• මෙම මුලපිරීමේ සැලැස්ම හා සම්බන්ධ වූ පළමු දකුණු ආසියානු රට ශ්‍රී ලංකාවයි
  • 2030 දී ගොවීන් 900,000 කට මූල්‍ය, තාක්ෂණය සහ වෙළෙඳපොළ ප්‍රවේශය ලබාදීම අරමුණයි
  • ලෝක බැංකුවෙන් ඩො.මි. 550 ක සහ IFAD  වෙතින් ඩො.මි. 115 ක දායකත්වයක් 

මෙරට කෘෂි ආහාර ක්ෂේත්‍රය පරිවර්තනය, රැකියා උත්පාදනය සහ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා රජය, ලෝක බැංකු සමූහය සහ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදල (IFAD) සමගින් එක්ව පසුගියදා ශ්‍රී ලංකා ඇග්‍රිකනෙක්ට් ඒකාබද්ධ ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම (Sri Lanka AgriConnect Joint Implementation Plan) නිල වශයෙන් දියත් කෙරිණි.

ඒ අනුව ලෝක බැංකුවේ මෙම ඇග්‍රිකනෙක්ට් හි නිල වශයෙන් සම්බන්ධ වූ පළමු දකුණු ආසියානු රට බවටද ශ්‍රී ලංකාව පත්ව තිබේ. 
විශේෂයෙන්ම අද වනවිට ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් අවම වශයෙන් සියයට 15ක් සඳහා සහ භාණ්ඩ අපනයනයෙන් සියයට 30ක් සහ රැකියා තුනකින් එකක් සඳහා දායකත්වය සපයනු ලබන්නේ මෙම කෘෂිකර්මාන්තය සහ ආහාර සැකසුම් ක්ෂේත්‍රය ලෙස හඳුනාගෙන තිබේ.

එසේම රජයේ සංවර්ධන න්‍යාය පත්‍රය සහ 2026-2030 රාජ්‍ය ආයෝජන වැඩසටහන මෙන්ම ලෝක බැංකු සමූහයේ රාජ්‍ය හවුල්කාරීත්ව රාමුව සමග මෙම සැලැස්ම සමපාත වන බව පැවසෙයි.

මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ අගමැතිනී හරිනි අමරසූරිය මහත්මිය අදහස් දක්වමින්, “මෙම ඇග්‍රිකනෙක්ට් ඒකාබද්ධ ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම අපගේ රාජ්‍ය ආයෝජන වැඩසටහන යටතේ රජයේ ක්‍රියාමාර්ග ඍජුවම වේගවත් කිරීමට හේතු වනු ඇති අතර, ගොවීන් මූල්‍ය, තාක්ෂණය සහ වෙළෙඳ පොළ සමග සම්බන්ධ කිරිමට උදව් කරාවි’’ යනුවෙන් පැවසුවාය.

මෙම මුලපිරීම මගින් 2030 වන විට ගොවීන් 900,000 කට කෘෂිකාර්මික වටිනාකම් දාමයන් වෙත වඩා හොඳ ප්‍රවේශයක් ලබාගැනීමට උපකාරී වනු ඇතැයි සඳහන් වෙයි. මේ සඳහා ලෝක බැංකු සමූහයේ ආයෝජනවලින් ඩොලර් මිලියන 550 ක් සහ IFAD  වෙතින් ඩොලර් මිලියන 115 ක් ලෙස දායකත්වයක් දක්වයි. 

එසේම ඉදිරි වසර පහ තුළ ඩොලර් මිලියන 170ක් දක්වා පෞද්ගලික ප්‍රාග්ධනය ශක්තිමත් කිරිම සඳහාද මෙම ආයෝජන සහාය දක්වන බව පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC) ආසියා සහ පැසිෆික් කලාපීය උප සභාපති සර්වේෂ් සූරි මහතා අදහස් දක්වමින්, “ශ්‍රී ලංකාව සතුව ගෝලීය වශයෙන් තරගකාරී කෘෂිකාර්මික නිෂ්පාදන සහ ශක්තිමත් ව්‍යවසායකත්ව හැකියාවක් පවතිනවා. දැන් ප්‍රමුඛතාව විය යුත්තේ ගොවීන්ට සහ කෘෂි ව්‍යාපාරවලට ඔවුන්ගේ ව්‍යාපාර පුළුල් කිරීමට අවශ්‍ය මූල්‍ය, තාක්ෂණය සහ වෙළෙඳපොළ සමග සම්බන්ධ කිරීමයි’’ යනුවෙන් සඳහන් කළේය.

මෙම ඇග්‍රිකනෙක්ට් හරහා කෘෂිකාර්මික මූල්‍ය, ඩිජිටල් කෘෂිකර්මාන්තය සහ කෘෂි තාක්ෂණය සමග ශීතාගාර දාම, සම්බන්ධතාවය, දේශගුණයට ඔරොත්තු දෙන වාරිමාර්ග, කුසලතා සහ පර්‌යේෂණ ක්ෂේත්‍ර ප්‍රවර්ධනය කිරීමටද කටයුතු කරනු ඇතැයි පැවසෙයි.