
(අංජුල මහික වීරරත්න සහ ජේ.ඒ.එල්.ජයසිංහ)
ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව බොරුවක් බව තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවේ අද (12) පැවසූහ.
සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රමුඛ නියෝජිතයන් මහනුවර මල්වතු මහා විහාරයට ගොස් මහ නා හිමියන් බැහැ දුටු අවස්ථාවේදී මහා නාහිමියෝ මේ බව කීහ.
සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මහා නා හිමියන් හමුවේ අදහස් දක්වමින් " මේ අය දළදා මාලිගාවට කතරගම දේවාල පෙරහරට බෝම්බ ගැහුවා" යනුවෙන් පැවසීය. මල්වතු මහා නා හිමි:-
මේ අය බෝම්බ ගැහුවා කියලා කොහොමද කියන්නේ.
මද්දුම බණ්ඩාර මහතා:-
එහෙම කියනවනේ හාමුදුරුවනේ.
මල්වතු මහා නා හිමි:-
නෑ නෑ. කවුරුවත් කිව්වට අපි දන්නවනේ.තුවක්කු උදුර ගත්තා.මුලට හිටපු පොලිසියේ තුවක්කු උදුර ගත්තා.එල්.ටී.ටී ඊ කාරයෝ වගේ බෝම්බ ගැහුවේ නෑ.ඔය නෙරංජන්නේ කියන්නේ. දැන් ඔය කරඬුවට කියපු දේවල් පේන්නේ නැද්ද? හොඳ කරඬුවක් හදලා පූජා කළේ.රජ්ජුරුවො පූජා කරපු එක අයින් කරලා වෙන එකක් දැම්මා දැම්මා කියනවා.එයා ඉන්නකොට මොකක්ද කළේ.ඒකෙ ගෑවනේ ලැකර්.අන්න පින්තූර තියෙනව මගේ ළඟ.
හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-
හාමුදුරුවනේ මේ කරඬුවට වුණේ මොකක්ද?ඇත්තටම අපිටත් දැනගන්න ඕන.
මල්වතු මහා නා හිමි:-
රත්තරනින්ම කරඩුවක් හදල දීල තියෙනවා. පරණ කරඬුවත් තියෙනවා.ඒක සුදුසු තැනක තියන්න ලෑස්ති කරල තියෙනවා.ඒක කිසි වරදක් නෙමෙයි. බොරුවට මේ කෑ ගහනවා.කියන්න කරන්න දෙන්නේ නැතුව අවුස්සන්න.
රංජිත් මද්දුම බණ්ඩාර මහතා:-
භික්ෂූත්වය ගැන තීන්දු තීරණ ගන්න ඕන සංඝ සභාව.
මල්වතු මහා නා හිමි:-
දැන් නීතිය හදනවා කියලා කියනවනේ.සති දෙකකින් හදලා දෙනවා කියලා කියනවා.
හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-
සති දෙකකින් හදන්න බෑනේ. පාර්ලිමේන්තුවට ගේන්න ඕනනේ.ඒ නීති රීති ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරන්න පුළුවන්.විධායක ජනාධිපතිතුමාට කරන්න තිබුණේ නීති හදන තුරු සුපුරුදු සිවුර එක්ක අධිකරණයට එන්න මාර්ගයක් සකස් කරන්න නියෝග පනවන්නයි.
මල්වතු මහා නා හිමි:-
ඒකට කැමති නෑ වගේ.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-
කැමති නැත්තේ මේකයි.මේ අයට දැන් රටේ තියෙන පදනම අඩුවෙනවා.පදනම අඩු වෙනකොට බෞද්ධ ශාසනයට කොනිත්තලා සුළු ජාතීන්ගේ හිත දිනාගන්න තමයි මේ වැඩේ කරන්නේ.
රංජිත් මද්දුම බණ්ඩාර මහතා:-
නරකම වැඩේ මේ දවස් ටිකේ ඒගොල්ලන්ගේ සමාජ මාධ්‍ය හරහා අපේ හාමුදුරුවන්ට හරියට මඩ ගහනවා.
මල්වතු මහා නා හිමි:-
කවුද කියලා හොයන්න බෑනේ. ඕවා පාලනය කරන ක්‍රමවේදයක් නෑනේ.
රංජිත් මද්දුම බණ්ඩාර මහතා:-
වෙන කවුරුවත් නෙමෙයි .ආණ්ඩුවෙන් මේක කරන්නේ.අපට විපක්ෂයට ඕක කරන්න වුවමනාවක් නැහැ.රටේ ජනතාවට ඕක කරන්න ඕන කමක් නෑ.
මල්වතු මහා නා හිමි:-
නොයෙක් විදියේ අය ඉන්නවනේ. පක්ෂයකට නැති තක්කඩි කමට ඕවා කරන මිනිස්සු ඉන්නවා.එහෙම කියන්න බෑ ඉතින් කවුරු ඕවා කරනවද කියලා.අපි නම් හිතන්නේ ඔය විදියට දාන ඒවා සම්පූර්ණයෙන්ම නැති වෙන්න ඕන කියලයි.චීනෙ ඔය විදියට නෑනේ.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-
බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න ආණ්ඩුව පියවරක් ගන්නේ නැතිනම් සමාජ මාධ්‍යයත් ඒ පාරෙම යනවා.ඒකයි අද වෙලා තියෙන්නේ.මේ සිවුරට ගරු කරන්න කියල ජනාධිපති තුමා විධානයක් දුන්නා නම් හරි.
මල්වතු මහා නා හිමි:-
එතුමටත් ඔය සිවුරම පොරවලා තියෙන්නේ සමාජ මාධ්‍යයේ.
රංජිත් මද්දුම බණ්ඩාර මහතා:-
අපේ ආණ්ඩු තියෙද්දි මුහුණ පොතේ ඔය වගේ දේවල් වැටුනේ නෑ. ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තිය නිරාගමික රාජ්‍යයක් කියන එක.බෞද්ධ ආගම නැති කරන්න. මල්වතු මහා නා හිමි:-
ඒවා කොතෙක් දුරට ඇත්තද කියන්න දන්නේ නෑ.පෙරහර නතර කරනවා කියලත් කිව්වනේ. කෝ නතර කළේ නෑනේ.වෙනත් ආගමික උත්සව වලටත් එතුමන්ලා ඔය සහභාගී වෙන්නේ, යනුවෙන්ද මහා නා හිමියෝ එහිදී කීහ.
සමගි ජන බලවේග නියෝජිතයෝ මෙහිදී වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි මහා නා හිමියන් බැහැ දුටුවහ.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමින්ද්‍රාණී කිරිඇල්ල,රෝහිනී කවිරත්න,ජේ.සී අලවතුවල මහත්වරු ප්‍රමුඛ සජබ නියෝජිතයෝ මෙම අවස්ථාවට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd