IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


“ලෝකය පනින පිමි තුළ ඇත්තේ නව තාරුණ්‍යයයි“

(මුදිතා දයානන්ද)

“රටක අනාගතය පිළිබඳ වැඩ පිළිවෙළක් හා දැක්මක් නැති පාලකයෝ ඉන්න විට තරුණයන්ට ෂුවර් අනාගතයක් හැදෙන්නේ නැහැ. ඔබේ අනාගතය ගොඩනැගීමට දැක්මක් ඇති, වැඩපිළිවෙළක් ඇති එකම ව්‍යාපාරය ජාතික ජනබලවේගය පමණක්” යැයි ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර  අපේක්ෂක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉකුත්දා (27) පැවසීය.

ඔහු මේ බව පැවසුවේ කොළඹ විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේ දී පැවති ජාතික ජනබලවේගයේ තරුණ සමුළුව අමතමිනි.

ඔහු මෙසේ ද පැවසීය.

ලෝකය අත්පත් කරගන්නා ජයග්‍රහණ තුළ, ලෝකය පනින පිමි තුළ ඇතුළත්ව තිබෙන්නේ නව තාරුණ්‍යයයි. අපි විශ්වාස කරනවා ලංකාවේ දේශපාලන, ගමන්මග අපේ අනාගතය, දරුවන්ගේ අනාගතය තිරසාර ලෙස නැවුම් මාවතකට යොමු කිරීම සඳහා ලංකාවේ තාරුණ්‍යය සූදානම් වන බව කියන පණිවුඩය දෙන්න තමයි අද ඔබ මෙතන රැස්වෙලා ඉන්නේ කියලා. ඒක අපිට විශාල ධෛර්යයක් සහ ආශ්වාදයක්.

ඉතාම විකෘතිකාමී අනාගතය පිළිබඳ දැක්මක් නැති, මාතෘ භූමිය හෝ ජනතාව පිළිබඳ බැඳීමක් නැති පරපුටු කණ්ඩායමක් විසින් අද තාරුණ්‍ය ඇතුළු මුළු සමාජයම කෙළෙසමින් තිබෙනවා. අපි කිසිවකුටත් යුක්ති සහගත අයිතියක් නැහැ, අපේ මව්බිම හෝ ජනතාව මේ තරම් විනාශකාරී තත්ත්වයකට ඇදගෙන යද්දීත් ඒ හමුවේ නිහඬව ඉන්න.

අප මෙතන පෙළගැසී සිටින්නේ අපේ මාතෘ භූමියට නැවුම් මාවතක් විවෘත කරගැනීමේ අධිෂ්ඨානය හා ධෛර්යය පෙරදැරි කරගෙනයි. ඔබේ අනාගතය දැනෙන ආකාරය පිළිබඳව අද මෙතනදී ඉදිරිපත් කළ ප්‍රශ්න අතර ‘අනාගතය ෂුවර් නැහැ’ කියන ප්‍රශ්නයකුත් තිබෙනවා. රටට අනාගතයක් නැතුව ඔබේ අනාගතය ෂුවර් වෙන්නේ කොහොමද? රටක අනාගතය පිළිබඳ වැඩපිළිවෙළක් හා දැක්මක් නැති පාලකයෝ ඉන්න විට තරුණයන්ට ෂුවර් අනාගතයක් හැදෙන්නේ කොහොම ද?

විනාශකාරිත්වයේ ඔටුණු පළන් කණ්ඩායම් බලය හොබවන රාජ්‍යයක ඔබට අනාගතය පිළිබඳ විශ්වාසයක් ගොඩනැඟෙන්නේ කොහොම ද? අපිට අනාගතය ගැන විශ්වාසයයි, මේ සමාජය වෙනස් කිරීම සඳහා අධිෂ්ඨානය හා ධෛර්ය අප සතුව තිබෙන නිසා. මේ රටේ සෑම තරුණ තරුණියකුගෙන්ම අප ඉල්ලා සිටින්නේ, ඔබේ අනාගතය පිළිබඳ ගොඩනැගී තිබෙන අවිශ්වාසය, අනාරක්ෂිත ස්වභාවය හා බියසුළු ස්වභාවය වෙනස් කරමින් ඉතා සුරක්ෂිත අනාගතයක් නිර්මාණය කරන්න අපි සූදානම්. අපේ මාතෘ භූමියටත් ජනතාවටත් විශ්වාසවන්ත අනාගතයක් අපි නිර්මාණය කරන්න ඕන. ඒක පළමු කාරණය.

මේක බොහෝ අය දේශප්‍රේමිත්වය ගැන නන්දොඩවන වෙලාවක්. මේක කෛරාටික, භක්තිවන්තකමක්. මාතෘ භූමිය ගැන කිසිදු හැඟීමක් නැතිව ඉන් පලාගිය මිනිසුන් යළි මාතෘභූමිය පිළිබඳව, ජනතාව පිළිබඳව කෛරාටික දයාන්විත භාවයකින් කතාකරන්නට පටන් අරන් තිබෙනවා. කෛරාටික වදන්වලින් දිනපතා අපේ කන් පුරවනවා. අපේ මාතෘභූමියට අවංකව ආදරය කරන මිනිස්සු අපි. එය කිසිම අභියෝගයක් හමුවේ, වරප්‍රසාදයක් හමුවේ, වරදානයක් හමුවේ, බියගැන්වීමට දරන උත්සාහයක් හමුවේ, පලායන අත්හරින ආදරයක් නොවෙයි.

මේ රට මේ ගහල කණ්ඩායම්වලින් මුදා ගැනීමේ කාර්යයට අපි නොබියව පෙරට ආ යුතුයි. අපි ඒකට සූදානම්. තරුණයන්ට සුරක්ෂිත අනාගතයක් වැඩිහිටියන්ට සුරක්ෂිත ජීවිතයක් අපේ බාල පරම්පරාවට සැබෑ කරවන සිහිනයන්ගෙන් පිරුණු රාජ්‍යයක් අපි නිර්මාණය කරනවා. අපේ ආර්ථිකයෙන් විශාලම පංගුවක් අපේ තරුණ පරම්පරාව අතින් නිර්මාණය විය යුතුයි.

‘හරිහමන් ජොබ් එකක් නැහැ’ කියන ප්‍රශ්නයත් ඔබ අතර තිබෙනවා. සමාජයක් පවතින්නේ විවිධ වෘත්තීයවල සාමූහික ක්‍රියාකාරිත්වයෙන්. කසළ එකතු කරන්නාගේ සිට ඉහළ යැයි සම්මත වෘත්තීන් දක්වා සියලු දෙනාගේම සාමූහික ක්‍රියාකාරිත්වයකින් පමණයි සමාජයක් පවතින්නේ. අපේ පාලනයක් යටතේ සහතික වෙනවා මේ සෑම වෘත්තියකටම නිසි ගරුත්වයක් හා නිසි වටිනාකමක් ලැබෙන සමාජයක් අපි ගොඩනඟනවා. අපි හැමදෙනාටම සමාජය වෙනුවෙන් ඉටුකරන්න පුළුවන් කාර්යයක් අප නිර්මාණය කරනවා.

අපේ රටේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 52%ක් නියෝජනය කරන්නේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රවලින්. ජාතික ධනය වැඩි කිරීමටත් ලෝක වෙළඳපොළෙන් විශාල පංගුවක් අත්පත් කරගැනීමටත් හැකිවෙන පරිදි අපි එම ක්ෂේත්‍ර පුළුල් කරනවා. අපේ රටේ තරුණ තරුණියන්ගෙන් විශාල ප්‍රමාණයක් මෙම ක්ෂේත්‍රය ගැන අවධානය යොමු කර තිබෙන බව අපි දන්නවා.

කොරියාවට, ජපානයට, ඉතාලියට, මැදිපෙරදිගට ගිහින් අවුරුදු හතරක් පමණ දුක් මහන්සිවෙලා හම්බකරගෙන එන සේසතම යොදවා ව්‍යාපාරයක් පටන් ගන්නවා. අවුරුද්දක් දෙකක් යන විට ඔහු ණයකාරයෙක් වී තමයි නවතින්නේ. අවුරුදු ගණන් හරිහම්බ කරගත් සියලු ධනය විනාශ වී, ණයකාරයෙක් බවට පත්වී යළි රටහැර යන තත්ත්වයක් උදාවෙනවා.

අද ගෙයක් හදනකොට පාරක් අයිනෙ නම් කඩ කෑල්ලකුත් පැත්තකින් හදන්න පුරුදු වෙලා. ඇයි මේ? කිසිම ඉලක්කයක් නැහැ. හැමෝම කඩා දාලා හරියන්නේ නැහැ. හැමෝම කුකුල්ලු හදලා හරියන්නේ නැහැ. එක වතාවක දී කුරුණෑගල පැත්තේ මන්ත්‍රී කෙනෙක් හැම ගෙදරකටම කුකුල් පැටව් දුන්නා. හොඳ වෙලාවට උන් ගොඩක් දෙනා මැරුණා. මොකක්ද මේ කරන්නේ? අපි දැන් අපිම නිෂ්පාදන කරගෙන කන්න පුළුවන් සමාජයක් නෙවෙයි තියෙන්නේ. ව්‍යාපාරවලට ව්‍යාපාර ලෙස පවතින්න ඉඩ දෙන්න ඕන. අපි අපට හැකි රටට ගැලපෙන ව්‍යාපාරයක් හොඳින් තොරතුරු අධ්‍යයනය කර පටන් ගන්න ඕන.

එනිසා අපි සියලු දෙනාටම දත්ත, පුරෝකථනයන්, ලෝක වෙළඳපොළේ හැසිරීම, මේ සියල්ල පිළිබඳව ඉතාම හොඳ මාර්ගෝපදේශයක් සමග සුළු හා මධ්‍ය පරිමාණ උන්මාදයක් ලංකාව තුළ නිර්මාණය කරන්න අපි සැලසුම් කරලා තිබෙනවා. රටේ තරුණයන්ගෙන් විශාල පංගුවක් ජාතික ධනය නිෂ්පාදනය කරන ඒ වෙනුවෙන් තම දැනුම, ශ්‍රමය, කාලය වැය කරන විශාල තරුණ පරම්පාවක් අපි ගොඩනඟනවා.

අද රාජ්‍ය ආයතනවල පුරප්පාඩු පිරවෙන්නේ කොහොම ද? තෙල් ඇමති මහනුවර වෙනකොට සංස්ථාව මහනුවරින් පිරෙනවා. ඔහු ගිරිඋල්ලේ වෙනකොට එහෙන් පිරෙනවා. ගාල්ලේ වෙනකොට ගාල්ලෙන්. තමන්ගේ දේශපාලනයේ අතකොළු බවට රාජ්‍ය ආයතන පත්කරගෙන තිබෙනවා. ඒ නිසා තමයි සමහරු ප්‍රසිද්ධියේ කියන්නේ ඔයාට උස නම්, සිකියුරිටි, මිටි නම් කම්කරු කියලා.

සෑම රාජ්‍ය ආයතනයකම, අර්ධ රාජ්‍ය ආයතනයකම පුරප්පාඩුවක් පිරවෙන්නේ ඊට අවශ්‍ය සුදුසුකම, දක්ෂතාවය, හැකියාව තිබෙන අයගෙන් පමණයි කියලා අපි ඔබට සහතික වෙනවා. ඒ හැරුණුකොට කිසිසේත්ම දේශපාලන පත්වීම් අපි දෙන්නේ නැහැ. පසුගිය ආණ්ඩුවෙන් කිව්වා රැකියා දශලක්ෂයක් නිර්මාණය කරනවා කියලා. මම පාර්ලිමේන්තුවේ එවක බලවතාගෙන් ඇහැව්වා මොන රැකියා ද කියලා. අද තරුණ පරපුර එදාට වඩා දැනුමෙන් සන්නද්ධයි. දියුණු වූ ශ්‍රමිකයාට, අවශ්‍යතාවයන් සංකීර්ණය වූ ශ්‍රමිකයාට, දියුණු වූ තරුණයාට, අවශ්‍යතාවයන් පුළුල් වූ තරුණයාට ගැලපෙන රැකියාවක් නිර්මාණය කරන්න මේ පාලකයන් අසමත් වී තිබෙනවා. අපි ඔබට නිර්මාණය කරන්නේ ඔබගේ දැනුම, ඔබගේ හැකියාව, ශක්තිය ඉතා හොඳින් රට ගොඩනැඟීම සඳහා උකහාගත හැකි, ඒ වගේම ඔබගේ දැනුමට, ශක්තියට, වුවමනාවට සාධාරණ වේතනයක් සහ පහසුකම් ලැබෙන නව රැකියා වෙළඳපොළක් සහිත ශ්‍රී ලංකාවක්.

අපි උදේට වැඩට යනවා. වැඩ කරලා ආපහු ගෙදර එනවා. කනවා බොනවා. ටීවි බලනවා, නිදාගන්නවා. ආපහු උදේ නැගිටලා වැඩට යනවා. ඥාති සබඳතා පවත්වන්න වෙලාවක් නැහැ. නාට්‍යයක් චිත්‍රපටියක් බලන්න වෙලාවක් නැහැ. විනෝද ගමනක් යන්න වෙලාවක් නැහැ. හරියට යන්ත්‍රයක් වගේ. මේ අතිශය නීරස, අතිශය රළු විෂම චක්‍රයේ මේ රටේ තරුණ පරපුර අපි හිරකර තබන්නේ නැති බවට සහතික වෙනවා. ඔබට වැඩකරන්න කාලයක්, විවේකීව ඉන්න කාලයක්, විනෝදයෙන් ඉන්න කාලයක්, ඔබට නිදන්න කාලයක් සහිත සුරක්ෂිත රැකියා වෙළඳපොළක් නිර්මාණය කිරිමේ වගකීම අපි භාරගන්නවා.

මේ යල් පැනගිය දේශපාලනය තරුණයන්ට දැන් තිත්තවෙලා තියෙන්නේ. තාරුණ්‍යයට ඉදිරියට යාම සඳහා මේ දේශපාලනය තුළ දොරටු විවෘත වී තිබේ ද? ඉන්න හෝ හිටපු මැති ඇමතියන්ගේ පුත්තු, ජනාධිපතිගෙ පුත්තු ආදී ලෙස, අද දේශපාලනය පරම්පරාවෙන් පරම්පරාවට යන උරුමයක් බවට පත්වෙලා. එහෙම නොවී තාරුණ්‍යයට දොරටු විවෘත කරලා තිබෙන එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගයයි. රට ගැන කැක්කුමක් ඇගයීමක් තිබෙන මහජන සේවය, ජනතාව ගැන අකලංක වුවමනාවක් තිබෙන, රටට භක්තියක් හා ආදරයක් තිබෙන නව තාරුණ්‍යයට දේශපාලනයේ ඉදිරියටම යාම සඳහා අවශ්‍ය දොරටු විවෘත කිරීමට අපි සූදානම්.

සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරන්ද ගුණසේකර, වරලත් ගණකාධිකාරි, දත්ත විශ්ලේෂක කළමනාකාර  චතුරංග අබේසිංහ, කොළඹ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ත්‍යාගරාජා වරදාස්, ස්වේච්ඡා පරිසර සංරක්ෂණවේදි ශශීකලන රත්වත්ත යන මහත්වරු ද අදහස් දැක්වූහ.

ඉන්ද්‍රචාපා ලියනගේ, නදීක ගුරුගේ ඇතුළු ගායක ගායිකාවන් කිහිප දෙනෙකුගේ ගීත ගායනයෙන් සමුළුව අලංකාරවත් විය. දැඩි වර්ෂාව මධ්‍යයේ ද තරුණ තරුණියෝ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (2)

“ලෝකය පනින පිමි තුළ ඇත්තේ නව තාරුණ්‍යයයි“

ranasingha Wednesday, 30 October 2019 09:53 AM

වසර 52 ක ලාබාල තරුණ පුතුනි, කරුණාකර කරවල කඩයක් කර පෙන්නන්න වැඩක් කරන්න පුළුවන් කියලා..

:       31       104

Bamunuarachchi Friday, 01 November 2019 12:56 PM

ඔව් ඔව් 1989 තාරුණ්‍ය 60000ක් පැන්න හොඳ පිම්මක්. නැවතුනේ ටයර් සෑයවල්වල.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 519 5

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 709 18

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 6056 2

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 710 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2033 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3736 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 67 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 217 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 387 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site