අතීතයේ සිදු වූ අක්‍රමිකතා නිසා ජනතාව කොටස් වෙළෙඳපොළ ආයෝජනයට බිය බව පවසයි 


නව ලැයිස්තුගතවීම් උනන්දු කරවීමට බදු සහන පිළිබඳ අවධානයක් 


සියයට 5කට වැඩි ආර්ථික වර්ධනයකට ප්‍රාග්ධන වෙළෙඳපොළ යොදා ගන්න - SEC සභාපති 


කොටස් වෙළෙඳපොළ සක්‍රිය ගිණුම් 150,000 ක් බවට පත් කරගැනීම ඉලක්කයයි - CSE  සභාපති 


භානුක අමරසිංහ 


කොළඹ කොටස් හුවමාරුව ඇතුළු ප්‍රාග්ධන වෙළෙඳපොළ වෙත ආයෝජකයන් ආකර්ෂණය කරගනිමින් එය ආයෝජනවලින් පිරවීම සිය අපේක්ෂාව බවත්, ඒ හරහා ආර්ථික ක්‍රියාකාරීත්වය වේගවත් කිරිමට හැකියාව පවතින බවත් මුදල්, ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. 

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව  (SEC)  සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) එක්ව “දරා ගැනීමේ සිට තිරසාර වර්ධනයක් කරා’’ යන තේමාව යටතේ කොළඹදී සංවිධානය කළ ආයතනික ආයෝජක සංසදය අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. එම කටයුතු සඳහා රජය පාර්ශ්වයෙන් ලබාදිය යුතු සහයෝගය සහ පහසුකම් අඛණ්ඩව ලබාදිමට කටයුතු කරන බවත් ඒ මහතා පැවසීය. 

කෙසේ වෙතත් විවිධ හේතු නිසා තවමත් මෙරට ජනතාව කොටස් හුවමාරුව තුළ ආයෝජනයට බියක් දක්වන බවත්, අතීතයේදී එහි සිදු වූ විවිධ අක්‍රමිකතා ඊට හේතුව බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. 

‘මේ ප්‍රාග්ධන වෙළෙඳපොළ හැසිරිම් ගැන තිබුණේ එතරම් හොඳ අත්දැකීම් නෙමෙයි. ඉතාමත් සුළු පිරිසක් මේ වෙළෙඳපොළේ කොටස් මිල පමණට වඩා උස්සලා මුදල් ඉපැයුවා. ඇතැම් අවස්ථාවලදී අභ්‍යන්තර තොරතුරු පිට කරලා වාසි ගත්තා. රටේ බහුතරයකට මේ ප්‍රාග්ධන වෙළෙඳපොළ පිළිබඳව ලොකු දැනුමක් නෑ. දැනුමක් තිබුණත් මේ බිය නිසා ඔවුන් කොටස් වෙළෙඳපොළේ තමන්ගේ මුදල් ආයෝජනය කරන්න ආවේ නෑ.’ 

ඒ අනුව සෑම දෙනාටම එක සමානව තරගකළ හැකි බිමක් මෙම ප්‍රාග්ධන වෙළෙඳපොළේ නිර්මාණය අරමුණ බවත් ඔහු පැවසීය. 

එසේම කොටස් හුවමාරුවේ ලැයිස්තුගතවීමට පෞද්ගලික සමාගම් උනන්දුවක් නොදක්වන්නේ එහි ඇති නියාමන රෙගුලාසිවලට අනුකූලවීම සහ ඔවුන්ගේ ආදායම් පිළිබඳව නිරීක්ෂණය කරනු ඇතැයි යන බිය නිසා බවත් ඒ මහතා සඳහන් කළේය. 

එහිදී සමාගම් ලැයිස්තුගතවීමට උනන්දු කිරිම සඳහා යම් බදු සහන ලබාදීම සම්බන්ධයෙන් ඉදිරියේදී අවධානය යොමු කරන බවත් ඔහු පැවසීය. 

මේ අතර දැනට වසර ගණනක් පුරා යෝජනා වී ඇති කොළඹ කොටස් වෙළෙඳපොළ අසමුහීකරණය  (Demutualization)  සම්බන්ධයෙන් කටයුතු කරන බවත්. ලබන වසරේදී එය සිදු කිරිමට හැකියාව ලැබෙනු ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. 

‘පසුගිය අයවැයේදී ප්‍රාග්ධන වෙළෙඳපොළ ගැන යෝජනා නොතිබුණු බවට SEC  සභාපතිතුමාගෙන් චෝදනා එල්ල වුණා. එහෙත් ඉදිරි වසර සඳහා වන අයවැය යෝජනා තුළ එය ඇතුළත් කිරිමට අපි පියවර ගත්තා.’

මෙහිදී අදහස් දැක් වූ SEC සභාපති මහාචාර්ය හරේන්ද්‍ර දිසා බණ්ඩාර මහතා, ඉදිරි වසර තුනත් - පහත් අතර කාලයේදී ලංකාවේ අනාගත ගමන රැඳී ඇත්තේ ප්‍රාග්ධන වෙළෙඳපොළේ බව පවසා සිටියේය. 

 ‘අපේ ආර්ථික වර්ධනය සියයට 5 ක සිට ඊට වඩා වැඩි වෙන්න නම් ආයෝජන අවශ්‍යයි. ඒ ආයෝජන ආකර්ෂණය කරගන්න හොඳම තැන තමයි ප්‍රාග්ධන වෙළෙඳපොළ. ඒ අනුව එය හොඳින් උපයෝගි කර ගැනීම තමයි මීළග වැදගත්ම දේ. අපිට වසර 131 කටත් වඩා පැරණි ප්‍රාග්ධන වෙළෙඳපොළක් තිබුණත් ගත වුණු වසර 60ක් 70ක් පුරා අපිට මේ දේ කරගන්න බැරිවුණා. තවමත් අපි අපේ ප්‍රාග්ධන වෙළෙඳපොළේ උපරිම හැකියාව අරගෙන නැහැ.’ 

එහිදී කොටස් තැරැව්කාර ආයතනවල කාර්යභාරයද වැදගත් බව පෙන්වා දුන් සභාපතිවරයා, කොටස් හුවමාරුවේ හැසිරීම සම්බන්ධයෙන් පැහැදිලිවම ආයෝජකයන් දැනුවත් කිරිම ඔවුන්ගේ වගකීම බව සඳහන් කළේය. එහිදී ප්‍රාග්ධන වෙළෙඳපොළ වෘත්තිකයන් ලෙස වඩාත් සදාචාරාත්මක ලෙස කටයුතු කරමින් අතීතයේදී සිදු වූ වැරදි යළි සිදු නොවීමට වගබලා ගත යුතු බවත් ඔහු පැවසීය. 

‘මේ කොටස් තැරැව්කාර කර්මාන්තය මේ කාරණාව ගැන අවධානය යොමු කරන්න ඕනේ. 2010 - 2012 කාලයේ සිදු වූ දේවල් සිද්ධ වෙන්න දෙන්න එපා. එතැනදී ඔබගේ වෘත්තීමය හැසිරීම වැදගත්. පසුගිය වසර දෙකේදී මේ ආයතන සියල්ලම හොඳින් හැසිරුණු බව අපි දැක්කා. එහෙත් ඒ අතර නරක හැසිරීම් තිබුණු අය කිහිප දෙනෙක් හිටියා. ඔවුන්ට කිසිදු සමාවක් නැහැ’ 

මෙහිදී අදහස් දැක් වූ  CSE  සභාපති දිමුතු අබේසේකර මහතා, විවිධ පාර්ශ්ව සමගින් එක්ව ප්‍රාග්ධන වෙළෙඳපොළ ආයෝජනය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරමින් සිටින බව පවසා සිටියේය. එහිදී ඩිජිටල් ක්‍රමවේද මෙන්ම කොටස් වෙළෙඳපොළ ශාඛා පිහිටුවමින් ජනතාව සමගින් වැඩි වශයෙන් සම්බන්ධවීමට පියවර ගෙන ඇතැයිද පැවසීය. 

‘2023-24 කාලයේදී කොටස් වෙළෙඳ පොළේ සක්‍රිය ගනුදෙනුකරුවන් හිටියේ 30,000 ක් පමණයි. ප්‍රවර්ධන වැඩසටහන් හරහා ප්‍රවර්ධන වැඩසටහන් හරහා පසුගිය වසර වෙන කොට එය ගිණුම් 78,000 ක් බවට පත්වෙලා තිබෙනවා. 
ආයෝජනය කරන්න පුළුවන් ජනතාවගෙන් සියයට 2යි කොටස් වෙළෙඳපොළේ ඉන්නේ. මෙය 100,000ක් 150,000 ත් අතර සංඛ්‍යාවකට පත් කරගැනීම අපේ ඉලක්කය විය යුතුයි. මේ වසරේදී අපි ප්‍රාදේශීය ශාඛා තුනක් විවෘත කළා. ලබන වසරේදී තවත් කිහිපයක් විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා.’

ඒ අනුව ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම කොටස් වෙළෙඳපොළ ශාඛාවක් පිහිටුවීම සිය අපේක්ෂාව බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඡායාරූප: ප්‍රදීප් පතිරණ