(රෝෂන් තුෂාර)

අඛණ්ඩ සත්‍යග්‍රහයේ නිරත නොවන ලෙසට අධිකරණ කළ නියෝග පරිදි කොළඹ විහාර මහාදේවි උද්‍යානයෙන් ඉවත්ව නොගිය භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන්නැයි නීතිපතිවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා තහනම් නියෝගය ඉවත් කරන්නැයි භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස කළ ඉල්ලීම ද ප්‍රතික්ෂේප කළේය.

දෙපාර්ශවයන් කළ ඉල්ලීම් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර සිටියේ විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නියෝගයක් පැනවීමේ අවශ්‍යතාවයක් මේ අවස්ථාවේ උන්ගතව නොමැති බවය.

මහජන පීඩා ඇති වන හෝ නීතිය හා සාමය කඩවන අවස්ථාවකදී ගැටුම් අවම කරමින් නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය පොලිසියට ඇති බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා එවන් අවස්ථාවකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ බලය පොලිසියට ඇති බව පෙන්වා දුන්නේය.

සත්‍යග්‍රහයේ නිරත වූවන් නිශ්චිත අරමුණක් හෝ තීරණයක් පදනම් කර ගනිමින් විරෝධතාවයේ නිරතවන බවට අධිකරණය සෑහීමකට පත්වීමේ කරුණු අනාවරණය වී නොමැති බැවින් හා කඨින චීවරයක් මැසීමේ කටයුතු උද්‍යානයකම කළ යුතු බවට කරුණු තහවුරු කර නොමැති බැවින් අඛන්ඩ සත්‍යග්‍රහයේ නිරත වීමට එරෙහිව නිකුත් කර ඇති තහනම ඉවත් කිරීමේ අවශ්‍යතාවයක්ද නොපෙනෙන බව පෙන්වා දුන්නේය.

අධිකරණයට අපහාස කළේ යැයි සිර දඬුවම් ලබන ගලබඩ අත්තේ ඥාණසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ විහාර මහාදේවි උද්‍යානයෙ දී භික්ෂූන් වහන්සේ සහ ගිහි පිරිස් විසින් සංවිධානය කරන ලද අඛණ්ඩ සත්‍යග්‍රහය තහනමට ලක් කිරීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා ගොනුකරන ලද පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේය.

කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා පසුගිය 21 වැනි දින රාත්‍රිය ලබාගත් තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස මෝසමක් ගොනුකර තිබූ අතර අදාළ තහනමට අනුව විසිර නොගිය පිරිස් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කරන ලෙස පොලිසිය  මෝසමක් ඉල්ලීමක් ගොනු කර තිබිණි.

 දෙපාර්ශවයේ කරුණුවලට සවන් දී නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා මෙසේද පැවසීය.

මා දෙපාර්ශවයේම කරුණුවලට සවන් දුන්නා. පොදු ස්ථානයක අඛණ්ඩව රැඳී සිටිමින් සිදු කරන මේ ක්‍රියාවලිය තුළ නිශ්චිත අරමුණක් තියෙනවා කියලා අධිකරණයට කරුණු ඉදිරිපත් වෙලා නැහැ. කඨින චීවරයක් පිළියෙළ කිරීම සඳහා මෙවැනි උද්‍යානයක් ම තෝරාගත යුත්තේ කුමන හේතුවක් නිසා දැයි නිශ්චිතව කරුණු ඉදිරිපත් කරල නැහැ. යම් ස්ථානයක අඛණ්ඩව රැඳී සිටිනවා නම් අදාළ පාර්ශ්වයන්ගෙන් අවසර ලබාගත යුතුයි.

ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමේ අවසරය තිබිය යුතුයි. අවසරයකින් තොරව රැඳී සිටීම තුළින් නීතිය කඩවෙලා කියලා මේ අවස්ථාවේදී අධිකරණයට පෙනී යනවා. මහජන පීඩාවක් සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. සාමය කඩවීම් හෝ නීතිය කඩකිරීම් අධිකරණයට අනුමත කරන්න බෑ. එම නිසා මේ අවස්ථාවේදී පනවා ඇති තහනම ඉවත් කළ යුතු යැයි අධිකරණයට පෙනී යන්නේ නැහැ. ඒ වගේම මේ ස්ථානයේ පීඩාකාරී ආයුධ තබාගත් පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා. මෙවන් සිද්ධීන් ඉදිරියට නොවේ යැයි අධිකරණයට නිශ්චිතවම නිගමනයකට එන්න බැහැ. එම නිසා තහනම ඉවත් කරන්නැයි කරන ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා.