• ප්‍රතිපත්ති අඛණ්ඩතාව, සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ මූල්‍ය විනය පවත්වා ගැනිම අගයයි
  • ලංකා වාණිජ මණ්ඩලයේ යෝජනා විස්සකට වැඩි ගණනක් මෙවර අයවැයට ඇතුළත්

2027 වසර සඳහා රජය ඉදිරිපත් කර ඇති අයවැය යෝජනා හරහා ප්‍රතිපත්ති අඛණ්ඩතාව, සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ මූල්‍ය විනය පවත්වා ගනිමින් ආර්ථික පරිවර්තනය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම ශක්තිමත් කරන බව ලංකා වාණිජ මණ්ඩලය සඳහන් කරයි. 

අයවැය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය මෙම කරුණු සඳහන් කර සිටියි. කෙසේ වෙතත් මෙම අයවැය යෝජනා කාර්යක්ෂමව සහ නියමිත කාලයට ක්‍රියාත්මක කිරීම අවශ්‍යතාව වන බවත් ඔවුන් පෙන්වා දෙයි.

විශේෂයෙන්ම 2026 සහ 2027 අයවැය ලේඛන අතර පවත්වාගෙන ගොස් ඇති දැඩි අඛණ්ඩතාව පිළිබඳව වාණිජ මණ්ඩලය විශේෂයෙන්ම සතුටට පත්වන බව පවසයි. එසේම පසුගිය වසරේ අයවැය මගින් හඳුනාගත් ප්‍රධාන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ රැසක් ඉදිරියට ගෙන යමින් තවදුරටත් ශක්තිමත් කර ඇති අතර, එමගින් ව්‍යාපාර සහ ආයෝජකයින් සඳහා වඩාත් ස්ථාවර සහ පුරෝකථනය කළ හැකි පරිසරයක් නිර්මාණය වී ඇතැයිද සඳහන් කරයි. 

ඊට ඇතුළත් වන කරුණු අතරට; ‘ජාතික වෙ​ෙළඳ තනි කවුළු පද්ධතිය‘ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම, අතිරේක තීරුබදු අදියර වශයෙන් ඉවත් කිරීම, ඩිජිටල් හැඳුනුම්පත් රාමුව හඳුන්වා දීම, නව නිදහස් වෙෙළඳ ගිවිසුම් හරහා වෙළඳපොළ ප්‍රවේශය පුළුල් කිරීමට දරන උත්සාහ පවතී. 

එසේම, ආයෝජන පහසුකම් සැලසීමේ ඒකාබද්ධ යාන්ත්‍රණ ශක්තිමත් කිරීම, රේගු ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුෙපාළ පුළුල් කිරීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා මූල්‍ය සහාය වැඩි දියුණු කිරීම සහ රාජ්‍ය ව්‍යවසායන් කළමනාකරණයට අදාළ ප්‍රතිසංස්කරණ යන දෑ ඇතුළත් වන බවත් පවසයි.

“ලංකා වාණිජ මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා විස්සකට වැඩි ගණනක් 2027 අයවැය තුල අන්තර්ගත වී තිබිමත් සතුටක්“ එම මණ්ඩලය පවසයි.

මේ අතර රටේ වර්ධන අපේක්ෂා ශක්තිමත් කිරීම සඳහා අයවැයෙන් වැඩි අවධානයක් යොමු කළ හැකි ක්ෂේත්‍ර කිහිපයක්ද එම මණ්ඩලය ඉස්මතු කරයි. විශේෂයෙන්, විදේශ සෘජු ආයෝජන (FDI)  ආකර්ෂණය කර ගැනීම, සාධක වෙෙළඳපොළ ප්‍රතිසංස්කරණ, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ කාර්යක්ෂමතාව සහ වේගය වැඩි දියුණු කිරීම සඳහා රාජ්‍ය ප්‍රසම්පාදන ප්‍රතිසංස්කරණ වේගවත් කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාවක් පවතින බව ඔවුන් පෙන්වා දෙයි.

එසේම සංචාරක, කෘෂිකර්මාන්තය,  IT /BPO  සහ සැපයුම් පහසුකම් ඇතුළු සැලකිය යුතු වර්ධන අවස්ථා ඇති අංශවල විභවය විවෘත කිරීම සඳහා වඩාත් ඉලක්කගත සහ ක්‍රියාකාරී යෝජනා හඳුන්වා දිය හැකිව තිබූ බවත් ඔවුන් පවසයි.

කෙසේ වෙතත් මෙම ප්‍රතිපත්තිමය පොරොන්දු, ආයෝජන, තරගකාරීත්වය, අපනයන සහ තිරසාර වර්ධනයක් බවට පරිවර්තනය කර ගැනීම සඳහා, අවශ්‍ය වන්නේ එම යෝජනා කාර්යක්ෂමව සහ නියමිත කාලයට ක්‍රියාත්මක කිරීම බවත් එම මණ්ඩලය අවධාරණය කරයි.
“මෙම වැඩපිළිවෙළවල ක්‍රියාත්මක කිරීමට සහාය වීම සඳහාත්, ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වයේ සිට තිරසාර වර්ධනයක් කරා ගෙන යාමට දායක වීම සඳහාත්, රජය සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ එක්ව කටයුතු කිරීමට ලංකා වාණිජ මණ්ඩලය සූදානමින් සිටී.’ එම මණ්ඩලය වැඩිදුරටත් පවසයි.