IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


මෛත්‍රීපාල ජනපතිතුමා ජනාධිපතිකම ගැන දීපු පොරොන්දුව ඉටුකර අවසානයි

 

ආණ්ඩුවේ ඉදිරි ගමන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉරණම, සයිටම් අර්බුදය ඇතුළු කාලීන දේශපාලන ප්‍රශ්න සඳහා මේ පිළිතුරු සපයන්නේ සමාජ සවිබලගැන්වීම සහ සමාජ සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායකයි.

 

ආණ්ඩුව හරියට කරගෙන යනවට වඩා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ ආරවුල බේරගන්න නේද වෙලා තියෙන්නේ ඔබලට?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙට මොකුත් වෙන්නේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔය වගේ අභ්‍යන්තර ප්‍රශ්න අමුතු දේවල් නෙවෙයි. හැබැයි තාමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ග්‍රාමීය නායකයන් මහින්ද රාජපක්ෂට කැමැත්තක් තියෙනවා. ඒ නිසා අපේ සමහර දේශපාලනඥයොත් බයවෙලා. ඒත් මේ තත්ත්වය ක්‍රමානුකූලව අඩුවේගෙන යන බව තමයි මට නම් පේන්නේ. මේ වගේම තත්ත්වයක් අපේ පක්ෂයට සිරිමාවෝ මැතිනියගෙ කාලෙත් වුණා. මිනිස්සු මැතිනියට ආදරේ කළා. මැතිනිය වටේ හිටියා. ඒත් මැතිනිය එක්ක දිනන්න බැරි වුණා. මහින්ද රාජපක්ෂටත් ඒකනේ වුණේ. ජනාධිපතිවරණය පැරදුණා. මහ මැතිවරණයට ඇවිත් මොකද වුණේ. අපි දැන් අපේ ශාඛා ප්‍රතිසංවිධානය කරගෙන යනවා. ඒක නිසා පක්ෂය ආරවුල විසඳගෙන ඉදිරියට යනවා. ප්‍රශ්න නැති පක්ෂයක් නෑනේ. අනිත් පක්ෂවල කොච්චර ප්‍රශ්න තියෙනවද?


එතකොට ඒකාබද්ධ විපක්ෂෙ අය ආණ්ඩුව පෙරළනවා කියලා දකින්නේ දවල් හීනයක්ද?
මේ අය අතරත් දැන් එකඟතාවයක් නෑ. මේ අය හිටි ගමන් ජනාධිපතිතුමා හම්බවෙනවා. මේ අයටත් ඕනෑකමක් තියෙනවා පක්ෂය එක්ක එකතුවෙලා යන්න. මේක තව ටික දවසක් යනකොට පක්ෂයට වාසිදායක තත්ත්වයට හැරේවි.


මැතිවරණයේදී කොහොමද දෙගොල්ලො වැඩ කරන්නේ?
මැතිවරණය කොට්ඨාස ක්‍රමයටනේ එන්නේ. ඒකෙදි ගමේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා කීයටවත් දෙකට බෙදෙන්නේ නෑ. ඒක නිසා ඔය පොහොට්ටුකාරයො ලොකු අමාරුවක වැටෙනවා ඡන්දෙදි. ඒක දැන් ඔය පොහොට්ටුකාරයන්ට තේරිලා තියෙනවා. බැසිල් රාජපක්ෂට කවුරු හරි ලොකු ලණුවක් දුන්නා අපි ඡන්ද ක්‍රමය මනාප ක්‍රමයට ගෙනියනවා කියලා. ඒකයි එයා ඔය පොහොට්ටුව හැදුවෙ. එහෙම නැත්නම් එයා ඔය පොහොට්ටුව හදන්නේ නෑ.


එතකොට බැසිල් රාජපක්ෂලට මොකද වෙන්නේ?
ඒ කට්ටියට එකතුවෙන්න වෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක. වෙන කරන්න දෙයක් නෑ ඒ අයට.


ඔබලා කැමැතිද ඒ අය එකතු කරගන්න?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඕනෑ කෙනෙකුට එන්නත් පුළුවන්, යන්නත් පුළුවන්. අනික ඒ කට්ටිය පක්ෂෙ හිටපු මිනිස්සුනේ. ඒ නිසා ඒ අය පක්ෂයට එකතුවීම ගැන අපට ප්‍රශ්නයක් නෑ.


පහුගිය ආණ්ඩුවේදීත් බැසිල් රාජපක්ෂගෙ ක්‍රියා කලාපය ගැන ගොඩක් ඇමැතිවරු පවා නාහෙන් අඬ අඬා හිටියේ. මේ සැරෙත් ඒකම නොවෙයිද එකතු වුණොත්....


 ඒ කාලේ බැසිල් පක්ෂෙ අයිතිකාරයා වෙලානේ හිටියේ. කාටවත් වැඩ කරන්න බැරි වුණේ ඒකනේ. පක්ෂෙ විතරක් නෙවෙයි ආණ්ඩුවෙත් අයිතිකාරයා වගේනේ බැසිල් වැඩ කළේ. දැන් ඒක කරන්න හම්බවෙන්නේ නෑ, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා එක්ක. දැන් එයා තවත් සාමාන්‍ය පාක්ෂිකයෙක් විතරයි. එයාට වඩා ජ්‍යෙෂ්ඨයො කී දෙනෙක් ඉන්නවද අපේ පක්ෂෙ. දැන් එයාට පසුපෙළ ඉන්න තමයි වෙන්නෙ. සංවිධායකකමක් ඕනෑ නම් අරගෙන වැඩ කරගෙන එයාට ඉන්න පුළුවන්.


මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය අහෝසි වෙන්න යනෝ කිය කියා සමහරු කෑ ගහනවා.


තනිකර බොරුවක්නෙ ඕක. ඔය ඒකාබද්ධ විපක්ෂෙ කට්ටිය ගොතන කතාවක් විතරයි. ඔය කතාව බොරුවක් කියලා හොඳට තේරෙනවනේ. සැරින් සැරේට ඔය ඒකාබද්ධ විපක්ෂෙ කට්ටිය මොකක් හරි බොරුවක් කියාගෙන දඟලනවා. ඒකෙන් තමයි එයාලා යැපෙන්නේ. ෆෙඩරල් කතාවක් කියනවා වෙලාවකට. ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට තියෙන තැන නැති වෙනවා කියලා තව වෙලාවකට කියනවා. කලින් විදුලි පුටු කතාවක් කිව්වා. මේ අය මොකක් හරි කතාවක එල්ලෙනවා සැරින් සැරේට. මහින්ද රාජපක්ෂගෙ ප්‍රජා අයිතිය අහෝසි කිරීමක් ගැන කවුරුවත් හිතලවත් නෑ. එහෙම කරන්න කාටවත් ඕනෑකමකුත් නෑ. මෛත්‍රීපාල ජනාධිපතිතුමා ඉන්නකම් එහෙම දෙයක් වෙයි කියලා අපි හිතන්නෙත් නෑ.


ඉදිරියේදී මෛත්‍රී - මහින්ද කසාදයක් සිද්ධවෙයිද?
මෛත්‍රී - මහින්ද කසාදයක් සිද්ධවෙන එකක් නම් නෑ. ඒත් ඔය තැන් තැන්වල ඉන්න ගොඩක් අය ඉදිරියේදී එකට එකතුවෙයි. දැන් පක්ෂෙ සභාපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. එතුමා පක්ෂය අතට ගත්තට පස්සෙ පක්ෂය ශක්තිමත් කළා. දැන් කාටවත් පක්ෂය ගැන බයවෙන්න ඕනෑ නෑ.


දිනේෂ් ගුණවර්ධනලා නම් කියන්නේ ඉදිරියේදී මහින්ද රාජපක්ෂ අගමැති කරවීම ස්ථිරයි කියලා. 


කොහොමද අනේ එහෙම දෙයක් වෙන්නේ? පහුගිය මැතිවරණ දෙකේදි මහින්දට තිබුණු ඡන්ද එන්න එන්නම පහළ වැටුණනේ. කුරුණෑගලින් ඉල්ලලා තිබුණු තැන තවත් නැති කරගත්තා. වටේ ඉන්න අය නොයෙක් කතා කියලා එතුමාට බලාපොරොත්තු දෙන්න පුළුවන්. ඒත් ඒවා යථාර්ථයක් වෙන්න ඉඩක් තියෙන්නෙ එපායැ. එහෙම ඉඩක් පේන්නවත් නෑනේ.


ව්‍යවස්ථාව පිළිබඳ කතාබහක් උඩට ඇවිත්. මේකත් මාර පටලැවිල්ලක් වෙලා නේද ඇමැතිතුමා.


මෛත්‍රිපාල මැතිතුමා එතුමගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිව කියලා තියෙනවා අත්තනෝමතික ජනාධිපති බලතල ඉවත් කරනවා කියලා. ජනමත විචාරණයකට යන කිසිම සංශෝධනයකට අත තියෙන්නේ නෑ කියලා කියනවා. ඒකීයභාවය, ස්වෛරිභාවය, ස්වාධීනත්වය ශක්තිමත් කරනවා කියලා කියනවා. මේකෙන් මොකක්ද කියන්නේ. මේකෙන් කියන්නේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට යන්නේ නෑ කියලනේ. එතුමා ෆෙඩරල් ක්‍රමයකට යන්නේ නෑ. එහෙනම් ජනමත විචාරණයකට යන්න ඕනෑනේ. එතුමා ජනාධිපතික්‍රමය පිළිබඳව දීපු පොරොන්දුව ඉෂ්ට කරලා ඉවරයි. ඒ විධායක ජනාධිපති ධුරයේ අත්තනෝමතික බලය මීට පෙර කවුරුවත් අයින් කළේ නෑ. මෙතුමා ඒවා අයින් කළා.


එතකොට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා සෝභිත හාමුදුරුවන්ට සහ උන්වහන්සේගේ දේහය ඉස්සරහා දීපු පොරොන්දුව.


 විධායක ජනාධිපති ධුරයේ අත්තනෝමතික බලතල කියලා කෑල්ලක් ඕකේ මුලට දැම්මනේ. දැන් ඒක කාටත් අමතක වෙලා වගේ. එතුමා කියපු විදියට අත්තනෝමතික බලතල අයින් කරලා ඉවරයි. තවත් කරන්න දෙයක් නෑ.


එහෙම නම් මොන එහෙකටද ව්‍යවස්ථා සංශෝධනය සඳහා කමිටු පත් කරගෙන රට වටෙන් යෝජනා එකතු කරගෙන ජරමරයක් කරන්නේ ලොකු වියදමක් දරාගෙන.


කමිටු පත්කරගෙන සාකච්ඡා යන එක හොඳයි. ජනතාවගේ අදහස් විමසීමත් හොඳයි. ජනමත විචාරණයකට නොයා තව වෙනස්කම් කිරීම් කරන්න පුළුවන් නම් තවත් හොඳයි. ඒකට ජනාධිපතිතුමා එකඟ වෙයි. මේකට මහා ලොකු වියදමක් දරන්නේ නෑ. මේවා ගැන සාකච්ඡා කරලා විවිධ අදහස් මතුවෙන එකේ වැරැද්දක් නෑනේ. ප්‍රගතිශීලි යෝජනා ගැන අපට සැලකිල්ල යොමු කරන්න පුළුවන්.


පළාත් පාලන මැතිවරණය  තියන්නේ කවද්ද?
ඒක නීත්‍යානුකූලව තියෙන ප්‍රශ්න ටික විසඳගත්තු ගමන් පවත්වන්න පුළුවන්.


ඔබ කියලා තිබුණා ඔබ උසස් අධ්‍යාපන ඇමැතිවෙලා හිටිය නම් සයිටම් එක ගැන කෑගහන අයට කරන වැඬේ දන්නව කියලා. එහෙම වුණා නම් මොකක් වෙයිද?
එහෙම නම් අපි රටට ඇත්ත කතාව කියනවා. මම එතන හිටියා නම් දොස්තරලටයි ශිෂ්‍යයන්ටයි අනිත් කෑගහන අයටයි හැමෝටම වේගයෙන් උත්තර දෙනවා. අමතක කරන්න එපා මේක මම මගේ කැමැත්තට කරපු දෙයක් නෙවෙයි. කවුද සයිටම් එකට ලංකාවේ උපාධි දෙන ආයතනයක් හැටියට උපාධි දීම ප්‍රමිතිගත වෙන්න කියලා කිව්වේ. ඒක කිව්වෙ වෛද්‍ය සභාව. වෛද්‍ය සභාවේ ඒ කාලේ හිටපු සභාපතිනිය ලලිතා මෙන්ඩිස් මහාචාර්යවරිය ලිඛිතව ඉල්ලලා තියෙනවා මේක. පහුගිය දවස්වල ඒ ලියුමත් එළියට ආවා. ඒකෙන් පස්සේ මේ සම්බන්ධව ඉල්ලුම් පත්‍රයක් එනව යූ.ජී.සී. එකට. යූ.ජී.සී. එක මේක පරීක්ෂා කරන්න විටින් විට කණ්ඩායම් යැව්වා. මේ ගැන තීරණය අනු කමිටුවට බාරදුන්නා. වෛද්‍ය විද්‍යාලවල පීඨාධිපතිවරු සියලු දෙනා ඒ අනුකමිටුවල හිටියා. ඒ සියලු දෙනා මේක අනුමත කරනවා. ඒ අනුමතය යූ.ජී.සී. එකට ආවම යූ.ජී.සී. එක අනුමත කරනවා. ඊට පස්සෙ තමයි මම ඒක ගැසට් කරන්නේ. මම ඒක කළේ ඉතා සතුටින්. මේක කළේ අපේ රටේ දරුවන්ට අධ්‍යාපනයේ නිදහස දීම සඳහා. ආණ්ඩුවෙ වෛද්‍ය විද්‍යාල දියුණු කරනවා වගේම මේවත් කරන්න ඕනෑ. මේවටත් යන්න දරුවෝ ඉන්නවා. විදේශ රටවල පුද්ගලික වෛද්‍ය විද්‍යාල කීයක් තියෙනවද? ඒ රටවල ඒවට එහෙම විරුද්ධ වෙලා කෑ ගහන පිස්සුවක් නෑ. වෙන කොහේවත් රටකට නැති ලෙඩක් තමයි ලංකාවට බෝවෙලා තියෙන්නේ.


සයිටම් දරුවගේ තාත්තා මහින්ද රාජපක්ෂ නම් අම්මා එස්.බී. කියලා සමහරු කියනවා. දැන් තාත්ත නම් අමුතු කතාවක් නේද කියන්නේ?
ඒක ඇත්ත කතාවක්. සයිටම් එකේ පියා මහින්ද රාජපක්ෂ තමයි. එතුමාගේ කීමට වෛද්‍ය සභාවට කාලෝ ෆොන්සේකා පත් කළේ මමයි. සෞඛ්‍ය ඇමැතිවරයා විදියට ඉන්න කොට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමායි ඉදිරිපිට මහින්ද කාලෝ ෆොන්සේකාට කිව්වේ ඔයා කියපු ගමන් සයිටම් එක පිළිගත්ත කියලා.


එහෙනම් දැන් මහින්දගේ කතාව වෙනස් වෙලා තියෙන්නේ මොකද?  
ඉතිං එයා දැන් ඉන්නේ විපක්ෂයෙනේ. එතුමට ඔය විදියට කතා කරන්නේ නැතුව බෑ දැන්.


ඩිලාන් පෙරේරා කියලා තිබුණා. එයාලට දැන් යූ.එන්.පී. එකේ පව් ගෙවන්න වෙලා කියලා. ආණ්ඩුව ඇතුළෙ ඔබලා යූ.එන්.පී. එකේ හිරකාරයො වෙලාද ඉන්නේ?
එහෙම එකක් නෑ. අපේ පක්ෂ දෙක එකතු වීම හරහා ලබපු ජයග්‍රහණ ටිකක් තියෙනවා. ඒත් මේ පක්ෂ දෙක දෙකක්. අපේ පක්ෂෙ ප්‍රතිපත්තිත් එක්සත් ජාතික පක්ෂයට ගැලපෙන්නේ නෑ. එයාලගෙ ප්‍රතිපත්ති අපට ගැළපෙන්නේ නෑ. මේ ආණ්ඩුව ජාතික අවශ්‍යතාවක් වෙනුවෙන් බිහිවෙච්ච එකක්. අපි එකට යද්දී විවිධ ගැටලු ඇතිවෙන්න පුළුවන්. ඒක හරිම ස්වභාවිකයි.


ප්‍රසන්න රණතුංග වගේ අය නම් ඔබලට කියන්නේ යූ.එන්.පී. පිළිකන්නේ කටු ලෙවකන්නෝ කියලා.
 ප්‍රසන්න රණතුංගට ඔයිට වඩා කතාවක් කියාගන්න හැකියාවකුත් නෑ. ඕක තමයි ප්‍රසන්නලාගේ මට්ටම. ජාතික තත්ත්වයත් ජාත්‍යන්තර තත්ත්වයත් ලෝක ආර්ථික තත්ත්වය ගැන දැනුමක් නැතුව ඇතිනේ. ඒක නිසා එයාල දන්න තරමට එක එක කතා කියනවා. “ප්‍රසන්න පව්” කියනවා ඇරෙන්න වෙන කියන්න දෙයක් නෑ.


සම්මුතිවාදී ආණ්ඩුවේ ඉදිරිය කොයි වගේ වෙයිද?
මේ ගමන අපි 2020 වෙනකම් යනවා. ඒ ගැන කිසි ප්‍රශ්නයක් නෑ. ඒත් ඉදිරි මැතිවරණවලදී මේ ප්‍රධාන පක්ෂ දෙක වෙන්වෙලා තරග කරයි. ඒක ප්‍රජාතන්ත්‍රවාදී මිත්‍රශීලි සහෝදරාත්මක තරගයක් වේවි. එහෙම කරන්න ජනාධිපතිතුමා උත්සාහ කරාවි. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමත් ඒකට සහාය දේවි. මේ දෙන්නම තාම තමන්ගේ දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති පාවා දීලා නෑ. යූ.එන්.පී. එක වගේම අපිත් ඉදිරි මැතිවරණවලට මුහුණ දෙන්න පක්ෂය ශක්තිමත් කරනවා. එහෙම නැතුව මේ ප්‍රධාන පක්ෂ දෙක දිගටම එකතුවෙලා ඉන්න ගියොත් කවුද විකල්පය වෙන්නේ.


2020 විකල්පය තමන් කියලා බලය අල්ලන වැඩපිළිවෙළ ජනතා විමුක්ති පෙරමුණත් ඉන්නවනේ.


ඕනෑ කෙනෙකුට ඔය වගේ හීන දකින්න පුළුවන්. ඒත් ඒ අය කතා කරන සමාජවාදය ලෝකයේම “ෆේල්” වෙලානෙ දැන්.


ඉදිරියේදී තනිව තරග කරලා ආණ්ඩු බලයක් ලබාගන්න වැඩි ඉඩක් තියෙන්නේ යූ.එන්.පී. එකටද ශ්‍රී ලංකා එකටද?
අපි බලන්නේ අපේ පක්ෂයට බලය ගන්න. එක්සත් ජාතික පක්ෂයත් ඒ විදියට කල්පනා කරලා වැඩකරයි.


යූ.එන්.පී. ආණ්ඩුවක් බලයට ආවොත්?
ඒක ඉතිං ප්‍රජාතන්ත්‍රවාදයනේ.


මං ඇහුවෙ එස්.බී. මොකද කරන්නේ කියලා?
මම චන්ද්‍රිකා මැතිනිය එක්ක රණ්ඩුවෙලා එක්සත් ජාතික පක්ෂයට එකතුවෙච්ච එක ගැන පසුතැවෙන මිනිහෙක්නේ. ඒක මම දේශපාලන වශයෙන් කරගත්තු වරදක්. ඒ වරද මම ආපහු කවදාවත් කරන්නෙ නෑ. මම ශ්‍රී ලංකා එක අතඇරලා කොහේවත් යන්නේ නෑ.



අදහස් (0)

මෛත්‍රීපාල ජනපතිතුමා ජනාධිපතිකම ගැන දීපු පොරොන්දුව ඉටුකර අවසානයි

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1450 29

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 2980 15

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1404 24

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4407 52

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 1322 7

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


අයවැයෙන් සුරබි දෙන පහල වෙන්නේ නෑ
2025 මාර්තු මස 07 1218 6

අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 190 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 781 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 777 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site