150,000/-ක උපරිම ප්‍රාග්ධන මූල්‍ය ප්‍රදාන සීමාව එම ව්‍යාපෘතියේ දෙවන අදියරේදී හඳුනා ගනු ලබන සුදුසුකම්ලත් ප්‍රතිලාභී පවුල් සඳහා රුපියල් 200,000/-ක් දක්වා වන සේ වැඩි කිරීමටත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.