පසුගිය සැප්තැම්බර් මාසය අවසන් වනවිට මහ බැංකුව සතු විදෙස් මුදල් සංචිතයේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 6.9ක් ලෙස පවතින බවත්, මෙම වසර අවසන් වනවිට එය ඩොලර් බිලියන 8ක් ආසන්නයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි. 

පෙරේදා (27) කොළඹදී පැවැත් වුණු ආයෝජක සංසදයක් අමතමින් අධිපතිවරයා මෙම අදහස් පළ කළේය. ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන්න තිබෙන මීළඟ වාරිකය, ආසියානු සංවර්ධන බැංකුව හරහා ලැබෙන මුදල් සහ අපි වෙළෙඳපොළෙන් මිලදී ගන්නා ඩොලර් සමගින් වසර අවසන් වනවිට මෙම සංචිතය ඩොලර් බිලියන 8 ක් ආසන්නයට පැමිණේවි.’ 

මේ අතර 2028 වසරේ සිය විදෙස් ණය ආපසු ගෙවීමට රජයට සිදුව තිබෙන බවත්, එහිදී වසරකට ගෙවිය යුතු ඩොලර් බිලියන 4ක මුදල සඳහා දැනට පවතින සංචිත මට්ටම ප්‍රමාණවත් බව විශ්වාස යැයිද අධිපතිවරයා පවසා සිටියේය. 

‘මම කලින් කිව්වා වගේ මේ වසරේදී අපිට ඩොලර් බිලියන 8ක සංචිතයකට යන්න පුළුවන් වේවි. ඒ වගේම මෙය ඩොලර් බිලියන 09ක් 10ක් දක්වා ගොඩනගා ගැනීමට අපේක්ෂා කරනවා. 

මහ බැංකුව සහ රජයේ ප්‍රතිපත්ති එක හා සමානව තමයි යන්නේ. ඒ නිසා අපිට වඩාත් වැඩි ස්වාරක්ෂක ගොඩනගාගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා.’  අධිපතිවරයා පැවසීය.