IMG-LOGO

2025 අප්‍රේල් මස 15 වන අඟහරුවාදා


රටම දිනවන වැඩපිළිවෙළක් ගේනවා

(***නිමල කොඩිතුවක්කු)

රටට හිතැති සියලු බලවේග ඒකරාශී කරගනිමින් දැවැන්ත ජන බලවේගයක් බිහිකර මෙවර මැතිවරණය ජයග්‍රහණය කර රට දිනවීමට කැපවන බව සමගි ජන බලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී ඊයේ (6) පැවැසීය.

ප්‍රජාතන්ත්‍ර විරෝධී සියලු බාධක පරාජය කරමින් නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය අගය කරමින් රටම දිනවන වැඩපිළිවෙළක් දියත් කරන බව ද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.ආර්ථික,  දේශපාලන, සමාජීය බලවේග  එකට ඒකරාශී කර ජාතික අවශ්‍යතා සපුරාලමින්  රටම බලගන්වා සද්දන්ත ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බව ද ඔහු පැවැසීය.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවැසුවේ පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී පැවැති සමගි ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ආරම්භය සනිටුහන්  කිරීම සහ සමගි ජන බලවේගයේ නිල ජංගම දුරකතන යෙදවුම ජනගත කිරීමේ  උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස  එක්වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීවේය.

“සමගි ජන බලවේගයේ  අපි හරීන් ප්‍රනාන්දු මහතාගේ නිර්මාණයක් තුළ අපගේ මැතිවරණ ව්‍යාපාරය  නව මානයකින් ආරම්භ කරලා තියෙනවා.  දුරකතනයෙන් තරග කරන සමගි ජන බලවේගය  මේ රටේ සම්ප්‍රදායානුකූල, යල්පැනගිය දේශපාලන රාමුවෙන් පිට පැනලා රට මුහුණ දෙන නව අභියෝගවලට  විසඳුම් සෙවීමට අලුත් ගමනක් ආරම්භ  කර තියෙනවා.

දුරකතනයෙන් තරග කරන අපි අපේ ගමනේ ප්‍රධානතම තේමා පාඨය විදියට සද්ජාතිකත්වය විදියට හඳුන්වා දෙනවා. මේ රටේ  සුවහසක් ජනතාවට සද්ජාතිකත්වය හරහා සියලු දෙනාම ජයග්‍රහණය කරන ජාතික ගමනක් අපි ආරම්භ කරලා තියෙනවා.

අපේ රට සිංහල බෞද්ධ  බහුතරයක් ඉන්න  රටක්. බුද්ධාගමට අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුවිශේෂී  ස්ථානයක් ලබාදී තිබෙනවා. එය ආරක්ෂා කරමින් සෙසු ආගම් සෙසු ජාතින් සඳහා නිවැරැදි  ආරක්ෂාවක් ලබාදීමේ ජාතික වගකීමක් තිබෙනවා කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරලා  තියෙනවා. මේ වැඩපිළිවෙළ  තුළ අපි පැහැදිලිවම ජාතිවාදය, ආගම්වාදය, අන්තවාදය, ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම  හෙළා දකිනවා විතරක් නෙමෙයි අපේ මාතෘ භූමිය තුළ  එවන් ක්‍රියා සිදු නොකරන තැනට අපි වගබලාගන්නවා.

සද්ජාතිකත්වය තුළ  සද්භාවයෙන් නිවැරැදි චින්තනයක් ඔස්සේ අපේ රට තුළ දේශාභිමානය  ආරක්ෂා කරමින් වෙනත් කිසිම ජාතියකට, ආගමකට එදිරිවාදිකම් නොකර සැබෑ ඒකීය මාතෘ භූමියක් තුළ  ජාතික ආරක්ෂාව සුරකිමින් සහෝදරත්වය සංහිඳියාව තුළින් ස්වෛරී මාතෘ භූමිය සුරකින නව ගමනක් ආරම්භ කරනවා.  

මේ  සද්ජාතිකත්වය තුළ ආර්ථික සෞභාග්‍යය, සමාජීය ශක්තිය, දේශපාලන-සිවිල් අයිතිවාසිකම්,  සංස්කාතික-ආගමික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න අපි බැඳී සිටිනවා.

සද්ජාතිකත්වය තුළ වෛරී දේශපාලනය, වෛරී ප්‍රකාශන අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. එම වෛරී දේශපාලනය, වෛරී ප්‍රකාශන නීති විරෝධී ක්‍රියා හැටියට හඳුන්වල එවන් ක්‍රියාවල යෙදෙන අය අපි නීතිය හමුවට ගෙනයාමට කටයුතු කරනවා.අපේ  රටේ ජාතික ආරක්ෂාව ගැන කතා කරනවිට එහි ප්‍රමුඛතම කාරණාව වන්නේ මිලිටරි ආරක්ෂාවයි. මිලිටරි ආරක්ෂාව ශක්තිමත් කිරීම උදෙසා රට  සුරකින ආරක්ෂක අංශ ධනාත්මක මානසිකත්වයකින් නවීන උපාංග හා නවීන පුහුණු රටාවන් තුළින් ශක්තිමත් ආරක්ෂක යාන්ත්‍රණයක් අපි නිර්මාණය කරනවා.

ජාතික ආරක්ෂාව   අප විග්‍රහ කරන ආකාරයට එය මිලිටරි ආරක්ෂාවට පමණක් සීමා වෙන්නේ නැහැ. අපි  රටක් විදියට ආර්ථික ආරක්ෂාව, දේශපාලන ආරක්ෂාව, සමාජීය ආරක්ෂාව  දෙස බැලිය යුතුයි.  අපි හඳුන්වන සද්ජාතිකත්වය තුළ ජාතික ආරක්ෂාවේ  පැතිකඩ ගණනාවක් තිබෙනවා. අප නිර්මාණය කරන සද්ජාතිකත්වය  තුළ සැබැවින්ම  ජාතික ආරක්ෂාව තහවුරු වෙනවා.

අද  වනවිට අපේ රටේ ආර්ථික ආරක්ෂාව පළුදුවෙලා තියෙනවා. ආර්ථිකය කඩාවැටීම තුළ සමාජ ආරක්ෂාවත් හීන වෙලා තියෙනවා. මේ නිසා දේශපාලන ආරක්ෂාවත් අද රට තුළ ක්ෂය වෙමින් පවතිනවා. ආර්ථික ආරක්ෂාව තහවුරු කරන්න නම් අපේ රටේ කඩා වැටුණු ආර්ථිකය අපි ගොඩනැගිය යුතුයි. ඒ සඳහා රටේ ජනතාවගේ  ජන ජීවිතය සුඛිත මුදිත කළ යුතුයි.

අක්‍රිය  වූ ආර්ථික චක්‍රය  නැවතත් සක්‍රිය කිරීම සඳහා ජනතාව අතට මුදල් ලබාදිය යුතුයි. නිර්මාණය වන ඉතිරි කිරීම,  පාරිභෝජනය, ආයෝජනය  යන ආර්ථික ක්‍රියා තුළ ගරා වැටුණු  ආර්ථිකය නැවත වරක්  ශක්තිමත් ස්ථාවරයට ගෙන ඒමට අපට හැකිවෙනවා. ඒ සඳහා නව ආර්ථික ක්‍රමෝපායන් අනුගමනය කිරීමට අපි අදහස් කරනවා.  මෙම ක්‍රමවේදයන් අනුගමනය  කරමින් වෙනත් රටවලට වඩා ඉදිරියෙන් සිටින්නට අපි අදහස් කරනවා.
අපේ උපායමාර්ගික සැලැසුම්වල ප්‍රධානතම  අරමුණ වන්නේ ජාතික අවශ්‍යතා සපුරාලීමයි. මේ මගින්  මුළු රටම බලගන්වලා සියලුම ආර්ථික,  දේශපාලන, සමාජීය බලවේග  එකට ඒකරාශි කරලා සද්ධන්ත ශ්‍රී ලංකාවක් නිර්මාණය කරනවා.  සැමට සෞභාග්‍යය හිමිවන සමාජ සාධාරණත්වය  උදාකරන මාතෘ භූමියක්  නිර්මාණය කිරීම සද්ජාතිකත්වය පෙරදැරි කරගෙන  ඉදිරියට යන අපගේ ඒකායන ගමන් මාර්ගයයි.

මහජන හමු දහසක් තුළින් අපි මේ වැඩසටහන රට පුරා ගෙනයනවා. මේ මගින් අපි  අසමසම  ජන බලවේගයක් නිර්මාණය කරනවා.  ජන සවියෙන් අපි විශිෂ්ට ජයග්‍රහණයක් කරා අපි මේ ගමන මෙහෙයවනවා.

සාම්ප්‍රදායික මාධ්‍ය තුළ අපට නොලැබෙන ඉඩ නවීන තාක්ෂණය ඔස්සේ ලබාගෙන නව තාක්ෂණය ඔස්සේ ජනතාව දැනුවත් කරමින් අපි කටයුතු කරනවා. ඒ සඳහා හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ පිරිසක් කටයුතු කරනවා.

එක කණ්ඩායමක් කෘත්‍රිමව ඔක්සිජන් ලබාදීලා ඉහළට  ඔසවන්නට යන යුගයක ජන ප්‍රජාව ඒකාබද්ධ කරගත්  නවීන ක්‍රමවේද  මගින්  ජනතාව සමග අත්වැල් බැඳගෙන   ප්‍රජාතන්ත්‍රවාදය අගය කරමින්  සමගි ජන බලවේගය රටම දිනවන  ගමන් මාර්ගය බවට අපි පත්කර ගන්නවා” යැයි ද ඔහු එහිදී සඳහන් කළේය.

සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා:

“මේ රටේ ප්‍රධානතම පක්ෂය විදිහට සමගි ජන බලවේගය තව මාසයකින් රටේ ආණ්ඩු බලය ලබා ගන්නවා. දිනමු කියන තේමාවෙන් අපි අපේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ආරම්භ කළා. අපේ අරමුණ රට, ජනතාව, පක්ෂය සහ මැතිවරණය ජයග්‍රහණය කිරීමයි.

විද්‍යුත් සහ සමාජ මාධ්‍ය අද මැතිවරණයේ ප්‍රධාන ප්‍රචාරක අංගයක් බවට පත්ව තිබෙනවා. සමහර මාධ්‍ය බොරුව රජ  කරලා බොරුවෙන් පාලකයන් පත් කරගත්තා. මීට එරෙහිව විශාල මාධ්‍ය මෙහෙයුමක් අපට අවශ්‍යව තිබෙනවා.  එහි වගකීම හරීන් ප්‍රනාන්දු මහතාට බාර දීලා අගෝස්තු 6 වැනිදා රටේ අගමැති විදිහට සජිත් ප්‍රේමදාස මහතා පත්කරගැනීමේ කාර්ය භාර්ය අපි මේ විදිහට අද ආරම්භ කළා” යැයි ද ඔහු පැවැසීය.

සමගි ජන බලවේගයේ මැතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධානී හරීන් ප්‍රනාන්දු මහතා:

“තව මාසයකින් රටට නව අග්‍රාමාත්‍යවරයකු තෝරා පත් කරගන්නවා.  අවුරුදු විස්සකට දැක්මක් තියෙන නායකයෙක් ඒ සඳහා අප තෝරාගත යුතුයි. මේ තරගයට තරගකරුවන් දෙදෙනයි.  අවුරුදු 76ක සාම්ප්‍රදායක නායකයෙක් තෝරගන්නවා ද 52ක තරුණ දක්ෂ නායකයෙක් තෝරගන්නවා ද කියන තීරණය අපි  ගත යුතුයි.

මාධ්‍යයෙන් පිපුණු පොහොට්ටුව අද කෙහෙල්මලක් බවට පත්වෙලා තියෙනවා. හදවතට කතා  කරන්න පුළුවන් දක්ෂ තරුණ සුදුසුම නායකයා තමයි සජිත් ප්‍රේමදාස කියන්නේ.මහින්ද රාජපක්ෂ අමාත්‍යාංශ ගාණක් පාලනය කරනවා. එතුමා මේ මාස අටටම මුදල් අමාත්‍යාංශයට ගිහින් තියෙන්නේ දෙවතාවක් විතරයි.දිනමු කියන තේමාවෙන් අපි මේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරලා ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස, ආර්ථිකය දිනවමු කියලා රටේ සියලුම ජනතාවට ආරාධනා කරනවා.”


මෙම අවස්ථාවට සමගි ජන බලවේගය ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉරාන් වික්‍රමරත්න, මයන්ත දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 



අදහස් (0)

රටම දිනවන වැඩපිළිවෙළක් ගේනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 5005 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 569 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1959 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3620 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1557 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4682 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 110 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 263 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 867 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site