- මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත
- 2027 අයවැය හරහා ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් ට්‍රිලියන 2ක් වෙන් කරලා
වසරක් සඳහා රජය වෙන් කරන ප්‍රාග්ධන වියදම් සම්පූර්ණයෙන්ම සංවර්ධන ව්‍යාපෘති සඳහා නොයෙදීමට නිලධාරීවාදය මෙන්ම ප්‍රසම්පාදන පමාවීම්ද හේතුවන බව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි. ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව, කොළඹ කොටස් හුවමාරුව එක්ව සංවිධානය කළ ආයෝජක සංසදයක් අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
“අතීතයේ ඉඳන් ගත්තොත් කිසිම අයවැයක් මගින් ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කළ මුදල් සම්පූර්ණයෙන්ම වියදම් කරලා නැහැ. 2023 දී සහ 2024 එය සියයට 23ක් සහ සියයට 25ක් වුණා. එහෙත් 2025 දී එය සියයට 76ක් දක්වා ඉහළ නංවන්න අපිට හැකි වුණා. මෙතැනදී එම වියදම් කිරීම් අඩුවීමට විවිධ හේතු බලපානවා. ඒ අතරින් නිලධාරීවාදය ප්‍රධානයි. ඒ වගේම දේශීය මෙන්ම ජාත්‍යන්තර ප්‍රසම්පාදන සඳහා වන අනුකූලතා දක්වන්නට අපිට සිදු වීමත් බලපානවා. ජාත්‍යන්තර ලංසු කැඳවන්නන් සමගින් වන ලංසු කැඳවීමේ කටයුතු සඳහා කාලයක් ගත වෙනවා.”
එසේම ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් කැඳවීමට පෙර සිදු කළ යුතු තාක්ෂණික විශ්ලේෂණ ඇතුළු ක්‍රියාකාරකම් සඳහා වන තාක්ෂණික සම්පත් සතු ගැටලු කිහිපයක්ද මේ සම්බන්ධයෙන් පවතින බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
“රජයේ මේ ප්‍රාග්ධන වියදම් යටතේ වන භාණ්ඩ සහ උපකරණ මිලදී ගැනීම් දැන් ඉතාමත් වේගයෙන් අන්තර්ජාලය හරහා සිදු වෙනවා. එහෙත් මාර්ග, පාලම්, රජයේ ගොඩනැගිලි ඇතුළු විශාල ඉදිකිරීම්වලදී එම වියදම් කිරීම් සිදු වෙන්නේ මන්දගාමීවයි. එහෙත් අපි උත්සාහ කරනවා මේ ගැටලු නිරාකරණය කරන්න.’’
ඒ අනුව මේ සම්බන්ධයෙන් අතිරේක මුලපිරීම් කිහිපයක් ගෙන තිබෙන බවත්, ඒවා ඉදිරි අයවැයට එකතු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. එසේම මෙම ප්‍රසම්පාදන ගැටලු පිළිබඳව දැනටමත් ජාතික ප්‍රසම්පාදන කමිටුව සමගින් සාකච්ඡා කරමින් සිටින බවත් ඒ මහතා පැවසීය.
මේ අතර ඉදිරි අයවැය හරහා වසර 2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක් ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කර ඇතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය.
එහිදී මෙම මුදල් වියදම් කළ හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවත් පැවසූ ඒ මහතා, හඳුනාගත් අංශ පෞද්ගලිකකරණය හරහා පෞද්ගලික ආයෝජන වෙත පහසුකම් සැලසීමට අදහස් කරගෙන සිටින බව සඳහන් කළේය. ඒ යටතේ සැපයුම් සේවා වෙත වැඩි මුදලක් යෙදවීම අපේක්ෂාව බවත් මෙහිදී අනාවරණ විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd