• වසරේ මුල් මාස හයේදී CPC  ශුද්ධ ලාබය රැ.බි. 29.2ක් දක්වා සියයට 71.8 කින් ඉහළට 
  • අප්‍රේල් - ජ‌ූනි කාලයේ රජය ලබාදුන් රැ.බි. 41 ක ඉන්ධන සහනාධාරය හේතුවෙලා 
  • ඉන්ධන මිල ඉහළ යෑම නිසා රැ.බි. 576.6 ක ශුද්ධ විකුණුම් ආදායමක් 
  • ආනයන පිරිවැය ඉහළ යෑමෙන් ආනයන වියදම සියයට 73.8 කින් ඉහළ ගිහින්

ලංකා ඛනිජ තෙල් නීගිත සංස්ථාව 2026 වසරේ ජනවාරි සිට ජූනි දක්වා පළමු මාස හය තුළ වාර්තා කර ඇති ශුද්ධ ලාබය රුපියල් බිලියන 29.2ක් ලෙස සටහන් වන බවත් එය 2025 වසරේ එම කාලසීමාවේදී වාර්තා වූ රුපියල් බිලියන 17ක ශුද්ධ ලාබයට සාපේක්ෂව සියයට 71.8ක වර්ධනයක් වන බවත් වාර්තා වෙයි. 

මුදල් සහ ක්‍රමසම්පාදන අමාත්‍යාංශය මගින් නිකුත් කළ 2026 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්වය පිළිබඳ වාර්තාවේ මෙම කරුණු ඇතුළත්ව තිබේ. 

එහිදී මෙම ලාබය කැපී පෙනෙන ලෙස ඉහළ යාම සඳහා මූලිකවම මැදපෙරදිග කලාපයේ ඇති වූ ගැටුම්කාරී තත්වය හේතුවෙන් රජය විසින් ඛනිජ තෙල් කර්මාන්තය වෙත ලබාදුන් සහනාධාරය හේතු වී තිබේ. 

විශේෂයෙන්ම මෙම යුද ගැටුම් නිසා සාමාන්‍ය ජනතාවගේ දෛනික ජීවිතයට සහ සමස්ත ආර්ථිකයට ඇති විය හැකි අහිතකර බලපෑම අවම කිරීම සඳහා රජය මෙම සහනාධාරය ලබා දීම සිදු විය. 

ඒ අනුව මෙම සහනාධාරය යටතේ 2026 අප්‍රේල් සිට ජූනි දක්වා කාලය සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් බිලියන 41ක් විය. 

මෙම වාර්තාවේ ඇතුළත් වන ආකාරයට 2025 වසරේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සමස්ත බදු පෙර ලාබය රුපියල් බිලියන 34.6ක් වූ අතර, 2024 වසරේදී එය රුපියල් බිලියන 34.8ක් විය.

මේ අතර 2026 පළමු මාස හය තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 576.6 ක ශුද්ධ විකුණුම් ආදායමක් වාර්තා කිරීමට සමත්ව තිබේ. එය 2025 එම කාලසීමාවේදී වාර්තා කළ රුපියල් බිලියන 410.7 ට සාපේක්ෂව සියයට 40.4 ක ඉහළ යාමකි. 

2026 වසරේ පළමු කාර්තුව අවසානයේදී ඇති වූ මැදපෙරදිග යුද ගැටුම් උග්‍ර වීම හේතුවෙන් දේශිය ඉන්ධන මිල ගණන් ඉහළ යාම මේ සඳහා හේතු වී තිබේ. 

කෙසේ වෙතත් යුද ගැටුම් නිසා ඇති වූ ඉහළ ආනයන පිරිවැය හේතුවෙන් 2026 පළමු මාස හය තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සමස්ත තෙල් ආනයන වියදම ඩොලර් මිලියන 1,737.9ක් බවට පත්ව තිබේ. මෙය 2025 වසරේ එම කාලසිමාවේ වාර්තා කළ ඩොලර් මිලියන 999.9ක වියදමට සාපේක්ෂව සියයට 73.8 ක ඉහළ යෑමකි. 

ඒ අනුව 2026 පළමු මාස හය තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විකිණුම් පිරිවැය රුපියල් බිලියන 567.6 ක් ලෙස සටහන්ව ඇති අතර, එය 2025 වසරේ එම කාලසීමාවේදී වාර්තා වූ රුපියල් බිලියන 377.9 ක විකිණුම් පිරිවැය හා සාපේක්ෂව සියයට 50.2 ක ඉහළ යෑමකි. 

එහි ප්‍රතිඵලයක් ලෙස 2026 පළමු මාස හය තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දළ ලාබය රුපියල් බිලියන 8.9ක් ලෙස සටහන්ව ඇති අතර, එය 2025 පළමු මාස හය තුළ වාර්තා කළ රුපියල් බිලියන 32.8 ට සාපේක්ෂව සියයට 72.98කින් පහත වැටී තිබේ. 

කෙසේ වෙතත් 2026 අප්‍රේල් සිට ජූනි දක්වා ලැබුණු රුපියල් බිලියන 41 ක සහනාධාරයත් සමගින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලාබය රුපියල් බිලියන 23.9ක් ලෙස සටහන්ව ඇති අතර, 2025 වසරේ එම කාලසීමාවේදී එය රුපියල් බිලියන 11.ක් විය. 

එසේම 2026 මුල් මාස හය තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 7.2ක උපලබ්ධි නොවූ විනිමය ලාභයක් වාර්තා කර ඇති අතර, 2025 වසරේ එම කාලසීමාවේදී එය රුපියල් බිලියන 3.5 ක් විය. 

මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවද ඇතුළුව දේශීය ඛනිජ තෙල් වෙළෙඳපොළ ක්‍රියාකරුවන් සඳහා අප්‍රේල් - ජූනි කාලසීමාවේ ලබාදුන් සමස්ත ඉන්ධන සහනාධාරය රුපියල් බිලියන 57 ක් ලෙස සටහන් වී තිබේ