• යෝජනාව කැබිනට් මණ්ඩලයේ අනුමැතියට

දිවයින පුරා පිහිටි 1,400කට අධික සමෘද්ධි ප්‍රජාමූල බැංකු එකිනෙකට ජාලගත කරමින්, ඒකාබද්ධ හා ශක්තිමත් ක්ෂුද්‍ර මූල්‍ය බැංකු පද්ධතියක් බවට පත් කිරීමේ සැලසුමක් ඇතැයි ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසයි. 

පසුගියදා අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැති වැඩසටහනකදී අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කර තිබේ. 

ඒ අනුව දැනටමත් එම යෝජනාව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති අතර, එමගින් සමෘද්ධි ප්‍රජාමූල බැංකු පද්ධතිය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්ෂුද්‍ර මූල්‍ය බැංකු පද්ධතිය බවට පත් කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පවසා ඇත. 

විශේෂයෙන්ම ‘අස්වැසුම’ වැඩසටහන හරහා ප්‍රතිලාභීන්ට ඍජු මූල්‍ය සහනාධාර ලබා දීම සිදුකෙරේ. 

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යභාරය වන්නේ අඩු ආදායම්ලාභී ජනතාව ආර්ථික හා සමාජීය වශයෙන් සවිබලගැන්වීම බවද අමාත්‍යවරයා අවධාරණය කර ඇත.

එසේම ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වසරේදී සියයට 24ක් ලෙස පැවැති මෙරට දිළිඳුකමේ අනුපාතය 2026 ඔක්තෝබර් මාසය වන විට සියයට 15.8 දක්වා පහත වැටී ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.