සයිමන් නවගත්තේගම නම් වූ ලේඛකයා මූලිකව ම අප හඳුනා ගත්තේ ඔහු ගේ "සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා” නමැති කෙටිකතා සංග්‍රහයෙනි. ඒ සමඟ ම සිංහල පාඨකයාට අලුත් හඬක්, අලුත් ප්‍රතිභාවක් මතුවන අයුරු පෙනෙන්නට විය.

මගේ මතකය නිවැරැදි නම් ඒ වන විට ඔහු දේශපාලනික වශයෙන් වියට්නාම යුද විරෝධී පෙළ නියෝජනය කළ අතර ඇත්ත පත්තරය හා සම්බන්ධ ව ද කටයුතු කෙළේ ය. සාගර ජලය කෙටිකතා සාහිත්‍යයෙන් න්‍යායික ව ඔහු ජනතා සාහිත්‍ය වෙනුවෙන් පිහිටා සිටියත් ඔහු ගේ නිර්මාණවල එවැන්නක සෙවණැල්ලක්වත් නොමැති අතිශය නැවුම් බවක් ගැබ්ව තිබුණු බව කිය යුතු ය. ඔහු ජනතාවාදය, සිය කෘතිය තුළ බහාලූයේ නැත. එහි ඇති විශිෂ්ටත්වය එය යි. 

අනතුරු ව නවගත්තේගම අප හඳුනා ගත්තේ දක්‍ෂ නාට්‍යකරුවකු ලෙස ය. 'පුස්ලෝඩං', 'ගංගාවක් සපත්තු කබලක් හා මරණයක්', 'සුබ සහ යස' වැනි නාට්‍ය කෙරෙන් අපි ඔහු දුටිමු. ඔහු තරම් අභූත භාවය කරළියෙහි නිරූපණය කළ වෙනත් අයකු නැති තරම් ය. සෙවණැලි ඇද මිනිස්සු චිත්‍රපටයේ ඔහු කළ කෙටි රංගනය පවා ඔහු ගේ රංග කෞෂල්‍යය පළ කරයි. ගම පිළිබඳ ව රැඩිකල් නිරූපණයක් ඉදිරිපත් කළ ලේඛකයකු ලෙස අප ඔහු හඳුනා ගන්නේ සුද්දිලාගේ කතාව රචනා කිරීමෙන් අනතුරුවයි.

මින් පසුව ඔහු ගේ ප්‍රතිරූපය කිසියම් ව්‍යාකූලත්වයකට පත් වූ බව මගේ විශ්වාසය යි. ඔහු සිංහල ගම මත මහායානික චින්තනයක් බලහත්කාරයෙන් පැටවීමට දැරූ උත්සාහය ඒ ව්‍යාකූලත්වයට හේතු වූ බව කිය යුතු ය. ගමේ ප්‍රතිවිරෝධතා ග්‍රහණය කර ගැනීම වෙනුවට, ගමෙන් පැන නඟින ප්‍රතිවිරෝධතා ගූඪවාදයක සංයුක්තයක් හැටියට ඉදිරිපත් කරන්නට ඔහු උත්සාහ දැරූ බව පැවසිය යුතු ය. එහි අවාසනාවන්ත ම කරුණ වන්නේ ඔහු සමග සිංහල පාඨකයා වඩා අනන්‍ය වන්නේ මේ අවදියේ වීම යි. එ නිසා ම ඔහු ගේ විශිෂ්ට ප්‍රතිභාව විදින්නට පාඨකයාට අවස්ථාව නො ලැබෙයි. මා ඔහු වෙතින් විශිෂ්ට රංගධරයකු වේදිකාව මත දකින අතර, නිර්මාණ විකසිත වන අවිධියේ එහි වටිනාකම තේරුම් නොගත් කෙනකු ලෙස ද මම ඔහු දකිමි. ඔහු ගේ පරිණත අවදියට වඩා තරුණ අවදියේ බිහි වූ නිර්මාණ වල විශිෂ්ට සාහිත්‍යයික ලක්ෂණ ගැබ් ව තිබූ බව මගේ විශ්වාසය යි.

සයිමන් නවගත්තේගම ඉන්ද්‍රජාලික යථාර්ථවාදී රීතියේ පෙරටුගාමී ලේඛකයෙක් ද යන ප්‍රශ්නයට මා සපයන්නේ මෙවැනි විග්‍රහයකි. ඔහු ඉන්ද්‍රජාලික යථාර්ථවාදයේ පෙරටුගාමියෙක් ය වශයෙන් ලේබල් ඇලවීම මඟින් ම හෙළි කරන්නේ අපේ සාහිත්‍යයේ තිබෙන අර්බුදය යි. මෙය ඔහු ගේ සාහිත්‍ය භාවිතය අවබෝධ කොට නොගෙන කැරෙන ලේබල් ඇලවීමකි. ප්‍රංශ සාහිත්‍ය උදාහරණයක් ලෙස ගෙන මෙය විග්‍රහ කිරීමට මම කැමැත්තෙමි. ප්‍රංශ සාහිත්‍ය ලෝකයේ නූතනවාදී අවදිය තුළ ප්‍රධාන සාහිත්‍ය ධාරා දෙකක් දැක්ක හැකි ය. ඉන් එකක් අසම්ප්‍රදායික පෙරටුගාමී සාහිත්‍ය හා කලාව යි. අනෙක “ෂොන් පෝල් සාත්‍රේ" නියෝජනය කරන කැපවුණු සාහිත්‍යය සහ කලාව යි. අසම්ප්‍රදායික පෙරටුගාමී සාහිත්‍යයේ දී සාහිත්‍යයේ සන්නිවේදන ගුණය එතරම් සැලැකිල්ලට නො ගැනේ. මේ ප්‍රවාභයට විරුද්ධ ව මෙන්ම මෙහි නූතනවාදී අන්තර් ගතය තමා තුළ රඳවා ගනිමිනි. ෂොන් පෝල් සාත්‍රේ තමයි කැපවුණු සාහිත්‍ය සම්ප්‍රදාය ඉදිරිපත් කරන්නේ. කැපවුණු සාහිත්‍ය සම්ප්‍රදාය පාඨක ලෝකය සමග කතිකාවක, දේශපාලන ගනුදෙනුවක් යෙදෙන සාහිත්‍යයකි. එය හුදෙක් රැඩිකල්වාදී සාහිත්‍යයක් පමණක් නොවේ. මට පෙනෙන්නේ නවගත්තේගම අසාම්ප්‍රදායික පෙරටුගාමී සාහිත්‍යය සහ කැපවුණු සාහිත්‍ය අතර අතරමං වූ සාහිත්‍යධරයකු හැටියට යි. 

මුල් අවදියේ දී අසාම්ප්‍රදායික පෙරටුගාමී සාහිත්‍යකරුවකු හැටියට කටයුතු කරන අතරතුර දෙවන අවදියේ දී පුරා කථා, මිත්‍යා කතා මවන්නකු ලෙසින් රොමෑන්ටික් සාහිත්‍ය ව්‍යාපාරයට ද ඔහු යටත් වෙයි. දෙවැනි අවදියේ දී ඔහු ගේ සාහිත්‍ය භාවිතය දේශපාලන සමාජය සමඟ බද්ධ නො වේ. කෙසේ වුවත් ඔහු ගේ සාහිත්‍යය ඇසුරේ මේ සාහිත්‍යධාරා දෙකේ ම බීජ පැවැතුණු බව පැවසිය යුතු ය. 

ඔහු ගේ මුල් නාට්‍යය, අසාම්ප්‍රදායික පෙරටුගාමී සාහිත්‍යයට අයත් ඒවා ලෙස සැලැකිය හැකි ය. ඔහු ගේ කැපවුණු සාහිත්‍ය ධාරාවට අයත් කෘතිය වන්නේ “සුද්දිලා ගේ කතාව" යි. මෙය බරසාර සාහිත්‍ය කෘතියක් ලෙස පරිසමාප්ත කර ගැනීමට ඔහු අසමත් වුණත්, ගම පිළිබඳ මිත්‍යා ෆැන්ටසි ස්වරූපය බිඳ දැමීමට එය ඉවහල් වූ බව මගේ විශ්වාස යි. ගම නික්ලේශී , පිවිතුරු සමාජ ප්‍රපංචයක් නොවන බවත්, ඔහු මෙයින් නිරූපණය කරයි. ගමෙහි ගොවී හා දඩයක්කාර සංස්කෘතිය ඇසුරේ ඔහු ගම තුළ කැකෑරෙන ලිංගික පීඩනය දකින්නට මෙහි දී සමත් වෙයි.

නවගත්තේගම ගේ කෘති මගින් ලිංගිකත්වය අභිරුචියෙන් වර්ණනා වන්නේ දැයි යන්න තවත් ප්‍රශ්නයකි. මෙවැනි ප්‍රශ්න සියල්ල ම මතුවන්නේ ඔහු ගේ සාහිත්‍යකරණයේ දෙවැනි අවදියේ දී යි. එවැනි අර්බුදයකට ඔහු මුල පුරන්නේ සියල්ලට ම මහායානික අර්ථ සැපැයීමට ඉදිරිපත් වෙමිනි. එසේ වුවත් සුද්දිලාගේ කතාවේ ලිංගිකත්වය යථාර්ථවාදී නිරූපණයකි. ගමේ ගැහැනියට බලය සහිත පුරුෂයා කෙරෙහි ඇති ලිංගික ආකර්ෂණය සහ ස්ත්‍රිය පවතින්නේ පුරුෂයාගේ රූපය තුළ බව පුත්තලම, ආණමඩුව භූමි කලාපය ඇසුරු කොට ඔහු සරුසාර ලෙස දකියි. ඒ සඳහා ඔහු අපූර්ව "භාෂා ලෝකයක්" ද ගොඩනඟා ගනී. ඔහු සැබැවින් ම ෆැන්ටසි රූපය බිඳ දැමූ භාෂා ලෝකයක නිර්මාතෘවරයෙකි. එහෙත් අවාසනාවට ඔහු ගම තුළ නැවත ෆැන්ටසියක් නිර්මාණය කරයි. සංසාරණ්‍ය අසබඩ ඇතුළු කෘතිවලින් ඔහු නවකතාකරුවකු ලෙස අර්බුදයට ද ලක් වෙයි. ඉන්පසු ඔහු භාෂා ලෝකයක දාර්ශනික අර්ථ සැපැයීමට යෑම අර්ථයක් ඇති කාර්යයෙකැයි මම නො සිතමි. සිංහල සම්භාව්‍ය සාහිත්‍යය ඇසුරේ ඔහු ගේ සාහිත්‍යය ගළපාගත් ආකාරය පිළිබඳ ව ඔබ මගෙන් විමසයි. මෙය බොහෝ විචාරකයන් ඇසුරෙහි ගොඩනැගෙන කතා බහකි. මෙය ලිහා ගැනීමට මාක්ස්වාදී විචාරය බොහෝ දුරට ප්‍රයෝජනවත් වනු ඇත. අද ජාතක පොත, සද්ධර්ම රත්නාවලිය වැදගත් වන්නේ බණකතා සාහිත්‍යයක් හැටියට නොවේ. වෝල්ටර් බෙන්ජමින් ගේ විග්‍රහය මෙහි දී වැදගත් යැයි මට හැගේ. "අපි අතීතය දිහා බලන්නේ වර්තමානය තුළින් ය යන්න ය ඒ. 

අතීත කලා කෘති දෙස බලන්නේ වර්තමාන කලාකෘති ඇසුරෙනි. වර්තමාන මෝටර් රථයෙන් අපි පැරැණි අශ්ව කරත්තය බලමු. නූතන තාක්ෂණ නිර්මාණ මඟින් ලියනාඩෝ ගේ නිර්මාණ දකිමු. පැරැණි ගද්‍ය කෘති අප විමසනුයේ වර්තමාන නවකතාව මඟිනි. එය ය නිවැරැදි විධි ක්‍රමය. නවකතාවට පිටින් මේවායේ භාෂාව දෙස නවකතා විචාරයකින් බැලීමේ අර්ථයක් නැත. අර්ථ හීන යැයි එයින් අදහස් නොවේ. අද මූලික වන්නේ කෘතිය යි. අප සම්භාව්‍ය ගද්‍ය කෘති දෙස බැලිය යුත්තේ එමගිනි. නවගත්තේගම පැරැණි සම්භාව්‍ය චරිත වර්තමානය හා ගැළැපීම දාර්ශනික ව ම වැරැදි අදහසකි. 

ඔහු සාහිත්‍ය. 'සමාජවාදය හා කලා විචාරය' වැනි විචාර කෘති ද රචනා කරමින් විචාර පක්ෂය කෙරෙහි ද අවධානය යොමු කළ බව ඔබ මතකයට නගයි. එය ද විග්‍රහ කිරීම වැදගත්ය. 

ඔහු මෙහි දී යොමු වන්නේ ජනතා සාහිත්‍ය විචාරයට යි. ඒවායේ විශාල අගයක් නම් මම නො දකිමි. එහි ඇත්තේ ස්ටාලින්වාදී සාහිත්‍ය විචාරයක්. සමාජ වාදය හා කලා විචාරය කෘතිය සම්පාදනය කරන විට ඔහු රුසියාව තුළ තිබූ සාහිත්‍ය පීඩනය අමතක කරයි. ඔහු ගේ කෘතියෙහි ඔහු බොල්ෂෙවික් පෙරටුගාමී චිත්‍ර ශිල්පීන්, මාලවික් වැනි චිත්‍ර ශිල්පීන්, බොරිස් පැස්ටර්නැක් වැනි සාහිත්‍යධරයන් අමතක කරයි. 

ඔහු ගේ සාහිත්‍යකරණය පිළිබඳ ව මෙරට සාහිත්‍ය විචාරය තුළ කතා කෙළේ ද වැරැදි ස්වරූපයකිනි. බොහෝවිට ඔහු හඳුනා ගැනුණේ මෝස්තරකාරයකු ලෙසිනි. මෙරට වැඩියෙන් ම කතා කෙළේ ඔහු ගේ නිශ්ඵල කෘති පිළිබඳ ව යැයි මට සිතේ. මහගම සේකර කවියේ දී අත්කරගත් ඉරණම ම නවගත්තේගම නවකතාවේ දී අත්කර ගන්නේ ය. 

මෙරට සාහිත්‍ය සම්භාෂණය ඇසුරෙහි සාකච්ඡා වූයේ ඔහු ගේ දියුණු දේ නො වේ. එසේ නමුත් එක් අතකින් ඔහු සමාජය තුළ ගෙවූ චරිතය මේ යුගයේ කලාව සම්බන්ධයෙන් වැදගත්. එනම් ඔහු "ටෝටල් ආටිස්ට්" (Total Artist) කෙනකු වීම යි. ඔහු ගේ චරිතය සමස්තය කලාත්මක යි. ඔහු සිංහල ගම පිළිබඳ මිත්‍යා ෆැන්ටසි රූපය බිඳ දමන සජීවී වීර චරිතයක් හැටියට ය කලා සමාජයෙහි දිවි ගෙවූයේ. ඔහු ගේ විශිෂ්ටතම කෘති වන්නේ ඔහු ගේ නාට්‍ය යි. 'භාවනාව' කෙටිකතා සංග්‍රහය, 'සුද්දිලා ගේ කතාව' වැනි නිර්මාණ ද ඔහු ගේ විශිෂ්ට කලා කෘති ලෙස මම දකිමි.

නවගත්තේගම සම්බන්ධයෙන් අපේ සමාජය තුළ 'සාධනීය සම්භාෂණයක්' ගොඩ නැඟිය යුතුයි නේ දැයි යන ඔබේ ප්‍රශ්නය පිළිබඳ ව මගේ විග්‍රහය වෙනස් එකකි. සම්භාෂණය නිරන්තරයෙන් පවතින දෙයකි. දියත් වන සම්භාෂණවල අඩුවකුත් නැත. එහෙත් මහා ලේඛකයා, මහා කතිකාව, නිවැරැදි සම්භාෂණය, ජාතික කතිකාව වැනි සංකල්ප වශයෙන් ගැනීම වැරැදි ය. 

අද එවැනි 'සංකල්ප' යල්පිනූ ඒවා බව කිය යුතු යි. අද තිබෙන්නේ චූල සම්භාෂණ මඟින් ගොඩනැඟුණු මහා සම්භාෂණ යි. සොක්‍රටීස් හා ප්ලේටෝ අතර අහඹු හමුවීම්වලින් ලේඛනගත කළ සම්භාෂණයන් ම ය මහා සම්භාෂණයන් වූයේ.

අද චූල සම්භාෂණ මඟින් ඇතිවන සම්භාෂණ මහා සම්භාෂණයෝ වෙත්. මෑත යුගයේ පහළ වූ විචාරකයකු වන රෝලන්ඩ් බාත්ගේ චූල සම්භාෂණමය මහා සම්භාෂණ වූයේ. අද යුගය වෙද්දී සජීවී චූල සම්භාෂණ ම සැබෑ සම්භාෂණ ලෙස පිළිගැනෙයි. ඒ සඳහා රෝලන්ඩ් බාත් සම්බන්ධව ම සරල උදාහරණයක් දිය හැකි ය. රෝලන්ඩ් බාත් ප්‍රංශයේ සරසවි ධුරයන් සඳහා නියම කරමින් "ෆූකෝ" මෙවැනි අදහසක් ගෙනහැර පායි. 

"අපේ සරසවිවලට පිටින් ඇසෙන්නා වූ ස්වල්පය, ඒවා සමකාලීන සාහිත්‍යයයේ කොටසක් නොවේ ද? අප ඒවාට හඬ යොමා පිළිගත යුතු නොවේ ද? " 

අපේ සමාජය ළඟා වී සිටින්නේ මෙබඳු සම්භාෂණයකට ය. ලේබල් ගසා ගෙන කල්ලි කණ්ඩායම් හිස දරාගෙන සිටිය යුතු නොවේ. 

"ඒක හරියට හොඳට පායල තියෙන කොට කුඩයක් ඉහලගෙන යනවා වගේ වැඩක්."