ශ්‍රී ලංකාව උග්‍ර දේශපාලනික ආර්ථික සහ සාමාජික අවිනිශ්චිතතාවකට මුහුණ දී ඇති මෙවන් මොහොතක ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ආරක්ෂා කිරීම, නීතියේ ආධිපත්‍යය සුරැකීම සහ සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතා හා අයිතිවාසිකම් ජාතික ජීවිතයේ කේන්ද්‍රස්ථානයෙහි තබන ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාම අත්‍යවශ්‍ය වේ.

 

  ප්‍රජාතන්ත්‍රවාදය මානව අයිතිවාසිකම් සහ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම   

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ලංකා සමසමාජ පක්ෂය සිය දැඩි කනස්සල්ල පළ කර සිටියි. ත්‍රස්තවාදයෙන් සහ අපරාධවලින් සමාජය ආරක්ෂා කිරීමේ නීත්‍යානුකූල වගකීමක් රාජ්‍යයට පැවැරී තිබුණද, පුළුල් ලෙස කෙටුම්පත් කරන ලද ආරක්ෂක නීති මගින් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සීමා කිරීම, විරුද්ධ මත මර්දනය කිරීම, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අඩාළ කිරීම සහ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් කණ්ඩනය කිරීම සඳහා පහසුවෙන්ම සාවද්‍ය ලෙස මෙන්ම අනිසි ලෙස භාවිත කළ හැකි බව ශ්‍රී ලංකාවේ මෙන්ම අන් රටවල ද අත්දැකීම් පෙන්වා දෙයි. එබැවින් රාජ්‍යයට සුවිශේෂ බලතල පවරන ඕනෑම ව්‍යවස්ථාවක් දැඩි ප්‍රජාතන්ත්‍රවාදී පිරික්සුමකට සහ සඵලදායී අධිකරණ අධීක්ෂණයකට යටත් විය යුතුය.

වාම සහ ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටි කෝණයකින් බලන කල, සැබෑ ආරක්ෂාව ගොඩ නැගිය හැක්කේ නිදහස, යුක්තිය සහ නීතියේ ආධිපත්‍යය පාවා දීමෙන් නොවේ. ත්‍රස්තවාදයට සහ සංවිධානාත්මක අපරාධවලට එරෙහි සටන මෙහෙයවිය යුත්තේ මානව අයිතිවාසිකම්, නීතියේ නිසි ක්‍රියා පටිපාටිය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, සංගම්වලට එකතු වීමේ නිදහස සහ සාමකාමීව විරෝධතා දැක්වීමේ අයිතිය පූර්ණ ලෙස සුරකින රාමුවක් තුළය. අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්, රඳවා තබාගැනීම් සහ දේශපාලනික පළිගැනීම්වලට එරෙහිව මෙම පනත් කෙටුම්පත්ව ශක්තිමත් ආරක්ෂක විධිවිධාන ඇතුළත් කර ඇති බව තහවුරු කරන ලෙසත් අර්ථවත් මහජන සාකච්ඡාවක නිරත වන ලෙසත් අපි රජයෙන් ඉල්ලා සිටිමු. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ආරක්ෂා විය යුත්තේ හිංසනයෙන් සහ අපරාධවලින් පමණක් නොව රාජ්‍ය බලය සීමාවකින් තොරව භාවිත කිරීමෙන් ද වේ.

 නීතිය ඉදිරියේ සමානත්වය සහ ආගමික ගෞරවයට ගරු කිරීම 

ඥානසාර හිමියන් සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලුව පිළිබඳව අපගේ ස්ථාවරය වන්නේ නීතියේ ආධිපත්‍යය නීතිය ඉදිරියේ සමානාත්මතාව සහ ආගමික ගෞරවය යන මූලධර්ම එකිනෙකට පටහැනි නොවන අයුරින් ආරක්ෂා කළ යුතු බවයි. ආගමික තනතුර සමාජ තත්වය හෝ දේශපාලන බලපෑම කුමක් වුව ද සෑම පුද්ගලයකුටම නීතිය සමානව ක්‍රියාත්මක විය යුතු අතර කිසිවකු නීතියට ඉහළින් තැබිය නොහැකි ය. එහෙත් ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කිරීමේ දී සිවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් මතුවූ මතභේදය හුදෙක් පුද්ගලයකුගේ සිවුර පිළිබඳ ගැටලුවක් ලෙස නොව බන්ධනාගාර පරිපාලන ක්‍රියාපටිපාටි සහ ආගමික වස්ත්‍ර සම්බන්ධයෙන් පවතින නීතිමය විධි විධාන අතර ඇතිවිය හැකි හිඩැස් පිළිබඳ පුළුල් ආයතනික ගැටලුවක් ලෙස විමසා බැලිය යුතුය.

මෑත කාලීනව භික්ෂූන් වහන්සේලා මෙන්ම වෙනත් ආගමික පූජකවරුන් ද විවිධ චෝදනා සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාවලියට මුහුණ දී ඇති පසුබිමක මෙවැනි තත්ව පූර්වයෙන් හඳුනාගෙන ආගමික ගෞරවය සුරකින අතරම නීතියේ සමානාත්මතාව තහවුරු කරන පැහැදිලි හා සාධාරණ රෙගුලාසි සකස් කිරීම දේශපාලන බලධාරීන්ගේ සහ අදාළ පරිපාලන ආයතනවල වගකීමක් විය යුතුව තිබුණි. එබැවින් අදාළ නීති හා රෙගුලාසි කාලෝචිතව සමාලෝචනය කර අවශ්‍ය සංශෝධන කිරීමට අපොහොසත්වීම මෙම අර්බුදය උත්සන්නවීමට බලපෑ ආයතනික දුර්වලතාවක් ලෙස බව පෙන්වා දිය හැකිය. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක වගකීම වන්නේ අර්බුදයක් ඇතිවූ පසු එයට ප්‍රතිචාර දැක්වීම පමණක් නොව එවැනි අර්බුද ඇතිවීම වැළැක්වීම සඳහා දූරදර්ශී නීතිමය හා පරිපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමයි. එබැවින් අපගේ අවධාරණය වන්නේ කිසිවකුට විශේෂ නීතිමය වරප්‍රසාද ලබා නොදෙන අතරම සියලුදෙනාගේ ආගමික ගෞරවය සහ මානව අභිමානය ආරක්ෂාවන පරිදි නීතිය සාධාරණව සමානව සහ විනිවිද භාවයෙන් ක්‍රියාත්මක කිරීම රාජ්‍යයේ අනිවාර්ය වගකීම බවයි.

  ජාතිවාදය, ආගමික අන්තවාදය සහ සාමාජික බෙදීම් ප්‍රතික්ෂේප කිරීම 

මෙහිදී අප විසින් විශේෂයෙන් අවධාරණය කළ යුතු තවත් කරුණක් වන්නේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් මතුවූ මෙම සිදුවීම පදනම් කරගනිමින් ශ්‍රී ලංකා සමාජය තුළ ජාතිවාදී සහ ආගම්වාදී ප්‍රවණතා යළිත් උත්සන්නවීමේ අවදානමක් පවතින බවයි. බහුජාතික බහු ආගමික සහ බහු සංස්කෘතික සමාජයක්වන ශ්‍රී ලංකාවෙහි මෙවැනි සිදුවීම් පටු ජාතිවාදී හෝ ආගමික දෘෂ්ටිවාද ප්‍රවර්ධනය කිරීම සඳහා යොදා ගැනීම සමාජ සහ ජීවනයට ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාවරත්වයට සහ ජාතික සමගියට බරපතළ තර්ජනයක් විය හැකිය. එබැවින් මෙම ගැටලුව ආගමික හෝ වාර්ගික ගැටුමක් බවට පරිවර්තනය වීමට ඉඩ නොදී එය නීතියේ ආධිපත්‍යය පරිපාලන වගකීම සහ පුරවැසි අයිතිවාසිකම් පිළිබඳ ගැටලුවක් ලෙස තාර්කික වහා වගකීමෙන් විමසා බැලීම අත්‍යවශ්‍යවේ.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සෑම පුරවැසියකුටම තම අදහස් ප්‍රකාශ කිරීමට රාජ්‍ය ප්‍රතිපත්ති හා ක්‍රියා මාර්ග විවේචනය කිරීමට ඒවාට විරෝධය පළ කිරීමට සහ සාමකාමීව රැස්වීමට ඇති අයිතිය මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අතරට අයත්වේ. එහෙත් එම අයිතිවාසිකම් භාවිත කිරීමේ දී වෛරය ප්‍රචණ්ඩත්වය සහ වාර්ගික හෝ ආගමික වෛරය උසිගැන්වීමෙන් වැළකීම ද සමාජීය වගකීමකි. ඒ අනුව එම අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පමණක් නොව ඒවා සාමකාමීව හා සමානාත්මතාවෙන් භුක්ති විඳීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම ද රජයේ මූලික වගකීමක් බව අවධාරණය කළ යුතුය. අපගේ ස්ථාවරය වන්නේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමේ නාමයෙන් පුරවැසි නිදහස සීමා නොකළ යුතුසේම නිදහස භාවිත කිරීමේ නාමයෙන් ජාතිවාදයට ආගම්වාදයට හෝ සමාජ බෙදීමකට ද ඉඩ නොතැබිය යුතු බවයි. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී අනාගතය රඳා පවතින්නේ විවිධත්වය ගැටුමක මූලාශ්‍රයක් බවට පත්කිරීම මත නොව එය අන්‍යෝන්‍ය ගෞරවය සමානාත්මතාව සහ සහජීවනය ශක්තිමත් කරන සමාජීය පදනමක් බවට පත් කිරීම මතය.

 

  භූදේශපාලනික බල තරගය හමුවේ ජාතික ස්වාධීනත්වය සහ ආර්ථික ස්වෛරීත්වය ආරක්ෂා කිරීම 

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන හා සමාජ-ආර්ථික අර්බුදය විශ්ලේෂණය කිරීමේ දී ඉන්දියානු සාගර කලාපයේ වර්ධනය වන භූදේශපාලනික බල තරගය පිළිබඳව ද අවධානය යොමු කළ යුතුය. ශ්‍රී ලංකාවේ උපායමාර්ගික භූගෝලීය පිහිටීම හේතුවෙන් ඉන්දියාව, චීනය සහ බටහිර බලවතුන් ඇතුළු ප්‍රධාන ජාත්‍යන්තර පාර්ශ්වවල ආර්ථික හා ආරක්ෂක අවශ්‍යතා මෙරට කෙරෙහි බලපෑම් ඇති කරයි. මෙවැනි පසුබිමක විදේශ ආයෝජන, ණය සහ සංවර්ධන සහයෝගිතා ජාතික සංවර්ධනය සඳහා යොදාගැනීමේ දී රටේ දිගු කාලීන ස්වාධීනත්වයට හා ආර්ථික ස්වෛරීත්වයට ඇතිවිය හැකි බලපෑම් විවේචනාත්මකව තක්සේරු කිරීම අත්‍යවශ්‍යවේ. ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය කිසිදු බළකඳවුරක අනුගාමිකත්වයට සීමා නොවී අන්‍යෝන්‍ය ගෞරවය, නොබැඳිභාවය සහ ජාතික අවශ්‍යතා මත පදනම් විය යුතුය. එමෙන්ම භූදේශපාලනික තීරණවල ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීමට යොමු කිරීම ද රාජ්‍යයේ මූලික වගකීමකි.

 ජනතාව මුහුණ දෙන සමාජීය සහ ආර්ථික අර්බුදය  

මෙහිදී අපගේ විශේෂ අවධානය යොමුවියයුතු තවත් තීරණාත්මක කරුණක් වන්නේ ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින ගැඹුරු ආර්ථික හා සමාජීය අර්බුදයයි. ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් ආදායම් අහිමිවීම, ජීවන වියදම ඉහළයාම, ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ගැටලු, රැකියා අවස්ථා හිඟය සහ ජීවන තත්වය පිරිහීම වැනි අභියෝගවලට මුහුණ දෙමින් සිටින පසුබිමක රටේ සැබෑ ප්‍රමුඛතා පිළිබඳව ගැඹුරු සමාජ විමර්ශනයක් අවශ්‍යවේ. විශේෂයෙන්ම උගත් තරුණ පරපුරට තම අධ්‍යාපන සුදුසුකම්වලට සරිලන රැකියා ලබාගැනීමට ඇති දුෂ්කරතා, මානව සම්පත ඵලදායී ලෙස භාවිත කිරීමට රාජ්‍යය අපොහොසත්වීමේ ලක්ෂණයක් පමණක් නොව, අනාගතය පිළිබඳ තරුණ පරපුර තුළ අවිනිශ්චිතතාව සහ කලකිරීම වර්ධනය කරන ව්‍යුහාත්මක ගැටලුවක් ද වේ. එසේම, ආහාර ලබාගැනීමේ දුෂ්කරතා, ජීවනවිය ද මේ පීඩනය සහ රැකියා ස්ථානවල පවතින අසතුට වැනි තත්ව හුදෙක් පුද්ගලයන්ගේ පෞද්ගලික ගැටලු ලෙස නොව ආදායම් බෙදීයාමේ අසමානතාව, ශ්‍රම වෙළෙඳපොළේ දුර්වලතා සහ සමාජ ආරක්ෂණ පද්ධතියේ සීමා සමග සම්බන්ධවූ පුළුල් සමාජ-ආර්ථික අර්බුදයක ප්‍රකාශන ලෙස හඳුනා ගත යුතුය.

මේ අනුව, ආර්ථික වර්ධනය දළ දේශීය නිෂ්පාදිතයේ ඉහළ යාමට හෝ රාජ්‍ය මූල්‍ය දර්ශකවල යම් වැඩි දියුණුවකට පමණක් සීමා කර මැනිය නොහැකිය. එහි සැබෑ සාර්ථකත්වය තීරණය වන්නේ ජනතාවට ගෞරවනීය ජීවිතයක් ගතකිරීමට, ප්‍රමාණවත් ආහාර ලබාගැනීමට, සුරක්ෂිත රැකියා හිමිකර ගැනීමට සහ අනාගතය පිළිබඳ විශ්වාසයෙන් ජීවත්වීමට ඇති හැකියාව මතය. රටේ දේශපාලන හා පරිපාලන අවධානය යොමුවිය යුත්තේ ජනතාවගේ දෛනික ජීවන ගැටලු විසඳීම, ගුණාත්මක  රැකියා උත්පාදනය, ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම, සාධාරණ ආදායම් බෙදීයාමක් ඇති කිරීම සහ ශක්තිමත් සමාජ ආරක්ෂණ පද්ධතියක් ගොඩනැගීම වෙතය. ආර්ථික ප්‍රතිසංස්කරණවල අවසාන අරමුණ විය යුත්තේ සංඛ්‍යා ලේඛනවලින් පමණක් පෙනෙන සාර්ථකත්වයක් නොව, වැඩ කරන ජනතාවගේ සහ ආන්තික කොටස්වල ජීවන තත්වය ඉහළ නංවන තරුණ පරපුරට අනාගතයක් සහතික කරන සහ සමාජ සාධාරණත්වය තහවුරු කරන මානව කේන්ද්‍රීය ආර්ථිකයක් නිර්මාණය කිරීමයි.

 වමේ එකමුතුකම සහ ප්‍රගතිශීලී දේශපාලන ක්‍රියාමාර්ගවල අවශ්‍යතාව  

අවසාන වශයෙන් අවධාරණය කර සිටින්නේ, මෙම සමාජ, ආර්ථික හා දේශපාලන අර්බුද සඳහා තිරසාර විසඳුම් සෙවිය හැක්කේ වාම හා ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටි කෝණයකින් පමණක් බවයි. පවතින අර්බුදවල ව්‍යුහාත්මක මූලයන් හඳුනාගෙන සමාජ සාධාරණත්වය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා සංවිධානාත්මක දේශපාලන මැදිහත්වීමක් අත්‍යවශ්‍යවේ. ඒ සඳහා වාම බලවේගවල එක්සත්භාවය හුදු විකල්පයක් නොව, ඓතිහාසික හා  දේශපාලනික අවශ්‍යතාවකි. එබැවින් අභ්‍යන්තර මතභේද හා පටු දේශපාලන අරමුණු අබිබවා පොදු ප්‍රතිපත්තිමය එකඟතාවක් මත සියලු වාම බලවේග එක්සත්වීම අනිවාර්ය කොන්දේසියක් ලෙස සැලකිය යුතුය. එවැනි පුළුල් එක්සත්භාවයකින් පමණක් ජනතා බලය ශක්තිමත් කරමින් ප්‍රගතිශීලී සමාජ පරිවර්තනයකට අවශ්‍ය දේශපාලන පදනම ගොඩ නැගිය හැකිය.

නීතීඥ කාංචන හර්ෂ කුමාර  

(I J)