IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


රටක අධ්‍යාපනයට කරන ආයෝජනය උතුම් දෙයක්: රජය කැපවීමෙන් එය ඉටුකරනවා

 

(පොලොන්නරුව-ක.ග. කරුණාරත්න, හිඟුරක්ගොඩ - සුනිමල් හේවගේ)
රටක අධ්‍යාපනය වෙනුවෙන් කරනු ලබන ආයෝජනය දීර්ඝතම මෙන්ම උතුම් ප්‍රතිඵල ලබා දෙන්නාවූ ආයෝජනයන් නිසා ඒ වෙනුවෙන් රජයක් විදියට සියලු කැපවීම් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් 25 වැනිදා පොලොන්නරුවේ දී ප්‍රකාශ කළේය. 


මේ රටේ පාසල්වල අධ්‍යාපනය ලබන ලක්‍ෂ 40 කට වැඩි දරු පිරිස ජාතික මෙන්ම ජාත්‍යන්තර තලය තුළත් විශිෂ්ටයන් බවට පත් කරන්නට අවශ්‍ය මඟ පෙන්වීම් සහ සම්පත් ලබාදෙමින් අපේ යුතුකම් සහ වගකීම් නිසි ලෙස ඉටුකරන බවද ජනාධිපතිවරයා කීය. 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවෙමිනි.


පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ රුපියල් එක් කෝටි අනූනව ලක්‍ෂයක වියදමින් අභිනවයෙන් ඉදි කෙරුණු පිහිණුම් තටාකය සහ රුපියල් එක්කෝටි හතළිස් ලක්‍ෂයක වියදමින් ඉදිකළ නව ක්‍රීඩාංගණය සහ ක්‍රීඩාගාරයද ජනාධිපතිවරයා අතින් මෙදින සිසු අයිතියට පැවැරීම සිදු කෙරිණි. 


එහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීය. 


මගේ පාසලේ අද ඓතිහාසික දවසක්. සුන්දර පරිසරයක තාක්‍ෂණික උපදෙස් මත ගොඩනැගුණු ක්‍රීඩාංගණයක 2017 වසරේ රාජකීය විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල පවත්වන අවස්ථාවේ ඔබ සමඟ එක්වීමට ලැබීම මා ඉතාමත් භාග්‍යයක් කොටයි සලකන්නේ. අද වගේම දවසක මට මතකයි රාජකීය විද්‍යාලයේ මගේ පාසලේ මම ශිෂ්‍යයෙක් විදියට අවසන් වරට මේ පාසලේ සිටියෙත් ඒ වගේම මම ශිෂ්‍යයෙක් විදියට සහභාගී වුණු නිවාසාන්තර ක්‍රීඩා උළෙලක් පැවැත්වුණෙත් මීට අවුරුදු 46 කට පෙර 1971 අප්‍රේල් මාසයේ පස්වෙනිදායි. 


මේ දරුවන් වගේම 1971 අප්‍රේල් මාසයේ පස්වෙනිදා මේ ක්‍රීඩාපිටිය තුළ අද ඔබ ඉන්න විදියටම, ඔබ ශිෂ්‍යයෙක් විදියට කටයුතු කරන විදියටම, ක්‍රීඩකයෙක් විදියට කටයුතු කරන විදියටම මම එදා කටයුතු කළා. ඒ වගේම අද මේ පාසලට පැමිණි අවස්ථාවේ විශේෂයෙන්ම ශිෂ්‍ය භට කණ්ඩයේ පැවැත්වුණු ආචාර පෙළපාළිය අවස්ථාවේ මගේ මතකය ඇදී ගියේ 1969 සහ 70 වර්ෂ දෙකේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය භටයෙක් විදියට මේ විද්‍යාලයේ දියතලාවේ පුහුණු කඳවුරට සම්බන්ධවූ ආකාරයත් අද මේ සිසු දරුවන් ආචාර පෙළපාළියේ සිටි ආකාරයට මමත් එදා ශිෂ්‍ය භටයෙක් විදියට හිටියා. එදා ඒ වගේම මම පාසල් යනවිට බාල දක්‍ෂ සේවයේ දරුවන් දකින විට මගේ මතකය ඇදී ගියේ මම බාලදක්‍ෂයෙක් විදියටත් මේ පාසලේ එදා කටයුතු කරපු ආකාරය. 


අද ඔබ ක්‍රීඩා කරන්නේ විධිමත් තාක්‍ෂණික උපදෙස් මත ඉදිවූ අංගසම්පූර්ණ ක්‍රීඩාංගණයකයි. එදා මා ක්‍රීඩා කළේ ශිෂ්‍යයෙක් විදියට ක්‍රීඩා පිටියක නොව පිට්ටනියකයි. එදා පිට්ටනියේ සිටි ශිෂ්‍යයෙක් අද මේ දරුවන්ම නව තාක්‍ෂණය යටතේ ක්‍රීඩාංගණයක ක්‍රීඩා කරන්න ඔබට අවශ්‍ය විදියට අනෙකුත් විවිධ අංශවල සැණකෙළි බලන්න කටයුතු කිරීම ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා.

පොලොන්නරුව රාජකීය විද්‍යාලය මේ ආකාරයට ගොඩනඟන්න පුළුවන්කම ලැබුණේ එදා සී.පී. ද සිල්වා මහතා මේ රටේ ශ්‍රේෂ්ඨ දේශපාලනඥයෙක් පොලොන්නරුව සංවර්ධනය වගේම මේ රටේ ජාතික සංවර්ධන වැඩපිළිවෙළේදී අපට රාජකීය විද්‍යාලයත් දායාද කළා. මම ඉතාමත් සතුටු වෙනවා අද ලංකාවේ කිසිම පාසලකට නොදෙවෙනි ආකාරයට අංගසම්පුර්ණ සියලු දේවල්වලින් පිරි පාසලක් බවට පත් කරන්න මගේ දායකත්වය මගේ ආණ්ඩුවක් තුළ ලබා දෙන්නට පුළුවන්වීම පිළිබඳව. 

 


මීට පෙරත් මා කියා තිබෙන ආකාරයට දරුවනේ දැන් තිබෙන්නේ ඔබේ වාරයයි. ඔබ දක්‍ෂ නම්, ඔබේ හැකියාවන් ඔබේ නිර්මාණශීලී භාවයන් ඔබේ කුසලතාවයන් තුළ ඔබ දක්‍ෂ දරුවන් වගේම දක්‍ෂ පුරවැසියන් වගේම ජාතික වශයෙන් මෙන්ම අන්තර් ජාතික වශයෙන් විවිධ ක්‍ෂේත්‍රවල ජයග්‍රහණය ලබන විශිෂ්ටයින් වනු දැකීමයි. අපි කාගේත් ප්‍රාර්ථනාව සහ අරමුණ.


මේ අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා අපි රජය විදියට කටයුතු කිරීම පළාත් සභාවේ දායකත්වය සහයෝගය අධ්‍යාපන අමාත්‍යංශය මේ සඳහා දෙන දායකත්වය මා ඉතාමත් අගය කරනවා. මීට පසුපස ඉදිවන අංගසම්පූර්ණ ක්‍රිකට් ක්‍රීඩාංගණය මා විශ්වාස කරනවා පොලොන්නරුව දිස්ත්‍රික්කයට ලැබුණු ඓතිහාසික සම්පතක් විදියට. පොලොන්නරුව දිස්ත්‍රික්කයට තියෙන පාසල් දෙසිය හයෙන් හැටක් අද පිබිදෙමු පොලොන්නරුව වැඩසටහන යටතේ පුළුල් සංවර්ධනයකට ලක් වෙමින් තිබෙනවා. මේ දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අංගසම්පූර්ණ කිරීම, අවශ්‍ය සම්පත් ලබාදීම, ප්‍රායෝගික වශයෙන් දරුවන්ට ඒ පාසල්වල ඉගෙනීම් කරනවිට අවශ්‍ය සම්පත් ලබා දෙනවා.


පිබිදෙමු පොලොන්නරුව වැඩසටහන මා විශ්වාස කරනවා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අධ්‍යාපනයේ පරිවර්තනයක් පෙරළියක් කරමින් මේ කරන අනාගත ආයෝජනය තුළ මේ දිස්ත්‍රික්කයෙන් ලෝකය ජයග්‍රහණය කරන විශිෂ්ටයින් බිහිවෙයි කියලා. ඒ නිසා මේ දෙන සම්පත් පොලොන්නරුව රාජකීය විද්‍යාලයට පමණක් නොවෙයි අද පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල්වල බැලුවොත් ඒ සෑම පාසලකම ඔබට දකින්නට පුළුවන් පිබිදෙමු පොලොන්නරුව වැඩසටහන යටතේ තිබෙන නව සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව. 
අපි ක්‍රියාත්මක කරලා තිබෙන තුන් අවුරුදු සැලැස්මක් තුළ මේ වනවිට වැඩ ආරම්භ කරලා තිබෙන්නේ. විද්‍යාලවල වැඩකටයුතු මේ වසරේත් ලබන වසරේත් ඉවරයි. සෑම පාසලකම 2018 අවසන් වනවිට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම පාසල්වල භෞතික සම්පත්වල කිසිම අඩුවක් නැතිව අංගසම්පූර්ණ වේවි කියලයි. මහ ඇමතිතුමාත් සමඟ මම සාකච්ඡා කරමින් හිටියේ මානව සම්පත් සම්පූර්ණ කිරීමේදී ප්‍රධාන වශයෙන්ම අත්‍යවශ්‍ය ගුරු ප්‍රශ්නය, ගැටලුව විසඳීම සඳහා මේ වනවිට ගෙන යනු ලබන වැඩසටහනේ සාර්ථකත්වයක් දැකීමයි. ඒ වගේම මම ඉන්දීය රජයෙන් කරන ලද ඉල්ලීමක් අනුව මේ වසරේ අපට පුළුවන් වෙනවා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පොලොන්නරුව නගරයේ ඉදිවෙන සංහිඳියා පාසල වැඩකටයුතු ආරම්භ කරන්න.


මම ඉන්දීය රජයෙන් කරපු ඉල්ලීමක් අනුව ඒ සඳහා අවශ්‍ය මුදල් අපිට පරිත්‍යාග කරලා තිබෙනවා. ණයක් නොවෙයි ප්‍රදානයක්. මේ දිස්ත්‍රික්කයේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දරුවන්ට එකට ඉගෙන ගන්න පුළුවන් පාසලක් අපි නිර්මාණය කරන්න. ඒ වගේම ලබන ජූලි පළවෙනිදා අපි වැඩ ආරම්භ කරනවා. මගේ ඉල්ලීමක් අනුව චීන රජයෙන් ලැබුණු ජාතික වකුගඩු රෝහල. එය පරිත්‍යාගයක්. එය ණයක් නොවෙයි. මම විශ්වාස කරනවා එය මුළු ලංකාවේම රෝගින් සඳහා ප්‍රතිකාර කරන මධ්‍යස්ථා නයක් බවට පත් කරන්න.
මේ විදියට ගත්තම අපි අධ්‍යාපන ක්‍ෂේත්‍රය, ඒ වගේම සෞඛ්‍යය අනෙකුත් සියලු ක්‍ෂේත්‍රයන් ආර්ථික සංවර්ධනයට අවශ්‍ය සියලු අංග රජයක් විදියට අවශ්‍ය ඉලක්ක කරා යමින් මේ සංවර්ධන ක්‍රියාදාමය ඉතාමත් සාර්ථක විදියට ක්‍රියාත්මක කරන කාල සීමාවක්. ඔබට පොලොන්නරුව රෝහලට ගියවිට දකින්නට පුළුවන් පොලොන්නරුව අද මොනතරම් විධිමත් කාර්යක්‍ෂම සංවර්ධනයක් කරා යනවද කියල. ඒ වගේම තමයි ඒවායේ සේවය කරන වෛද්‍යවරුන් ඇතුළු ඒ සියලු කාර්ය මණ්ඩල ඉතාම විශිෂ්ට සේවයක් කරනවා.


 අපි රටක් විදියට බලාපොරොත්තු වෙන්නේ මේ සියලු අංශවල සංවර්ධනය. කෙනෙක් කියන්න පුළුවන්, අහන්න පුළුවන් ඇයි පොලොන්නරුවට විතරක්ද මේ විශේෂ ව්‍යාපෘති කියලා. නෑ. ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම මෙවැනි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. අපි කරන්නේ පොලොන්නරුවේ අතපසුවූ දේ, පොලොන්නරුවට අත්‍යවශ්‍යම දේ පොලොන්නරුව ලංකාවේ තවත් දිස්ත්‍රික්කයකට නොදෙවෙනි දිස්ත්‍රික්කයක් බවට මේ දිස්ත්‍රික්කය පත් කිරීමේ ඒ උතුම් ව්‍යායාමය තමයි කරමින් තිබෙන්නේ. ඒ නිසා මම ඉතාමත්ම සතුටු වෙනවා වගේම මේ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් විදියට මේ විද්‍යාලයට මගේ ආදරය සහ ගෞරවය හැමදාමත් තියෙනවා. මේ දරුවන් දකින විට මගේ සිහියට එන්නේ ඔබ මෙන් මමත් ශිෂ්‍යයෙක් විදියට මේ පාසලේ ගත කරපු කාලයයි. ඒ නිසා දරුවනේ, ඔබට මම මේ වගේ දෙයක් කියනවා. ඔබ සෑම අතින්ම වාසනාවන්තයි. ඔබ සෑම ක්‍ෂේත්‍රයකින්ම භාග්‍යවන්තයි. ඔබට පාසලේ ප්‍රධාන වශයෙන් විභාගවලින් ඔබ ලබන ජයග්‍රහණ වගේම ඒ සඳහා සූදානම්වීම වගේම විභාග සමත්වීම වගේම මා කවදත් කියන පරිදි ජීවිතය සමත්වීම සඳහා සමාජය තුළ ප්‍රායෝගිකව තිබෙන ගැටලු සහ ප්‍රශ්න තේරුම් අරගෙන ඔබේ ජීවිතයේ ආත්ම ශක්තිය, ආත්ම ධෛර්ය, අධිෂ්ඨානශීලී භාවය, කැපවීම, විනය, විශිෂ්ටත්වය තුළ ඔබ මේ රටේ ශ්‍රේෂ්ඨ, විශිෂ්ට පුරවැසියන් වනු දැකීමයි අපේ අරමුණ. ඒ සඳහා ඒ ගමන් මගේ ඔබ ගෙනයන්ට, ඔබේ අනාගතය ශක්තිමත් කරන්නට අප විසින් දිය හැකි, දිය යුතු සෑම සහයෝගයක්ම ඔබට නොපිරිහෙළා ලබා දෙන බව ප්‍රකාශ කරන්න ඕන. වර්තමාන විදුහල්පතිතුමාත්, නියෝජ්‍ය විදුහල්පතිතුමාලත් තුමියලත්, ආචාර්ය මණ්ඩලය මෙම විද්‍යාලයේ දරුවන් සඳහා කරන කැපකිරීම මා ඉතාමත්ම අගය කරනවා.

විදුහල්තිතුමාගේ නායකත්වයත්, ආචාර්ය මණ්ඩලයේ සියලුදෙනාගේ තිබෙන කැපවීම සහයෝගය තුළ මේ සියලු භෞතික සම්පත්වලින් අනූන මේ පාසල ලංකාවේ විශිෂ්ටතම පාසලක්, විභාගවලින් වගේම ක්‍රීඩා ක්‍ෂේත්‍රය ඇතූළු අනෙක් බාහිර ක්‍රියාකාරකම් තුළ විවිධ ක්‍ෂේත්‍ර තුළ විශිෂ්ටතම පාසලක් බවට පත් කර ගැනීමට විදුහල්පතිතුමාත්, ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාත් කරන කැපවීම මා ඉතාමත් අගය කරනවා. එම නිසා අද දවසේ ඔබ සැම සමඟ එක් වන්නට ලැබීම ඔබට මෙන්ම ශිෂ්‍යයෙක් විදියට මට ඉතාමත්  ඓතිහාසික අවස්ථාවක් කියන එක සිහිපත් කරනවා.


ඔබේ අනාගතය වගේම, මේ රටේ පාසල්වල අධ්‍යාපනය ලබන ලක්‍ෂ 40 කට වැඩි දරු පිරිස මේ රටේ විශිෂ්ටයින් මෙන්ම ජාත්‍යන්තරය තුළත් ඉහළ විශිෂ්ටයින් බවට පත් කරන්නට රජයක් විදියට අප විසින් ගත යුතු ක්‍රියාමාර්ගත් ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීමත් අවශ්‍ය සම්පත් ලබාදීමත් තුළ අපි රජයක් විදියට අපේ වගකීම සහ යුතුකම නිසි ලෙස ඉටු කරන බව ප්‍රකාශ කරමින් මේ විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමය අලුත් මුහුණුවරකින් අලුත් වැඩසටහන් රාශියක නියැලී සිටිනවා. ආදි ශිෂ්‍ය සංගමයටත් මම සුබ පතනවා. ආශිර්වාද කරනවා ඔබේ මඟ පෙන්වීම ඔබේ සහයෝගය තුළ මේ පාසල සංවර්ධනයට සනිටුහන් කරන්න කියා. ඒ වගේම මව්පියන්ගේ තිබෙන උනන්දුව වුවමනාව, කැපවීම තමන්ගේ දරුවන් වෙනුවෙන් මම ඉතාමත්ම අගය කරනවා.


දරුවන් පාසලට එවනවා වගේම දරුවන් පාසලෙන් පෞද්ගලික පන්තියට යවනවා වගේම ඒ සියලු දේවල් පිළිබඳව මව්පියන් දැනට වඩා වැඩි අවධානයක් යොමු කිරීම ඉතාමත් අවශ්‍යයි කියන එකයි මගේ අදහස. එම නිසා දරුවන් පාසලට, පෞද්ගලික පන්තියට යවනවා වගේම, වැඩ රාජකාරි කොතෙක් තිබුණත් දරුවන් පිළිබඳව සොයා බැලීම පෙරට වඩා ඉතාම අවශ්‍යයි කියන එක විශේයෙන් සඳහන් කළ යුතු වෙනවා. පසුගිය දිනවල අපි දැක්කා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ සිසුන් නවක වදය දීම තුළ මොනතරම් හිංසාකාරී විදියට නවක ශිෂ්‍යයින්ට කරදර කරලා තිබුණාද කියන එක. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෝ ගෙයක් කුලියට අරගෙන නවක ශිෂ්‍යයින් ගෙනහිල්ලා ඇඳුම් ගලවලා නිරුවත් කරලා බිම දිගා කරලා පොලු අරගෙන ගහලා තලලා ඒ අහිංසක ශිෂ්‍යයින්ට ඉතාමත් ම්ලේච්ඡ විදියට හිංසා කරලා තිබුණේ.


ඒ කටයුතුවලට සහභාගීවෙච්ච සිසුන්ට මම දොස් කියන්නේ නෑ. නමුත් ඒ සිසුන් ඒ තත්ත්වයට පත් කළේ කවුද? ඔවුන් පිටුපස්සේ සිටියේ කවුද? ඒ අයට ගෙවල් අරන් දුන්නේ කව්ද ඒ සඳහා මුදල් කොහෙන්ද මෙවැනි කරුණු කාරණා ගණනාවක් තිබෙනවා. 
ඒ නිසා දරුවනේ ඔබ වගේ මේ රටේ සමස්ත දරු පරපුර විශ්වවිද්‍යාලයට යන්නේ සුන්දර බලාපොරොත්තු රාශියක් පෙරදැරි කරගෙනයි. ඒ සුන්දර පරිසරය තුළ බලාපොරොත්තු රාශියක් ඇතිව ඔබ විශ්වවිද්‍යාලයට යනවිට විශ්වවිද්‍යාලයෙන් ඔබ පිළිගැනීම කෙබඳුද. 


අපි දන්නවා පසුගිය දශක කිහිපය තුළම බරපතළ ඛේදවාදක රාශියක් ඇතිවුණා. සමහර සිසුන් මියගියා. අතපය කැඩුණා. සමහර සිසුන් සියදිවි නසා ගත්තා. ඒ අතරට අපට වාර්තා වෙනවා ඉතාමත්ම වධහිංසා, හිංසාදායක අමානුෂික ක්‍රියාකාරකම්. ඒ නිසා අපේ විශ්වවිද්‍යාල ක්‍ෂේත්‍රයේ සිටින සියලුම සිසු දරුවන්ගෙන් සිසු පරපුරෙන් මම ඉල්ලනවා ඔබේ මානසිකත්වය, ඔබේ සහෝදරත්වය ඔබේ විශ්වවිද්‍යාලයට ඇතුළුවන සිසුන් සඳහා තිබිය යුතු සෙනෙහස, ආදරය, ගෞරවය, පිළිගැනීම ඒ මනුෂ්‍යත්වය තුළ විශේෂයෙන්ම ආගමික ධර්මතාවයන් තුළ ප්‍රබුද්ධ භාවයෙන් කටයුතු කරන්න කියා. 


එම නිසා මෙවැනි සිද්ධීන් අපි රජය විදයට බරපතළ ලෙස, බලවත් ලෙස කනගාටුවනවා වගේම එවැනි සිද්ධීන් ඇති නොවීමට මම උපදෙස් දීලා තිබෙනවා. ඒ සඳහා පුළුල් වැඩපිළිවෙළක් අරන් තිබෙනවා. විශ්වවිද්‍යාලයේ සියලුම උප කුලපතිතුමන්ලා, ආචාර්ය මණ්ඩල පීඨාධිපතිවරුන්, විනය පාලක සභා ඒ සියලුම අයට මම ප්‍රධාන වශයෙන්ම ඉදිරි කාලසීමාව තුළ අනෙකුත් ආයතන සමග අත්වැල් බැඳගෙන සෑම ශිෂ්‍යයෙකුටම නිදහස් පරිසරයක් තුළ තම අධ්‍යාපන කටයුතු කිරීමේ පසුබිමක්, පරිසරයක් ගොඩනගන්නට කටයුතු කිරීම සම්බන්ධයෙන් අපි මේ දිනවල සාකච්ඡා කරමින් ඒ සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. 


අද දවසේ මේ පින්බර දිනයේ ආදරණීය, මාතාවන්ට රාජකීයයන්ට මවුපියන්ට සහ දරුවන්ට ඒ හා සමානවූ විදුහල්පතිතුමාත්, ආචාර්ය මණ්ඩලයත්, ආදී ශිෂ්‍යයින් සහ ආරාධිත අමුත්තන් වන ඔබ සියලු දෙනා සමඟ මේ දරුවන්ගේ කාර්යයට සහභාගී වීමට ලැබීම ගැන සතුටුවෙමින් දරුවනේ ඔබ වෙනුවෙන් ඔබේ අනාගතය සඳහා අප විසින් කළයුතු සියලු කැපවීම් කරමින් රටක අධ්‍යාපනය වෙනුවෙන් කරන ආයෝජනය දීර්ඝතම මෙන්ම වඩාත් උතුම් ප්‍රතිඵල ලබා දෙන්නාවූ ආයෝජනය නිසා ඒ වෙනුවෙන් රජයක් විදියට සියලු කැපවීම තිබෙන බව ප්‍රකාශ කරමින් ඔබ සියලු දෙනාටම වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරමින්  මම ඔබෙන් සමුගන්නවා. 


පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ විදුහල්පති රවිලාල් විජයවංශ මහතා පිළිගැනීමේ කථාව කළේය. 


උතුරු මැද පළාතේ ආණ්ඩුකාර පී.බී. දිසානායක, උතුරු මැද පළාත් මහ ඇමැති පේෂල ජයරත්න, උතුරු මැද පළාත් සභාවේ කෘෂිකර්ම ඇමැති ආර්.එම්.පී.බී. රත්නායක, යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ. 



අදහස් (0)

රටක අධ්‍යාපනයට කරන ආයෝජනය උතුම් දෙයක්: රජය කැපවීමෙන් එය ඉටුකරනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1450 29

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 2980 15

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1404 24

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4407 52

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 1322 7

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


අයවැයෙන් සුරබි දෙන පහල වෙන්නේ නෑ
2025 මාර්තු මස 07 1218 6

අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 190 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 781 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 777 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site