විද්වත් පර්‌යේෂණ කණ්ඩායම සහ සම-ප්‍රධාන පර්​ෙ‌ය්ෂකවරු
 
ස්කොට්ලන්ත ජාතික විද්‍යාඥ ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් විසින් 1928 සැප්තැම්බර් මාසයේදී අපේ කාලයේ ප්‍රබලම ප්‍රතිජීවකය සොයාගත්තේ වෛද්‍ය විද්‍යාවේ මහා පෙරළියකට මුල පුරමිනි. ඔහු එය සොයාගත්තේ විද්‍යාගාර බැක්ටීරියා තැටියක් මත වැඩුණු පුස් හෙවත් දිලීරයක් පිළිබඳ දිගින් දිගටම කළ සොයා බැලීමකිනි. දිලීර යනු අපට ඉතා වැදගත් සම්පතක් බව ඒ පර්‌යේෂණයෙන් ඔප්පු විය.
 
පසුගියදා දිලීර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේදී ද මෙබඳුම සොයාගැනීමක් සිදුවූ බව වාර්තා විය. ඒ ශ්‍රී ලංකාවේ උණු දිය උල්පතකින් Pseudothielavia Terricola නම් දිලීර විශේෂය භූගෝලීයව ප්‍රථම වරට සොයා වාර්තා කරගැනීමත් සමඟය. මේ සොයාගැනීමේ වඩාත් වැදගත් කාරණය වන්නේ මේ දිනවල වැඩියෙන්ම කතාබහට ලක්ව ඇති ආතරයිටිස් වැනි වේදනා, ප්‍රදාහ මෙන්ම පිළිකා සහ දියවැඩියා රෝග නාශක ගුණ සහිත සංයෝග මෙම දිලීරය මඟින් නිපදවනු ලබන බව ලෝකයේ වෙනත් පර්‌යේෂණවලින් සනාථ වී තිබීමය.
 
අනෙක් අපූර්වතම කාරණය වන්නේ මෙම දිලීරය සොයාගැනීම සිදුවූ ස්ථානයේ ඇති සුවිශේෂී බවයි. ඒ, සුප්‍රකට ආදිවාසී නායක තිසාහාමි ඇත්තන් උපන් හෝලිකේ ගම්මානය අසල තිබූ උණු දිය ළිඳකින් මෙම දිලීර වර්ගය හමුවීමය.
 
මෙහි ඇති තවත් විශිෂ්ටත්වයක් වන්නේ නව දිලීරය සොයාගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර ක්‍රමයක් යටතේ ඇරඹුණු ශ්‍රී ලංකාවේ අති නවීනතම පර්‌යේෂණාගාර එකතුව භාවිත වීම සහ දිලීර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ මෙතෙක් සිදුකෙරුණු පුළුල්ම පර්‌යේෂණ ව්‍යාපෘතියක් මූලික වීමය.
 
මෙම නව දිලීරය සොයාගැනීම සහ නව පර්‌යේෂණාගාර පිළිබඳව අප හා කතාබහට එක්වූයේ මෙම පර්‌යේෂණ කණ්ඩායමේ මූලිකත්වය ගත් ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ වත්මන් පීඨාධිපති මහාචාර්ය එච්. ක්‍රිෂාන්ත සමීර ද සොයිසා සහ ජෛව ක්‍රියාවලි තාක්ෂණ දෙපාර්තමේන්තුවේ (Bioprocess Technology) ජෛව තාක්ෂණය පිළිබඳ මහාචාර්යවරයා ලෙස කටයුතු කරන මහාචාර්ය තුෂාර චතුරංග බමුණුආරච්චිගේ යන විද්වත්හුය.
  • ලංකාවේ දිලීර අධ්‍යයන මහා ව්‍යාපෘතිය
මහාචාර්ය බමුණුආරච්චිගේ පැවසූ ආකාරයට මෙම සුවිශේෂී දිලීරය විද්වතුන්ට හමුවන්නේ දිලීර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ එතෙක් මෙතෙක් ඇරඹි පුළුල්ම අධ්‍යයන ව්‍යාපෘතිය අතරතුරය. ඒ ආසියානු සංවර්ධන බැංකුව (ADB) මඟින් අනුග්‍රහය දක්වන ලද උසස් අධ්‍යාපනය තුළ විද්‍යා, තාක්ෂණ සහ මානව සම්පත් සංවර්ධන (STHRD) ව්‍යාපෘතිය යටතේය. රජරට විශ්වවිද්‍යාලය මෙහි ප්‍රධාන ආයතනය ලෙස කටයුතු කළ අතර, කොළඹ විශ්වවිද්‍යාලය, TMRF, චීනයේ චූජිං සාමාන්‍ය විශ්වවිද්‍යාලය (Qujing Normal University), තායිලන්තයේ චුලාලොන්කෝන් විශ්වවිද්‍යාලය (Chulalongkorn University) සහ සෞදි අරාබියේ කිං සවුද් විශ්වවිද්‍යාලය (King Saud University) යන ආයතන සමඟ ඒකාබද්ධව මෙම පුළුල් පර්‌යේෂණය සිදුකෙරිණි. දේශීය හා ජාත්‍යන්තර ආයතන අතර පර්‌යේෂණ සහයෝගිතාව ශක්තිමත් කිරීම මෙහි එක් වැදගත් ප්‍රතිඵලයක් බව මහාචාර්ය බමුණුආරච්චිගේ පෙන්වා දුන්නේය.
 
 
මෙම දිලීර පර්‌යේෂණ ව්‍යාපෘතිය ප්‍රධාන පර්‌යේෂණ ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය කළ එකකි. එහිදී,
  1. වාණිජ මට්ටමින් වගාකරන හතු සඳහා ජෛව එන්නත් (Bioinoculants): හතු වගාවේ අස්වැන්න, ගුණාත්මකභාවය සහ වගා කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට ප්‍රයෝජනවත් ජෛව එන්නත් හඳුනාගැනීම සහ යොදාගැනීම.
  2. ජලජ දිලීර (Aquatic Fungi): ජලජ පරිසර පද්ධතිවලදී දිලීර විවිධත්වය හඳුනාගැනීම සහ ඒවායේ ජෛව තාක්ෂණික හා කාර්මික යෙදුම් අධ්‍යයනය කිරීම (මේ යටතේද නව දිලීර විශේෂ තුනක් හඳුනාගැනීමට පර්‌යේෂණ කණ්ඩායම සමත් වූ බව මහාචාර්ය බමුණුආරච්චිගේ පැවසීය).
  3. කීට රෝගකාරක දිලීර (Entomopathogenic Fungi): කෘමීන් මත ආසාදනය වී ඒවා මරන දිලීර හඳුනාගැනීම, රසායනික පළිබෝධනාශකවලට විකල්පයක් ලෙස පරිසර හිතකාමී ජීවපාලනයට යොදාගැනීමේ හැකියාව.
  4. අභ්‍යන්තර දිලීර (Endophytic Fungi): ශාක පටක තුළ රෝග ලක්ෂණ නොපෙන්වා ජීවත්වන දිලීර. ශාක වර්ධනය, රෝග ප්‍රතිරෝධය සහ ජෛව සක්‍රීය සංයෝග නිෂ්පාදනය සඳහා ඒවායේ කාර්යභාරය.
  5. උණුදිය උල්පත්වල තාපකාමී දිලීර (Thermophilic Fungi from hot Springs): ඉහළ උෂ්ණත්වවලදී වර්ධනය වන දිලීර හඳුනාගැනීම සහ ඒවායේ තාප-ස්ථායී එන්සයිම හා වෙනත් ජෛව තාක්ෂණික යෙදුම්වල හැකියාව අධ්‍යයනය කිරීම.
  6. ජෛව පිළියම්කරණය (Bioremediation): දූෂිත පරිසරවලින් විෂ සහිත සංයෝග, බැර ලෝහ හා අපද්‍රව්‍ය ඉවත් කිරීමට දිලීර භාවිතය.
  7. දිලීර භාවිතයෙන් හම් නිපදවීම (Mushroom Leather): මෂ්රූම් මයිසීලියම් ජාලය මඟින් සත්ව සම්වලට විකල්ප තිරසාර ද්‍රව්‍යයක් සංවර්ධනය කිරීම ඇතුළු ඵලදායී අංශ ගණනාවක් පිළිබඳව සොයා බැලීම සිදුවිය.
ඒ අනුව මෙම ව්‍යාපෘතිය කෘෂිකර්මය, පරිසර සුරැකීම, ජෛව තාක්ෂණය සහ තිරසාර කර්මාන්ත යන ක්ෂේත්‍ර ගණනාවකට දායක වී තිබේ. මෙහිදී නව දිලීර විශේෂය සොයාගනු ලැබුවේ උණුදිය උල්පත්වල තාපකාමී දිලීර සම්බන්ධයෙන් කළ පර්‌යේෂණය ආශ්‍රිතවය.
 
 
හිටපු වැදි නායක තිසාහාමි
 
තිසාහාමිගේ ගමේ උණු දිය උල්පත්
 
මෙම අසමසම විද්‍යාත්මක සොයාගැනීම සිදුකර ඇත්තේ නැඟෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයට අයත් පදියතලාව ප්‍රදේශයේ පිහිටා ඇති "වහව හෙවත් හෝලිකේ" උණු දිය උල්පත ආශ්‍රිතවය. කලින් කීවාක් මෙන් හෝලිකේ වඩාත් ප්‍රසිද්ධ වැදි සනුහරේ ආදි නායකයා වන තිසාහාමි ඇත්තන් නිසාය. භූගෝලීය වශයෙන් ගත් කල, මෙම උණු දිය උල්පත් පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ භූවිද්‍යාත්මකව දුර්වල කලාපයක් ලෙස සැලකෙන හයිලන්ඩ් සහ විජයානු පාෂාණ සංකීර්ණ දෙක එකිනෙක හමුවන සුවිශේෂී මායිම ආසන්නයේය.
 
පදියතලාව පොලිස් ස්ථානය අසලින් ආරම්භ වන මාර්ගයේ කිලෝමීටර් 14ක පමණ දුරක් කෝමාණ දෙසට ගමන් කිරීමෙන් මෙම අපූරු පරිසරයට ළඟා විය හැකිය. මහඔය නගරයේ සිට කිලෝමීටර් 36ක් සහ පොළොන්නරුවේ සිට කිලෝමීටර් 44ක් පමණ දුරින් පිහිටි වහව ප්‍රදේශයේ කුඹුරු සහ වතුයායන් අතර විසිරී ගිය උණු දිය උල්පත් 18ක් පමණ දැකගත හැකි වීම මෙහි ඇති තවත් විශේෂත්වයකි. විශේෂයෙන්ම මෙහි ඇති අඩි 12ක් පමණ ඉහළට උණුවතුර විදින ආටේෂියන් ළිඳ ස්වභාවධර්මයේ අපූරු නිර්මාණයකි.
රජරට විශ්වවිද්‍යාලයේ ඩොලර් මිලියනයක අති නවීන රසායනාගාර එකතුවෙන් නව හෙළිදරව් රැසක්
ලංකාවේ නව දිලීරය සොයාගැනීම
 
2026 වසරේ මැයි මාසයේදී සුප්‍රකට Chiang Mai Journal of Science විද්‍යාත්මක සඟරාව මඟින් මෙම පර්‌යේෂණය ගැන එළිදක්වා තිබුණි.
 
මෙහිදී මුලින්ම හෝලිකේ - වහව උණු දිය උල්පතේ සෙල්සියස් අංශක 40.1 සිට 46.7 දක්වා ඉහළ උෂ්ණත්වයක් සහ 7.2ත් 7.4ත් අතර උදාසීන pH අගයක් සහිත ජලය සහ පතුලේ තිබූ අවසාදිත සාම්පල රැස්කර ගනිමින් විශ්ලේෂණයට ලක්කර ඇත. නව විශේෂය වාර්තා වී තිබුණේ ඒ විශ්ලේෂණ අතරතුරදීය. මුලින්ම රසායනාගාර තත්ත්ව යටතේ දිලීර කොටස් වෙන්කර හුදකලා කරගන්නා ලදී. ඉන් අනතුරුව, දිලීරයේ බාහිර වර්ධන රටාව, වර්ණය සහ අන්වීක්ෂීය ලක්ෂණ මඟින් රූප විද්‍යාත්මක විශ්ලේෂණයක් සිදුකරන ලදී. දිලීර වර්ගය කිසිදු සැකයකින් තොරව නිවැරදිව තහවුරු කරගැනීම සඳහා එහි DNA නිස්සාරණය කර, ඒ විශේෂය සඳහා අනන්‍ය වූ ප්‍රවේණි කලාප ඉතා සූක්ෂම ලෙස පරීක්ෂාවට ලක්කර තිබේ. මෙම ප්‍රවේණි දත්ත මත පදනම්ව මෙය Pseudothielavia terricola විශේෂය බවට විද්‍යාත්මකව තහවුරු කරනු ලැබිණි.
 
ශ්‍රී ලංකාවේ උණුදිය උල්පත් ආශ්‍රිතව ක්ෂුද්‍රජීවී විවිධත්වය, විශේෂයෙන්ම දිලීර සම්බන්ධයෙන් මීට පෙර කෙරුණු අධ්‍යයන කටයුතු ඉතා සීමිත විය. ඒ බැවින්, හෝලිකේ - වහව උණුදිය උල්පතෙන් Pseudothielavia Terricola විශේෂය විද්‍යාත්මකව වාර්තා වූ විට, එය ශ්‍රී ලංකාව අයත් භූගෝලීය කලාපය තුළින් මෙම දිලීරය හමුවූ ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාසගත විය.
 
මහාචාර්ය බමුණුආරච්චිගේ අප සමඟ පැවසූ පරිදි මෙම පර්‌යේෂණ කණ්ඩායම හුදෙක් එක් දිලීරයකට පමණක් සීමා නොවී, ජෛව තාක්ෂණ ක්ෂේත්‍රය නංවාලීම සඳහා වැදගත් තවත් සුවිශේෂී දිලීර පර්‌යේෂණ රැසක් ක්‍රියාවට නංවා ඇත. එහිදී විශේෂයෙන්ම කින්නියා සහ රංකිහිරිය වැනි අනෙකුත් උණුදිය උල්පත් ආශ්‍රිතවත් මෙවැනිම තාප-ස්ථායී එන්සයිම නිපදවන ක්ෂුද්‍රජීවීන් හුදකලා කිරීමට ඔවුහු සමත්ව සිටියහ.
 
 
ප්‍රායෝගික පරීක්ෂණ
 
සොයාගැනීම කළ පර්‌යේෂණ කණ්ඩායම
 
මෙම සමස්ත පර්‌යේෂණය සඳහා මුල්වූ පර්‌යේෂණ කණ්ඩායම අතරට රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ටී. සී. බමුණුආරච්චිගේ, මහාචාර්ය සමීර ද සොයිසා, ආචාර්ය අජිත් රත්නායක, ඉංජිනේරු දමිත් වීරසිංහ, භාතිය ධර්මරත්න යන විද්වතුන් සමග සම-ප්‍රධාන පර්‌යේෂකයන් ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රිකා නානායක්කාර, ආචාර්ය සමීර ආරියවංශ සහ සබරගමුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය උදේනි ජයලාල් ද එක්වූහ.
 
එසේම අන්තර්ජාතික සහයෝගිතා පර්‌යේෂකයන් ලෙස මහාචාර්ය නලින් විජේවර්ධන, මහාචාර්ය දායි (Dai - චූජිං සාමාන්‍ය විශ්වවිද්‍යාලය, චීනය), මහාචාර්ය ජයරාම භට් සහ මහාචාර්ය ටර්කි මොහොමඩ් දාවුද් (Turki Mohammed Dawoud - කිං සවුද් විශ්වවිද්‍යාලය, සෞදි අරාබිය) කටයුතු කළහ. එහිදී පර්‌යේෂණ සහායකයන් ලෙස මාධරා කවිමලි, ෆාරා නිෆ්ලා, ලක්ෂිත දිල්ෂාන්, ඉන්දුෂා රාජකරුණා, හෂිනි ජයතුංග, මහේෂි ගුණසේකර යන විද්වත්හු එක්ව සිටියහ.
 
මෙම සොයාගැනීම වැදගත් වන්නේ ඇයි?
 
සෙසු ලෝකය දැනටමත් දැන හඳුනාගෙන ඇති මෙම Pseudothielavia Terricola යනු කාර්මික, කෘෂිකාර්මික මෙන්ම වෛද්‍ය හා ජෛව තාක්ෂණ ක්ෂේත්‍රයන්හි ඉතා වැදගත් ස්ථානයක් හිමිකරගන්නා අලුතින් හඳුනාගත් දිලීර විශේෂයකි. එහි ප්‍රධාන ප්‍රයෝජනවත් ක්ෂේත්‍ර 3ක් පහත පරිදි වේ:
 
01. ඖෂධීය හා සායනික පර්‌යේෂණ 
  • වේදනා නාශක සහ ප්‍රදාහ විරෝධී ගුණ: මෙම දිලීරය මඟින් Thielavin A සහ Thielavin B නිපදවන අතර, ඒවා මඟින් සිරුරේ වේදනාව සහ උණ ඇතිකරන ජෛව ක්‍රියාවලීන් පාලනය කරයි. එමඟින් ආතරයිටිස් වැනි රෝග සඳහා ප්‍රදාහ විරෝධී හා වේදනා නාශක ගුණ ඇති නව ඖෂධ නිෂ්පාදනයට මඟපෑදේ.
  • පුළුල් චිකිත්සක විභවය: මෙම දිලීරයේ ළඟම නෑයන් විසින් බැක්ටීරියා නාශක, පිළිකා නාශක (Cytotoxic), ප්‍රතිඔක්සිකාරක සහ දියවැඩියා නාශක ගුණ සහිත සංයෝග නිපදවනු ලබයි.
02. කෘෂිකාර්මික ජෛව තාක්ෂණය සහ වගා වර්ධනය 
  • වේගවත් ශාක වර්ධනය: ඖෂධීය ශාක සමඟ මෙම දිලීරය සහ-වගා (co-culturing) කිරීමෙන් එම ශාකවල උස සහ මුල්වල දිග 100% සිට 121% දක්වා දෙගුණයකින් වැඩිවන බව පෙනීගොස් ඇත.
  • ඖෂධීය සංයෝග උත්තේජනය: ශාක තුළ ඇති හිතකර චිකිත්සක සංයෝග නිෂ්පාදනය 4.5 සිට 5.5 ගුණයකින් වැඩි කිරීමට මෙය සමත් වේ.
  • ශාක රෝග සඳහා ජෛව පාලනය: ඇතැම් ප්‍රභේද ස්වාභාවික ජෛව පාලන නියෝජිතයන් ලෙස ක්‍රියාකරමින් හානිකර කෘෂිකාර්මික ආසාදන සහ භෝග රෝග මර්දනය කරන බව තහවුරු වී ඇත.
03. කාර්මික එන්සයිම සහ ජෛව පිරිපහදු ලෙස 
  • ජෛව එන්සයිම නිෂ්පාදනය: සෙලියුලෝස් වැනි දැඩි ශාක පටක, ජෛව ඉන්ධන නිෂ්පාදනයට අවශ්‍ය පැසවීම සිදුකළ හැකි සීනි බවට බිඳහෙළන විශේෂ එන්සයිම මෙම දිලීරය මඟින් ශ්‍රාවය කරයි.
  • පරිසර හිතකාමී විසඳුම්: ප්ලාස්ටික්, පොලියෙස්ටර් සහ කාර්මික ඩයි වර්ග හායනය කළ හැකි එන්සයිම (Laccases) නිපදවීමේ හැකියාව මෙයට ඇත.
  • ඉහළ උෂ්ණත්ව ඔරොත්තු දීම: සෙල්සියස් අංශක 45 දක්වා වූ ඉහළ උෂ්ණත්ව යටතේ වුවද පහසුවෙන් ක්‍රියාකාරී වන බැවින්, කාර්මික පැසවීම් ක්‍රියාවලීන්හිදී සිසිලන පිරිවැය අවම කරගැනීමට මෙය ඉවහල් වේ.

රජරට විශ්වවිද්‍යාලයේ නවතම පර්‌යේෂණාගාර
 
මෙම සමස්ත පර්‌යේෂණ ව්‍යාපෘතියේ සැබෑ හැරවුම් ලක්ෂ්‍යය වන්නේ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) මූල්‍ය අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වූ විද්‍යා, තාක්ෂණ සහ මානව සම්පත් සංවර්ධන ව්‍යාපෘතියයි (STHRD). මෙම ව්‍යාපෘතිය යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියනයකට ආසන්න (රුපියල් මිලියන 340ක) දැවැන්ත ආයෝජනයකින් රජරට විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ Bioprocess Technology දෙපාර්තමේන්තුව යටතේ, ජෛව තාක්ෂණ පර්‌යේෂණාගාරය සහ දිලීර පර්‌යේෂණාගාරය ලෙස නවීනතම පර්‌යේෂණාගාර සංකීර්ණයක් ස්ථාපිත කර තිබේ. මෙම නවීන විද්‍යාගාර තුළ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට විධිමත් දිලීර සංරක්ෂණ එකතුවක් පිහිටුවා ඇති අතර, එය මෙරට දිලීර සම්පත් අනාගත පර්‌යේෂණ සඳහා සුරක්ෂිත කරතැබීමට සහ නව්‍ය නිෂ්පාදන සංවර්ධනයට රුකුලක් වී තිබේ.
 
මෙම සුඛෝපභෝගී රසායනාගාර පහසුකම් නොමැති වන්නට මෙතෙක් සොබාදහමේ සැඟව තිබූ මෙම සුවිශේෂී දිලීර විශේෂය සොයාගැනීමට මඟපෑදීම අසීරු වන්නට ඉඩ තිබූ බව මහාචාර්ය බමුණුආරච්චිගේ පෙන්වා දුන්නේය.
 
මෙබඳු සරුසාර විද්‍යාත්මක සොයාගැනීම්වල නිසි ඵල නෙළාගත හැකිව ඇත්තේ ඒවා ප්‍රායෝගික භාවිතය සඳහා මෙරට තුළම කටයුතු ඇරඹීම මඟිනි. එය බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු ප්‍රබල කාරණයකි. ඒ සඳහා දැන් අවශ්‍යව ඇත්තේ පර්‌යේෂණාගාරයෙන් ඔබ්බට විහිද ගිය අවංක මෙහෙයුමකි.
 
සුගත්ප්‍රිය කුලතුංග ආරච්චි