හොඳම අපනයනකරුවා ඇතුළු සම්මාන 117ක් ජනපතිවරයා අතින් පිරිනැමේ 


ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් 28 වැනි වරට සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙල 2026 දෙසැම්බර් මස 08 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබේ. 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වෙන බව, ඒ පිළිබඳ දැනුවත් කිරීම සඳහා ඊයේ (28) අපනයන සංවර්ධන මණ්ඩලයේදී පැවැත්වුණු මාධ්‍ය හමුවේදී අනාවරණය කෙරිණි.

අපනයන ක්ෂේත්‍රයට සහ ආර්ථික ප්‍රගමනයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ශ්‍රී ලාංකික අපනයනකරුවන් වෙත ගරු ජනාධිපතිවරයා විසින් පිරිනමනු ලබන උසස්ම සම්මානය ජනාධිපති අපනයන සම්මානයයි. 

මෙම සම්මාන ප්‍රදානය මගින් බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය උදෙසා ඉමහත් සේවයක් ඉටු කරන ලද අපනයනකරුවන් ඇගයීමයි. 

2025/2026 මූල්‍ය වර්ෂයේ ශ්‍රී ලංකාවේ හොඳම අපනයනකරුවන් ඇගයීම සඳහා පැවැත්වෙන මෙම උළෙලේදී සමස්ත සම්මාන 15ක් සහ නිෂ්පාදන හා සේවා ආංශික සම්මාන 102ක් ඇතුළු සම්මාන 117ක් පිරිනමනු ලැබේ. තවද, අයදුම්කරුවන්ගේ කාර්ය සාධනය මෙන්ම ජාතික ආර්ථිකයට අදාළ අංශවල අපනයන දායකත්වය සැලකිල්ලට ගනිමින් විනිසුරු මඩුල්ල විසින් තීරණය කරනු ලබන පරිදි සුදුසුකම් ලත් අංශ සඳහා කුසලතා සම්මාන පිරිනැමීම ද සිදු කෙරේ. 

28 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙල සඳහා සදහා මෙවර ලංකා බැංකුව  (Bank of Ceylon)  ප්ලැටිනම් හවුල්කාරිත්වය ද, කොමර්ෂල් බැංකුව (Commercial Bank) රන් හවුල්කාරිත්වය දරයි. ශ්‍රී ලංකා තේ මණ්ඩලය  (SLTB)  සහ ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව  (SLECIC)  රිදී හවුල්කාරිත්වය ලෙස ද ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB)  සමඟ අත්වැල් බැඳගෙන ඇත. 

මෙම අවස්ථාව සඳහා එම මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ, අධ්‍යක්ෂ ජනරාල් එරන්දික දිසානායක, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (සංවර්ධන) කුමුදුනී මුදලිගේ, අධ්‍යක්ෂ ජනරාල් (මුදල් හා පාලන) රොෂාන් ජයසිංහ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.