IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


’සයිටම් ගැටලූව විසඳීමට ආණ්ඩුව ගන්නා ඕනෑම දෙයකට මුහුණ දෙන්න සූදානම්’

(නාලක සංජීව දහනායක)

‘‘සයිටම් ආයතනය සම්බන්ධ ගැටලූව විසඳීමට ආණ්ඩුව ගන්නා  ඕනෑම ක‍්‍රියාමාර්ගයකට මුහුණ දීමට සයිටම් විරෝධීන් සූදානම්’’ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (25) පැවැසීය.

‘ඒ වෙනුවෙන් පිළිතුරු දියහැකි සයිටම් විරෝධී ජනපවුර මේ වනවිට ගොඩනැඟා අවසන්’ බවත් ඔහු කීය.

‘සයිටම් විරෝධී සටන අතිශයින්ම සාධාරණ සටනක් බවත්, අනිවාර්යයෙන්ම එය ජයග‍්‍රහණයෙන් කෙළවර කරන’ බවත් දිසානායක මහතා පැවැසීය. සයිටම් විරෝධී ජනපවුර විසින් කොළඹ විහාරමහා දේවි එළිමහන් රංගපීඨයේදී පෙරේදා (25) පැවැත්වූ සයිටම් විරොධී සමුළුව අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද පැවසීය.

‘‘අද අපි රැස්වෙලා සිටින්නේ අනිවාර්යයෙන්ම ජයග‍්‍රහණය කළ යුතු සටනක් වෙනුවෙන්. මෙය අතිශයින්ම සාධාරණ සටනක්. පොදු ජනතාවගේ යහපත් චේතනාවන් අලෙවි කිරීමට මේ පාලකයන් උත්සහ ගන්නවා. මේ වනවිට විවාහවීමට පෙර තමන්ගේ දරුවා ඇතුළත් කරන පාසල ගැන කල්පනා කරන්න  ඕන.

දරුවා කුසට ආ දවසේ සිට හොර සහතික හදාගන්න  ඕන. අපේ රටේ පාසල්වලින් සියයට තිස්එකක පාසල් ගුරුවන් ඉන්නේ 9 දෙනකුටත් වඩා අඩුවෙන්.පාසල් එක්දහස් හාරසිය පනස් පහක ළමයින් පනහටත් වඩා අඩුයි. මේ ආකාරයට පාසල් අධ්‍යාපනය බිඳ වැටීමට හේතුව පාලකයන් විසින් සෙවිය යුතුයි. එපමණක් නොවෙයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් නියමිත ප‍්‍රමාණයෙන් 32ක් අඩුයි. රුහුණු විශ්වවිද්‍යාලයේ නියමිත ගණනට වඩා ආචාර්යවරුන් 107 දෙනෙක් අඩුයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියමිත ගණනට වඩා ආචාර්යවරුන් 132ක් අඩුයි. පාලකයන් මේවාට විසඳුම් සෙවිය යුතුයි.

පොදු ජනතාවගේ අධ්‍යාපනය වෙනුවට ඇති හැකි අයගේ අධ්‍යාපන ක‍්‍රමවේදයක් ගෙන ඒමට රාජිත, කිරිඇල්ල, එස්.බී. තුන් කට්ටුව ක‍්‍රියාකරනවා. උසස් අධ්‍යාපන ඇමැතිගේ උපදේශකයා සාමාන්‍ය පෙළ අසමත්. හරි නම් මේ තුන් කට්ටුව දහස් වරක් අත්අඩංගුවට ගත යුතුයි.

විශ්වවිද්‍යාල සිසුන්ගේ සාධාරණ උද්ඝෝෂණවලට රජය කිහිපවරක් පහර දුන්නා. උද්ඝෝෂණ කියන්නේ ශීල ව්‍යාපාර නොවෙයි. ඒ බව රජය තේරුම් ගත යුතුයි. ආණ්ඩුව මේ ගැටලූව විසඳන්නේ මර්දනයෙන්. මේ ගැටලූව විසඳීමට ආණ්ඩුව ගන්නා ඕනෑම ක‍්‍රියාමාර්ගයකට මුහුණ දීමට සයිටම් විරෝධීන් සූදානම්. ඒ වෙනුවෙන් පිළිතුරු දියහැකි සයිටම් විරෝධී ජනපවුර අපි ගොඩනඟා අවසන්.

රයන් සහෝදරයා අත්අඩංගුවට ගැනීම වැළැක්වූ පිරිස අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව සූදානම් වෙනවා. ඒ පිරිස හඳුනා ගන්න සී.සී.ටී.වී. දර්ශන පරීක්‍ෂා කරනවා. එහෙම කරන්න අවශ්‍ය නැහැ. එදා රයන්ව පැහැරගෙන යෑම වැළැක්වූ බොහෝ පිරිස් අද මේ වේදිකාවේ ඉන්නවා.

හම්බන්තොට වරාය, පුල්මුඬේ ඛනිජ වැලි නිධිය ඇතුළු රාජ්‍යසම්පත් විකිධෑමට ආණ්ඩුව සැලසුම් කර තිබෙනවා. අපි මේ විකිධෑම්වලට එරෙහිව ඉතාම ප‍්‍රබලව පෙනී සිටිනවා. පාඩුයි කිය කියා රාජ්‍ය ආයතන විකුණන මේ ආණ්ඩුව පාඩු පිට දුවන නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට පවර ගන්නවා.

මේ වේදිකාවේ ඉන්න අපිට වෙනස් මතවාද තිබෙනවා. නමුත් සයිටම් ආයතනයට එරෙහිව මේ වේදිකාවේදී සියලූම දෙනා එකට එක්වී සිටිනවා’’ යැයි පැවසීය.

 

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩබලන කැඳවුම්කරු මංගල මද්දුමගේ මහතා

‘‘රනිල්-මෛත‍්‍රී ආණ්ඩුව සයිටම් ආයතනයට සුජාත බවක් දීමට ක‍්‍රියා කරනවා. අධ්‍යාපනය, සෞඛ්‍යය අරගල කිරීමෙන් රැකගැනීමට නොහැකි බව බොහෝ දෙනා මුලදී අපිට කිව්වා.

නමුත් එදා අපි තනියම ආරම්භ කළ සටන මේ වනවිට දැවැන්තසමුළුවක් බවට පත්වී තිබෙනවා. අධ්‍යාපනය හා සෞඛ්‍ය වෙළෙඳ භාණ්ඩ බවට පත්කිරීමේ මූලික පියවර මේ සයිටම් ආයතනය හරහා සිදුවෙනවා. ඒ නිසා රජය මේ ආයතනය අහෝසි කරන්නේ නැහැ.

නමුත් නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍යය රැකගැනීමෙන් අපි මේ සටන කෙළවර කරනවා. ඒ වෙනුවෙන් අද බොහෝ දෙනා පාරට බැහැලා. 1977 දී විවෘත ආර්ථිකය හඳුන්වා දීමත් සමඟම නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍යය අහෝසි කිරීමට හැම ආණ්ඩුවක්ම කටයුතු කළා.

හෙට අනිද්දාට කොළඹවිශ්විවිද්‍යාලය හා පේරාදෙණිය විශ්වවිද්‍යාල ස්වාධීන කරන්න මේ ආණ්ඩුව කටයුතු කරනවා. ඒ අනුව ඉදිරියේදී මුදල් ගෙවා ඒ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන්න සිදුවේවි. අධ්‍යාපනය පුද්ගලිකරණය කිරීම මේ ආණ්ඩුවල ප‍්‍රතිපත්ති එක්ක බද්ධ වෙලා තිබෙනවා.

 

මේ ආණ්ඩුව යහපාලන තිඹිරිගෙයි ඉපදුන ආණ්ඩුවක්. එදා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන පොර ටෝක් දීපු අය අද හැංගිලා. මේ ආණ්ඩුවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙන්නත් බැහැ. සයිටම් විරෝධී අරගලය මර්දනයෙන් නතර කරන්නත් බැහැ. හෙට දවසෙදී මේ අරගලය යෝධ බලයෙන් නැවත ආරම්භ කරනවා’’ යැයි පැවසීය.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් මහතා

‘‘සයිටම් විරෝධී සටන මේ වනවිට ජාතික ගැටලූවක් බවට පත්වී තිබෙනවා. මෙය සියලූම බලවේග එක්රැස් වූ දැවැන්ත බහුජන අරගලයක් බවට පත්වී තිබෙනවා. අපි මේ සටන 2009 දී පටන් ගත්තේ සයිටම් ආයතනයට සිසුන් බඳවා ගැනීමටත් පෙරයි.

මුලදී අපි හුදකලාව සටන් ක‍්‍රියාමාර්ග ආරම්භ කළා. මේ අරගලයට සම්බන්ධ ජනාතවගේ කට වහන්න ආණ්ඩුව උත්සාහ ගත්තත් එය සාර්ථක වන්නේ නැහැ. මේ අරගලය නතර කිරීමට තිබෙන එකම විසඳුම සයිටම් හොර උපාධි කඩය අහෝසි කිරීමයි. මේ වනවිට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ඇතුළු ශිෂ්‍ය නායකයන් පස් දෙනෙක් සිරගත කර තිබෙනවා. කවදාවත් මර්දනයෙන් මේ ප‍්‍රශ්නයට පිළිතුරු හොයන්න බැහැ. අපිව සිරගත කිරීමෙන් මේ අරගලය කවදාවත් නතර කරන්න බැහැ.

මර්දනයෙන් මේ ප‍්‍රශ්නවලට පිළිතුරු හොයපු ආණ්ඩුවලට ඉතිහාසයේ දඬුවම් ලැබුණා. නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට පවරා ගත්තේ නැහැ. නෙවිල් ප‍්‍රනාන්දු විසින් එය රජයට බාර දුන්නා. රෝහල රජයට පවරාගෙන මේ සටන යට ගහන්න බැහැ. බොරු කියලා ජනතාව ගොනාට අන්දන්න බැහැ. නිසි විසඳුම් නැත්නම් ශිෂ්‍ය ව්‍යාපාරය ඉදිරියේදී තීරණාත්මක තීන්දු ගන්නවා.

ඉදිරියේදී වෛද්‍යවරුන් අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමුවිය යුතුයි. ඒ සඳහා සියලූම බලවේග සහයෝගය දැක්විය යුතුයි. මේ සටන ජයග‍්‍රහණය කිරීමට නිවැරැදි තීන්දු තීරණ ගත යුතුයි. ජයග‍්‍රහණයෙන් මිස සයිටම් විරෝධී සටන නතර නොකරන බව’’ ද පැවසීය.

ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා

‘‘නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍යය මුළු සමාජයට ආරක්‍ෂාව සපයන දෙයක්. සයිටම් වෛද්‍ය විද්‍යාලය බිහිකරන්නේ නීත්‍යානුකූල වෛද්‍යවරු නොවෙයි. 

ඒ බව මේ වනවිට තහවුරු වී තිබෙනවා. දුප්පත් සාමාන්‍ය මිනිසුන්ට මිසක් සමාජයේ සුපිරි පැලැන්තියට නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍යය වැඩක් නැහැ.

නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍යය අහෝසි කිරීම සමාජයට එල්ල කරන මරු පහරක්. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ජනසතු කරන්න එදා ජේ.ආර්. ජයවර්ධන මහතාත් කටයුතු කළා.

ඔහු එදා ශිෂ්‍ය ව්‍යාපාරය ඉදිරියේ දණ නැමුවා. තෙල් ටැංකි විකිධෑම, වරාය විකිධෑම ඇතුළු රටට එරෙහි ක‍්‍රියාමාර්ගවලට එරෙහිව අපිත් මේ ජන පවුර සමඟ අත්වැල් බැඳ ගන්නවා’’ යැයි පැවසීය.

 

 

 

 

 

පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා  

‘‘ආණ්ඩුවේ කුරිරු සැලැස්ම පරාජය කිරීමට අපි විශාල ජාලයක් හැදිය යුතුයි. ඒ ජාලය සඳහා අපි සියලූම දෙනා එකතු කරගත යුතුයි. එවිට මේ ආණ්ඩුව අකර්මණ්‍ය කළ හැකියි. රටේ පොදු ජනතාවට අයිති දේවල් විදේශිකයන්ට පාවාදෙන සැලැස්ම නතර කළ යුතුයි.

ආණ්ඩුව තමන්ගේ තීන්දුව අකුළා ගන්නේ නැත්නම් අපි මේ ආණ්ඩුව අකුළා දැමිය යුතුය. ජනතාව මේ ආණ්ඩුව අවසන් කිරීමට පෙරමඟ බලා සිටිනවා. මම අයිති වෙන්නේ ඒකාබද්ධ විපක්‍ෂයටයි. ඒකාබද්ධ විපක්‍ෂයේ සියලූම මන්ත‍්‍රීවරුන්ගේ සහයෝගය මෙම සටනට ලැබෙන බව’’ පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා

‘‘ආණ්ඩුවේ මර්දනයට අපි බය නැහැ. ඒ නිසා තමයි අපි මේ සටනට බැස්සේ. 88/89 දී උතුරු කොළඹ වෛද්‍ය පීඨයට එරෙහි සටන දිනුවේ උද්ඝෝෂණවලින්ම පමණක් නෙවෙයි. ඒ උද්ඝෝෂණ පිටිපස්සේ තුවක්කුත් තිබුණා. ඒක තමයි ඇත්ත කතාව. ඒත් අද එහෙම කරන්න අවශ්‍ය නැහැ.

අද තුවක්කුවට වඩා බලවත් මහජන බලවේගයක් අපි ගොඩනඟලා තිබෙනවා. ඒ බලවේග සමඟ සයිටම් අහෝසි කරනතුරු මේ සටන ගෙන යන බව අපි ප‍්‍රතිඥා දෙනවා. මේ ඇහෙන්නේ පොදු ජනතාවගේ හඬයි. මේ තරම් පොදු ජන හඬක් වෙන කොහේවත් ඇහෙන්නේ නැහැ. අපි මේ හඬ තවත් ශක්තිමත් කරනවා.

ඒ වෙනුවෙන් අගෝස්තු 2 වැනිදා ජාතික විරෝධතාවයක් ක‍්‍රියාත්මක කරනවා. රටේ හැම නගරයකම උද්ඝෝෂණ පවත්වනවා. රාජ්‍ය ආයතන ඉදිරිපිට උද්ඝෝෂණ කරනවා. මහජන පෙත්සම් අත්සන් කරනවා. ඒත් මදිනම් ඉදිරියේදී සිවිල් නීති කඩ කිරීමේ දැවැන්ත ව්‍යාපාරයක් අපි ආරම්භ කරනවා. එදා රයන් සහෝදරයා පැහැරගෙන යෑම වළක්වපු උදවිය ගැන පොලිසියෙන් හොයනවා. අමුතුවෙන් හොයන්න දෙයක් නැහැ.  මේ වේදිකාවේ ඉන්න බොහෝ දෙනා එදා එතැන හිටියා’’.

 

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා

‘‘මීට පෙර එක එක කොදෙව්වල සිටි අය අද එකට එක්වෙලා පොදු සතුරාට විරුද්ධව සටන් කරනවා. සයිටම් හොර උපාධි කඩය අහෝසි කිරීම දවසේ අවශ්‍යතාවක්. ඒ සඳහා අප ගෙනයන අරගලය නතර කිරීමට ආණ්ඩුව උපරිමයෙන්ම මර්දනය යොදනවා. යකාට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නැහැ. අපි සටනට බැස්සේ  ඕනෑම දෙයකට මුහුණ දීමට සූදානමින්. ඒ නිසා අපි මර්දනයට බය නැහැ. මර්දනයෙන් අපි නවතන්න බැහැ.

අධ්‍යාපනය, සෞඛ්‍යය වෙළෙඳ භාණ්ඩයක් කිරීමට එරෙහිව සිසුන් පෙරට ආවා. දැන් ඒ සටනට සහාය දීමට සියලූම මහජන බලවේග පෙරට ඇවිත් තිබෙනවා. මේ සටන මේ තරම් දුරක් ඇදගෙන එන්න මේ සියලූම දෙනා විශාල කැපකිරීමක් කළා. මෙය ජයග‍්‍රහණයෙන් මිස අතරමඟ නතර කරන සටනක් නොවෙයි. සයිටම් අහෝසි කරනතුරු මේ සටන ඉදිරියට යන බව පැවසීය’’.

රජයේ දන්ත වෛද්‍ය සංගමයේ ලේකම් විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා

‘‘නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සුරක්‍ෂිත කරගැනීමට අපි දශක ගණනාවක් සටන් කළා. නමුත් සයිටම් විරෝධී සටනත් සමඟ ඒ සියලූම සටන් එක් නිශ්චිත තැනකට පැමිණ තිබෙනවා. මේ වනවිට සයිටම් විරෝධී අරගලය වෙනුවෙන් ගොඩනැඟිය හැකි පුළුල්ම බලවේගය අප ගොඩනඟා තිබෙනවා. සයිටම් මුදලාලිගේ සල්ලිවලට, ආණ්ඩුවේ කුලී හේවායන්ට වඩා මේ ජන පවුර බලවත්.

නිදහස් අධ්‍යාපනය රැකගැනීමට අපට සටන් කරන්න වෙලා තිබෙන්නේ ඇයි? නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය නිසා මිනිසුන්ගේ චින්තනය දියුණු වුණා. ඈත ගම්වල දුප්පත් අම්මල තාත්තලාගේ ළමයි විශ්වවිද්‍යාලයට ඇවිල්ල මහාචාර්ය වුණේ මේ නිදහස් අධ්‍යාපනය නිසයි. මේ රටේ ජනතාව සයිටම් ආයතනයට විරුද්ධව පෙළ ගැසුණා. ආණ්ඩුව කළේ මොකක්ද? ආණ්ඩුව නෙවිල් ප‍්‍රනාන්දුගේ රෝහල රජයට පවරා ගත්තා. ජනතාව ඉල්ලන්නේ ඒක නොවෙයි. වෛද්‍ය සභාවට රූකඩ පාලකයන් පත් කරලා මේ සටන නතර කරන්න බැහැ.

අපි මේ වනතුරු සියලූම අයිතිවාසිකම් දිනාගත්තේ සටන් කිරීම තුළිනුයි. සදාතනික සත්‍යය එයයි’’.

 

පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ආචාර්ය විශේෂඥ වෛද්‍ය ප‍්‍රභාෂ්වරී ගිනිගේ මහත්මිය

‘‘විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වශයෙන් අපිට දේශපාලන න්‍යාය පත‍්‍රයක් නැහැ. මෙතෙක් පැවැති ආණ්ඩු සමඟ සහයෝගයෙන් අපි කටයුතු කළා. මේ වනවිට අපේ දරුවන් මාස හතක් තිස්සේ මහ පාරේ ගුටි කනවා. දැන් දැන් පැහැරගෙන යන්නත් හදනවා.

වෛද්‍ය පීඨවල ඉන්නේ අධ්‍යාපන සුදුසුකම් මත ආපු දරුවන්. මුදල් හෝ දේශපාලන බලපුළුවන්කාරකම් මත ආපු දරුවන් අපි ළඟ නැහැ. සයිටම් ආයතනය වෛද්‍ය පීඨයක් නොවෙයි. ඒක හොර ගුහාවක්. දළ දේශීය ආදායමෙන් සියයට 6ක් අධ්‍යාපනයට වෙන් කරන බවට පොරොන්දු වෙමින් බලයට ආ ආණ්ඩුව අද අධ්‍යාපනයට වියදම් කරන්නේ

සියයට 2ටත් වඩා අඩු මුදලක්. මේ වගේ ආණ්ඩුවක් බලයට පත්කීරීම ගැන ලැජ්ජයි’’.

 

 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා

‘‘සයිටම් විරෝධී ජන පවුර නිර්මාණය කළේ මෙම සටන දිනන්න මිස පරදින්න නෙවෙයි. නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට පවරාගත් නිසා ප‍්‍රශ්නය විසඳුන බව රාජිත ඇමැතිතුමා කියනවා. එහෙම වෙලා නැහැ. එතුමා ඔළුව විකාරෙන් කියවනවා. අපි සටන් කරන්නේ ලෝක සම්මතය මේ රටේ ස්ථාපිත කරන්නයි.

ආණ්ඩුවට ඒ දේවල් පුරුදු නැහැ. සුදු වෑන් එවලා ඒ ලෝක සම්මතය යටගහන්න හදන්නේ ඒකයි. 88/89 යුගයේදී උතුරු කොළඹ වෛද්‍ය පීඨයට එරෙහි සටන දිනුවේ ජීවිත රාශියක් පුදලා. නමුත් මේ සටන එහෙම වෙන්නේ නැහැ. එකම එක ජීවිතයක්වත් බිලි නොදී අපි මේ සටන ජයග‍්‍රහණයෙන් කෙළවර කරනවා.

ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට වගේ සිසුන්ටවත්, අපිටවත් චෝදනා නැහැ. ඒ නිසා අපි ආරම්භ කළ මේ සටන පිවිතුරු සටනක්. අපි දැනගෙන හිටියේ සයිටම් ආයතන ප‍්‍රමිතියක් නැහැ කියල විතරයි. නමුත් නෙවිල් ප‍්‍රනාන්දු රෝහලත්, ඒකෙ හෙදියනුත් ප‍්‍රමිතියක් නැති බව ආණ්ඩුව කියනවා.

ඒ නිසා ඒ හෙදියන්ට හෙද සහකාර පත්වීම් දෙන බව සෞඛ්‍ය ඇමැතිතුමාකියනවා. ඒවා අමුතු පත්වීම්.  ඕනෑම වේලාවක වර්ජන දීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට පුළුවන් යැයි’’ ද පැවසීය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, දෙමාපියන්, කලාකරුවන්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. 2017 ජූලි මස 27 වැනිදා බ‍්‍රහස්පතින්දා සයිටම් ගැටලූව විසඳීමට ආණ්ඩුව ගන්නා  ඕනෑම කි‍්‍රයා මාර්ගයකට මුහුණ දීමට අපි හැමෝම සූදානම් 14ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක කියයි

සයිටම් විරෝධී සමුළුවට සහභාගී වූ දේශපාලන නායකයන්, වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු පිරිස ප‍්‍රධාන වේදිකාවේ අසුන්ගෙන මේ වගේ ආණ්ඩුවක් බලයට පත්කිරීම ලජ්ජයි

සයිටම් විරෝධී රැලියට සහභාගී වූ සිසුන්, මවුපියන් ඇතුළු පිරිසෙන් කොටසක්.

(ඡායාරූප: ඉෂාන් සංජීව)



අදහස් (8)

’සයිටම් ගැටලූව විසඳීමට ආණ්ඩුව ගන්නා ඕනෑම දෙයකට මුහුණ දෙන්න සූදානම්’

theshan Thursday, 27 July 2017 02:26 PM

මම අහන්නේ මේ විරෝධතා අපි දැක්කේ නැනේ මේක පටන් ගත්ත දවස්වල.. මේ වෛද්‍ය සංගමයේ උදවිය, සහ මේ මහාචාර්යවරු කොහෙද හිටියේ? දැන් මේ එකපාරටම එලියට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම ඔය වාසුදේව, දිනේෂ් කියන මහත්වරු ඉන්න කාලේනේ මේක පටන් ගත්තේ.... ඇයි එතකොට විරුද්ධ වුනේ නැත්තේ?

:       1       458

pitigalaSaturday, 29 July 2017 02:58 AM

ඒ ගොල්ලන්ට තියෙන්නේ සයිටම් ගැන ප්‍රස්නයක් නෙවෙයි. ත්‍රි වීල් පක්ෂ තුනේ බලය මහින්ද වටේ ගොඩ නගා ගෙන තව කල් බලය අල්ලා ගැනීමයි. එක පැහැදිලි කරුණක්.

:       6       169

ONE SRILANKA Thursday, 27 July 2017 02:59 PM

රනිල් මහත්තයෝ, සිරිසේන මහත්තයෝ සයිටම් ජනසතුකර පාරට වැටුණු 12000 ක් බුද්ධිමත් ළමයි යන ගමන ශක්තිමත් කරන්න. මෙහි කිසිම දේශපාලනයක් නැත. අපිට බලය ගන්න රජය පෙරලන්න ඕනේ. මේක ජාතික ප්‍රශ්නයක්..

:       111       31

Saman Friday, 28 July 2017 01:15 AM

ජේ වී පී නායකයත් අමුතුම රාජයෙක් තමයි.

:       1       142

theshan Saturday, 29 July 2017 01:40 PM

ඒ වගේම ලංකාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ, දේශපාලන නායකයන්ගේ සහ වෛද්‍ය දරුවෝ ඉගෙන ගන්නේ කොහෙද? පෞද්ගලික පාසල්වල.. ඊට පස්සේ විශ්වවිද්‍යාල අද්‍යාපනය ලංකාවේද නැහැ.

:       0       50

kumar (galf) Sunday, 30 July 2017 06:49 AM

මේ රංචුවම කූඩු කරන්න. එතකොට ඉබේම සයිටම් ප්‍රශ්නය ඉවරවෙයි.

:       0       52

sama Wednesday, 02 August 2017 04:17 AM

සයිටම් හොද වැඩක්. දොස්තරලගේ ගණන් බලන්න ඕන නෑ.

:       0       0

Peter Sunday, 03 September 2017 07:17 AM

තුන්වෙනි ලෝකේ රටවල් වන ඉන්දියාව, චීනය, බංගලිදේශය, නේපාලය වගේ රටවල් වලින් එන වෛද්‍ය උපාධි ධාරීන් ACT 16 වාඩිවී සුදුසුකම් ලබා වෛද්‍ය සේවයට එකතු වෙනවා. ඒ විදියටම සයිටම් එකට ඉඩදෙන්න බැරි ඇයි?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1877 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3510 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1547 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4652 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 1341 7

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


අයවැයෙන් සුරබි දෙන පහල වෙන්නේ නෑ
2025 මාර්තු මස 07 1233 6

අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 442 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 925 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site