• 2025 වසරේදී මෙම ක්ෂේත්‍රයේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ඉක්මවලා

2027 අයවැය මගින් අපනයන තරගකාරිත්වය, ආයෝජන සහ වෙළෙඳ පහසුකම් තවදුරටත් ශක්තිමත් වනු ඇති බව ඒකාබද්ධ ඇඟලු‍‍ම් සංගම් සංසදය (JAAF) පවසයි.

කෙසේ  වෙතත් අපනයන- කරුවන්ට, සේවකයන්ට සහ ආයෝජකයන්ට එහි ප්‍රතිලාභ ලැබෙන පරිදි මෙම යෝජනා කඩිනමින් සහ පැහැදිලිව ක්‍රියාත්මක කරන ලෙසත් ඔවුන් රජයෙන් ඉල්ලයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංසදය මෙම කරුණු සඳහන් කර සිටියි.

එසේම සංසදය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා රැසක් 2027 අයවැය යෝජනා සඳහා ඇතුළත් කිරීම පිළිබඳව සිය ස්තුතිය පළ කරන බවත් පවසා සිටියි.

ඇඟලු‍‍ම් ක්ෂේත්‍රය තවදුරටත් ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන ආදායම් මාර්ගය ලෙස සැලකිය හැකිය. 2025 වසරේදී මෙම ක්ෂේත්‍රයේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ඉක්මවා යන ලදී. එය සමස්ත අපනයන ආදායම වන ඇමෙරිකානු ඩොලර් බිලියන 17.25 න් සියයට 32 ක් පමණ වන බැවින් අපනයනකරුවන්ට ක්ෂේත්‍රයේ අනෙකුත් ආයතනය සමග තරගකාරීව කටයුතු කිරීමට උපකාරී වන ඕනෑම පියවරක් ලංකාවේ ආර්ථික දියුණුවටද එය ඉතා වැදගත් වේ.

ඒ අනුව JAAF විසින් පිළිගත් යෝජනා කිහිපයකි.

ඉහළ නැංවූ ප්‍රාග්ධන දීමනාව - ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලත්, අපනයන නිෂ්පාදන සිදු කරන ආයතන අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 3ක් ආයෝජනය කරන්නේ නම්, එම ආයෝජන වියදම මෙන් සියයට 200ක බදු සහනයක් ලබා ගත හැකිය. නවීකරණය, නව තාක්ෂණය සහ නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම සඳහා ආයෝජකයන් දිරිමත් කිරීම මෙහි අරමුණයි.

වෙළෙඳ පහසුකම් සැලසීම - රුපියල් මිලියන 1,990ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ, 2027 වසරේ පළමු භාගයේදී අපනයනකරුවන් ජාතික තනි කවුළුව  (National Single Window) පද්ධතියට සම්බන්ධ කෙරේ. එමෙන්ම රේගු ආඥා පනත සංශෝධනය කිරීම, TIEP ක්‍රියාවලිය නවීකරණය කිරීම සහ කඩදාසි භාවිතයෙන් තොර (ඩිජිටල්) රේගු නිෂ්කාශන ක්‍රමයකට යොමු වීම.

ආනයන වියදම් අඩු කිරීම - භාණ්ඩ වර්ගීකරණ කේත 800කට අදාළව පනවා තිබූ සෙස් (CESS)  බදු අනුපාත සියයට 25කින් අඩු කිරීම, ආනයන තීරුබදු අදියරෙන් අදියර අඩු කිරීම සඳහා ගත් සාධනීය පියවරකි.

අපනයනකරුවන්ට සහාය වීම - වැට් (VAT) බදු සඳහා අලු‍‍තින් ලියාපදිංචි වූ අපනයනකරුවන්ට ‘සුදුසුකම්ලත් අපනයනකරුවන්’ ලෙස පිළිගැනීම වඩාත් ඉක්මනින් ලබා ගැනීමට හැකි වේ. එමෙන්ම, නීත්‍යනුකූල VAT බදු ආපසු ගෙවීම් සහ යෙදවුම් බදු බැර අහිමිවීමට හේතු වන පරිපාලනමය කොන්දේසි ද රජය විසින් සමාලෝචනය කරනු ඇත.

යුරෝපා සංගමය සමග හවුල්කාරිත්වය - 2027 සිට 2030 දක්වා කාලය තුළ ක්‍රියාත්මක වන, යුරෝපා සංගමයේ අරමුදල් යටතේ සිදුකෙරෙන රුපියල් මිලියන 3,430ක් වටිනා ‘ශ්‍රී ලංකා - යුරෝපා සංගම් තිරසර වෙළෙඳ සහ ආර්ථික ඒකාබද්ධතා ව්‍යාපෘතිය’ මගින් අපනයන තරගකාරිත්වයට සහ තිරසර නිෂ්පාදනයට සහාය ලැබෙනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදයේ සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියේ “2027 අයවැය මගින් අපනයනකරුවන්ට ඉදිරියට යාමට ශක්තිමත් පදනමක් ලබා දී තිබෙනවා. 

අයවැය යෝජනා මගින් විශ්වාසයක් ඇති කළත්, සැබෑ ප්‍රතිඵල ලැබෙන්නේ ඒවා නිසි ලෙස ක්‍රියාත්මක කිරීමෙන් පමණයි. ආයෝජකයන්ට ස්ථිර විශ්වාසයකින් යුතුව සිය සැලසුම් සකස් කර ගැනීමට හැකි වන පරිදි, මෙම යෝජනා ඉක්මනින් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට රජය සමග එක්ව කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.