
රුසියන් යුක්රේන යුද්ධයට මැදිවුණු නැගෙනහිර යුක්රේනයේ ඔලෙෂ්කි නමැති නගරයේ - අන්ත අසරණ වුණු වැසියන්ට බලාපොරොත්තුවේ අලුත් අරුණලු උදා කිරීමට ඇමෙරිකන් ජනාධිපති ආර්යාව මෙලානියා ට්‍රම්ප් සමත් විය.
ඇය එසේ කළේ ඔලෙෂ්කි නගරය වෙනුවෙන් සාර්ථක සටන් විරාමයක් ඇතිකිරීමට රුසියන් සහ යුක්රේන බලධාරීන් එකඟකර ගනිමිනි.
මෙලානියා ට්‍රම්ප් ගේ මැදිහත් වීමෙන් ඔලෙෂ්කි නගරය සඳහා පමණක් විශේෂ සටන් විරාමයක් ආරම්භ වුණු බව ධවල මන්දිරය පමණක් නොව යුක්රේනයත්, රුසියාවත් තහවුරු කර ඇත. මෙලානියා ඇගේ කණ්ඩායම මෙහෙයවමින්, සාම මැදහත්කාරියක වෙමින්, ඔලෙෂ්කි නගරය සඳහා සටන් විරාමයක් ඇති කර ගත්තේ - යුක්රේන බලධාරීන් සහ රුසියන් බලධාරීන් සමග දුරකථන ඔස්සේ සාකච්ඡා පවත්වමිනි.
ලෝකෙට ලොක්කා වන ඇමෙරිකා ජනාධිපති ආර්යාව ඉංග්‍රීසි බසින් හදුන්වන්නේ “ෆස්ට් ලේඩි” (පළමු කාන්තාව) යන ගෞරව නාමයෙනි. ඇමෙරිකන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියමවූ නිල රාජකාරි හෝ වැටුපක් ජනාධිපති ආර්යාවට හිමි වන්නේ නැත. ජනාධිපති නිලනිවස වන ධවල මන්දිරයේ රාජ්‍ය භෝජන සංග්‍රහ සහ උත්සවවල ප්‍රධාන සත්කාරකත්වය දැරීම, සමාජීය සහ සුබසාධන වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම, රාජ්‍යතාන්ත්‍රික සංචාර සහ උත්සවවලදී සංකේතාත්මක නියෝජනය ඇමෙරිකන් ජනාධිපති ආර්යාවයට පැවරෙයි. ධවල මන්දිරයේ ජනාධිපති ආර්යාව වෙනුවෙන් වෙනම කාර්යාලයක් ඇති අතර, ජනාධිපති ආර්යාව වෙනුවෙන් වෙනම කණ්ඩායමක් ද සිටී.
වත්මන් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ මෙලානියා 1970 අප්‍රේල් 26 වැනිදා, එදා යුගෝස්ලාවියාවට අයත්ව තිබූ (වර්තමාන ස්ලෝවේනියාවේ) නෝවෝ මෙස්ටෝ නුවර දී උපත ලැබුවාය. ඇයට ස්ලෝවේනියා, ඉංග්‍රීසි, ප්‍රංශ, සර්බියා, ජර්මන් සහ රුසියන් යන භාෂා චතුර ලෙස හැසිරවිය හැකිය. අවුරුදු 16 දී මොඩ්ලින් (නිරූපණ) ක්ෂේත්රයට පිවිසි මෙලානියා, අවුරුදු 18 දී මිලාන් නගරයේ මොඩ්ලින් නියෝජිතායතනයක් සමග ගිවිසුම්ගත වූවාය. මිලාන් සහ පැරිස් නගරවල ප්රමුඛ පෙළේ විලාසිතා ආයතන සමග කටයුතු කිරීමෙන් පසු, 1996 දී ඇය සිය නිරූපණ වෘත්තිය පුළුල් කරගැනීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ
නිව් යෝර්ක් නුවරට පදිංචියට පැමිණියාය. 1998 දී නිව්යෝක් නුවර සාදයක දී ඇයට ප්‍රකෝටිපති ව්‍යාපාරික ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවිය. 2004 දී විවාහ ගිවිස ගැනීමෙන් පසුව, දෙදනොගේ විවාහ මංගල උත්සවය 2005 ජනවාරි 22 වැනිදා පැවැත්විණි. ට්‍රම්ප් සහ මිලානියාට එක් පුතෙක් සිටී. ඔහු බැරන් ට්‍රම්ප් ය.

ට්‍රම්ප් මේ වනවිට හොබවන්නේ සිය දෙවැනි ධුර කාලයයි. එය ආරම්භ වූයේ 2025දී ය. තමන් ජනාධිපති ධුරයට ආ සැණින් රුසියන් යුක්රේන යුද්ධය අවසන් කරනවා යැයි ට්‍රම්ප් සිය මැතිවරණ රැලිවල දී පොරොන්දු වී තිබුණි. ඒත් අද වනතුරු ඔහුට එය කළ නොහැකි විය. මේ සම්බන්ධයෙන් මෙලානියා තමන් නිතර සමච්චලයට ලක්කරන බව ට්‍රම්ප් ප්‍රසිද්ධියේ පවසා ඇත. රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට ට්‍රම්ප් සාම නියෝජිතයන් දෙදෙනකු ද පත් කර ඇත. ට්‍රම්ප් අවස්ථා ගණනාවක දී, රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි මෙන්ම රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද මුහුණට මුහුණ හමුවී සාකච්ඡා පැවැත්විය. එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස දෙරට අතරේ යුද සිරකරුවන් ද හුවමාරු වී ඇත. ඒත් යුද්ධයේ අවසානයක් හෝ අඩු තරමේ තිරසාර සටන් විරාමයක් හෝ ඇති කිරීමට ට්‍රම්ප්ට හැකියාව ලැබුණේ නැත. මෛය ට්‍රම්ප් ද පිළිගන්නා කාරණාවකි.
රුසියන් යුක්රේන යුද්ධය ආරම්භ වූයේ - යුක්රේනයට “නේටෝ සාමාජිකත්වය” දෙන්නැයි බටහිර හිතවාදී යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි දිගින් දිගටම ඉල්ලීම් කළ බැවිනි. නේටෝ යනු “උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය”යි. මෙය ඇමෙරිකාව, කැනඩාව ඇතුළු බටහිර යුරෝපා රටවල් එක් වී රුසියාවෙන් එල්ල වන තර්ජනවලට එරෙහිව පිහිටුවාගත් යුද සන්ධානයයි. සෝවියට් සමූහාණ්ඩුව පැවැති සමයේ යුක්රේනය සෝවියට් සමූහාණ්ඩුවේ කොටසකි. සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීමත් සමග - 1991 අගෝස්තු 24 වැනිදා යුක්රේනය නිල වශයෙන් ස්වාධීන රාජ්‍යයක් විය. යුක්රේනය නැගෙනහිරින් රුසියාවට මායිම් වෙයි. උතුරින් මායිම් වන්නේ බෙලරූසයට ය. බටහිරින් පෝලන්තය, ස්ලෝවැකියාව සහ හංගේරියාව පිහිටා ඇත. නිරිත දෙසින් පිහිටා ඇත්තේ රුමේනියාව සහ මෝල්ඩෝවාව ය. මේ අසල්වැසි රටවල්වලින් පෝලන්තය, හංගේරියාව, ස්ලෝවැකියාව සහ රුමේනියාව නේටෝ සාමාජිකයන්ය.
යුක්රේනයට නේටෝ සාමාජිකත්වය ලැබීම රුසියාවේ ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයකි. තම සමීපතම අසල්වැසියා වන යුක්රේනයට නේටෝ සාමාජිකත්වය ලැබෙනවාට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් තරයේ අකමැති වන්නේ එබැවිනි. පුටින් 2022 පෙබරවාරි 4 වැනිදා යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ ඒ අනුවය. රුසියන් හමුදා, යුක්රේන හමුදා සමග සටන් කරමින් යුක්රේනයේ නැගෙනහිර සහ ගිණිකොණදිග පළාත් සහ ප්‍රධාන නගර එකිනෙක අල්ලා ගත්තේය. මෙම නැගනෙහිර පළාත්වල රුසියන් කතා කරන වැසියෝ ද වෙති. පොදුවේ යුක්රේන වැසියන් කතා කරන්නේ යුක්රේන් ය.
දරුණු සටන්වලින් පසු රුසියන් හමුදා මේ වනවිට, නැගෙනහිර සහ ගිනිකොනදිග යුක්රේනයේ ප්‍රධාන පළාත් (ඔබ්ලාස්ට්ස්) කීපයක සැලකිය යුතු භූමි ප්‍රමාණයක් තම පාලනයට ගෙන ඇත. එසේ වුවත් යුක්රේන හමුදා නිරන්තරයෙන් ප්‍රතිප්‍රහාර එල්ල කරමින් මෙම පළාත් යළි මුදා ගැනීමට උත්සාහ දරමින් සිටී. රුසියන් යුක්රේන යුද්ධයේ පෙරමුණ සටන් පවතින්නේ මෙම පළාත්වලය. රුසියන් හමුදා එසේ අල්ලා ගත් එක් නගරයක් වන්නේ ඔලෙෂ්කි ය.

යුද්ධයට පෙර 24,000 ක ජනගහනයක් විසූ මෙම නගරයේ දැනට කුඩා දරුවන් 200 දෙනකු ඇතුළු 6,000 ක පමණ පිරිසක් කොටුවී සිටිති. පසුගිය වසර ගණනාව තිස්සේ යුද ගැටුමට මැදිවුණු ඔලෙෂ්කි වැසියන්ගේ ජීවිත අතිශයින්ම ඛේදනීය එකක් විය. ආහාර, පිරිසුදු පානීයජලය සහ ඖෂධ නොමැතිව අසරණවුණු නගරයේ ඉතිරිවුණු මෙම වැසියන්ට ජීවිතය ගැටගසා ගැනීමට සිදුවූයේ වල්පැලෑටි පවා ආහාරයට ගනිමිනි. ඉතිරි වූ නගර වැසියන්ට නගරයෙන් පිටවීමට හැකියාවක් නැත්තේ බිම්බෝම්බ හතර වටේ වළලා ඇති බැවිනි. නගරයේ ඇත්තේ එකම රෝහලක් පමණක් වුවත්, එහි ඖෂධ කිසිවක් නොමැත. එහි සිදුවන්නේ යුද්ධයෙන් තුවාල ලබන අයගේ අත් පා කපා ඉවත් කිරීම පමණි. ඒ නිර්වින්දනය කිරීම් ද නොකරය.
රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ආරම්භයේ පටන් සංවේදීවුණු තැතැත්තියක වන්නේ මෙලානියා ය. මීට පෙර රුසියන් හමුදා විසින් අල්ලා ගනු ලැබූ යුක්රේන කුඩා දරුවන් පිරිසක් ආපසු යුක්රේනයේ ඔවුන්ගේ මාපියන් සහ භාරකරුවන්ට ලබාදීමට ද මැදිහත් වී කටයුතු කළේ මෙලානියා ය. ඒ පුටින්ට සෘජුව කතා කරමිනි. මෙලානියා ගැන පුටින්ගේ ද ගෞරවයක් ඇති බව ට්‍රම්ප් කියයි. ඒ, මෙලානියා පුටින් සමග සෘජුව රුසියන් බසින් කතා කරන බැවිනි.
සටන් විරාමය ක්‍රියාත්මකවීමත් සමග රුසියාවේත් යුක්රේනයේත් හමුදා නොවන, සිවිල් නායකයන් කණ්ඩායම් දෙකක් ඔලෙෂ්කි නගරයට යෑමට නියමිතය. ඔවුන් මානුෂීය ආධාර රැගෙන යනු ඇත. එපමණක් නොව ඔවුන් නගර වැසියන්ගේ ආරක්ෂාව ගැන සොයා බලනු ඇත. එමෙන්ම ඔවුන් රුසියන් බස කතාකරන රුසියාවට පක්ෂ නගර වැසියන්ට රුසියාවේ ආරක්ෂිත ප්‍රදේශවලට යෑමටත්, යුක්රේන රජයට පක්ෂපාතී නගර වැසියන්ට ආරක්ෂිතව යුක්රේනයේ ඔවුන් කැමති ඕනෑම ස්ථානයකට යෑමටත් ප්‍රවාහන පහසුකම් සපයා දෙනු ඇත. “තමා මැදිහත් නොවන්නට ඔලෙෂ්කි නගරයට මානුෂීය ආධාර රැගෙන ඒමට හෝ එහි සිටින දරුවන් සහ වැඩිහිටියන් නගරයෙන් ඉවත්කර ගැනීමට කිසිසේත්ම ඉඩක් නොලැබෙන්නේ” යැයි මෙලානියා බෙහොම නිහතමානීව පවසා ඇත.
ලුසිත ජයමාන්න
බීබීසී ඇසුරිනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd