භානුක අමරසිංහ
![]() |
| ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන |
මෙරට වෙත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මගින් ලබාදී ඇති සහාය 2027 මාර්තුවේදී අවසන්වීමට නියමිතව ඇති බවත්, ඒ අනුව ඉතිරි මාස නවයක කාලය රට ඉදිරියට යා යුත්තේ තමන් විසින්ම උපයා ගන්නා මුදල් ප්‍රවාහ යොදා ගෙන බවත් මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු වන ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා පවසයි.
ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකාර ගණකාධිකාරිවරුන්ගේ ආයතනය (CMA) මගින් ඊයේ (16) සංවිධානය කළ 2027 අයවැය සංසදයේ (Budget Highlights 2027) ප්‍රධාන දේශනය සිදු කරමින් ඒ මහතා මෙම කරුණු සඳහන් කළේය. ස්ථාවරත්වයෙන් ඉදිරියට - වර්ධනය සඳහා ගොඩනැගෙමු යන තේමාව යටතේ මෙය සංවිධානය වී තිබුණි.
“අද ලංකාව දිහා බැලුවහොත්, එය හරියට දෙමුහුන් වාහනයක් වගේ. මොකද එය ධාවනය වන්නේ පෙට්‍රල් එන්ජිමකින් සහ විදුලි මෝටරයකින්. පෙට්‍රල් එන්ජිමෙන් ධාවනය වූ අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් විදුලි මෝටරය නිසා ඉදිරියට යාමට උපකාරී වුණා. 2022 දී මුහුණ දුන් අර්බුදය ඉතා දරුණුයි. මෙතරම් ඉක්මනින් ඉන් ගොඩ ඒවි කියලා කිසිවෙක් සිතුවේ නැහැ. නමුත් නිවැරදි ප්‍රතිපත්ති සහ මූල්‍ය අරමුදල මෙන්ම සියලුම ණයහිමි රටවල් අපට ලබා දුන් සහයෝගය නිසා අපට එයින් ගොඩ ඒමට හැකි වුණා.’’
නමුත් එම විදුලි මෝටරය ලබන වසරේ අප්‍රේල් මාසයේදී ඉවත් කිරීමට නියමිත බවත්, ඉන්පසු අපට මෙම වාහනය ධාවනය කිරීමට සිදුවන්නේ පෙට්‍රල් එන්ජිමෙන් පමණක් බවත් ආචාර්ය විජේවර්ධන මහතා මෙහිදී අවධාරණය කළේය.
“අද අප මුහුණ දෙන මූලික ගැටලුව එයයි. කෙසේ නමුත් රජය නැවතත් IMF වැඩසටහනක් සමඟ ඉදිරියට යනු ඇතැයි යන්න මගේ පෞද්ගලික කැමැත්තයි. එහෙම වුණොත් අපට මෙම වේගය ඉදිරියට ගෙන යාමට හැකිවෙනවා.
නමුත් වර්තමානයේ ලැබෙන ඉඟිවලට අනුව, ශ්‍රී ලංකාව තවත් IMF වැඩසටහනකට යාමට ඉඩ ඇතත්, වත්මන් වැඩසටහන ලබන මාර්තු අවසන් වූ වහාම එය සිදුවනු ඇතැයි කිසිදු සහතිකයක් ලැබී නැහැ.’’
ඒ අනුව 2027 වසරේ අවසන් මාස නවය තුළ අපට අපගේම ආර්ථික ප්‍රතිපත්ති මත පමණක් යැපෙමින් ඉදිරියට යාමට සිදුවනු ඇතැයි ඒ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
මෙහිදී ඇති ඉහළම අවදානම අර්බුදය නොව, අර්බුදයෙන් පසු අප කළමනාකරණය කරන්නේ කෙසේද යන්න බවත් ඒ මහතා පැවසීය. අප වෙත ගලා එන මුදල් ප්‍රවාහ අප සතුවිම ඊට හේතුව වී තිබේ. එහිදී වෙනත් බාහිර අරමුදල් ගලා ඒමක් සිදු නොවන බවත්, ඒ හේතුවෙන් රජය උපයන දේ නැවත බෙදා හැරීමට හැකියාව අඩු වන බවත් ඔහු පැවසීය. ඒ අනුව දැනට පවතින මුදල් ප්‍රවාහය එලෙසම පවත්වා ගනිමින් එය තවදුරටත් වැඩිදියුණු කිරීමට රජයට සිදු වනු ඇත.
“ලබන වසරේ පළමු කාර්තුවට IMF සහය ලැබේවි. නමුත් අවසන් මාස නවය අප තනිවම යා යුතුයි. එබැවින්, 2027 අයවැයේ කාර්යභාරය වන්නේ මාර්ග තදබදයක් මැද වාහනය නතර වීම වළක්වා ගනිමින් බාධාවකින් තොරව ඊළඟ අදියරට මාරු වීමයි. මොකද අප පෙට්‍රල් එන්ජිම නතර වීමේ අවදානමක් ඇති බව කවුරුත් දකින නිසා අප එය වළක්වා ගත යුතුය. අප මුහුණ දෙන විශාලතම ගැටලුව එයයි.’’ ඒ මහතා සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd