• වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම වසරින් වසර සියයට 21.3 කින් ඉහළ ගිහින්
  • වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම් වර්ධනය වසරින් වසර සියයට 5.3ක් පමණයි
  • වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 7,912ක් දක්වා කැපී පෙනෙන ලෙස ඉහළට
  • සැප්තැම්බර් මාසයේදී ඩොලර් ජංගම ගිණුමේ මිලියන 128 ක හිඟයක්

වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මුල් මාස 09 ක කාලය තුළදී මෙරට ජංගම ගිණුමේ එක්සත් ජනපද ඩොලර් මිලියන 420 ක හිඟයක් සටහන් වන බව වාර්තා වෙයි. ඒ අනුව මෙය 2025 වසරේ එම කාලසීමාවේදී පැවැති ඩොලර් මිලියන 1,853ක අතිරික්තයට සාපේක්ෂව කැපී පෙනෙන අවස්ථාවක් ලෙස සටහන්ව තිබේ.

විශේෂයෙන්ම ගත වූ කාලසීමාවේදී මෙරට වෙත ලැබුණු අපනයන ආදායමට වඩා දරන්නට සිදු වූ ආනයන වියදම් ඉහළ යෑම මෙම තත්වය සඳහා මූලිකවම හේතුව වී තිබේ. එසේම ප්‍රේෂණ ආදායම් ඉහළ ගියද, සංචාරක ආදායම් සහ තොරතුරු තාක්ෂණ/ව්‍යාපාර ක්‍රියාවලි සේවා ආදායම් පහත වැටීමත් මේ සඳහා බලපා තිබේ.

එහිදී වසරේ මුල් මාස නවයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 18,666ක් ලෙස සටහන් වන අතර, එය 2025 වසරේ වාර්තා වූ ඩොලර් මිලියන 15‍,390 ට සාපේක්ෂව සියයට 21.3 ක වර්ධනයකි. කෙසේ වෙතත් වසරේ මෙම කාලසීමාවේදී සමස්ත අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 10,754ක් වන අතර, එය 2025 එම කාලසීමාවේදී වාර්තා කළ ඩොලර් මිලියන 10,215 ට සාපේක්ෂව ඉහළ ගොස් ඇත්තේ සියයට 5.3 ක ප්‍රතිශතයක් පමණකි.

“මේ තත්වයත් සමගින්ම 2025 වසරේ මුල් මාස නවයේදී පැවැති ඩොලර් මිලියන 5,174ක වෙළෙඳ හිඟය 2026 වසරේ එම කාලසීමාවේදී ඩොලර් මිලියන 7,912ක් දක්වා කැපී පෙනෙන ඉහළ යාමක් පෙන්වා තිබෙනවා“ මහ බැංකුව පවසයි.

මේ අතර වසරේ මුල් මාස නවයේදී සංචාරක ඉපැයීම්ද ඩොලර් මිලියන 2,245 ක් ලෙස සටහන් වන අතර, එය 2025 වසරේ එම කාලසීමාවේදී ලැබුණු ඩොලර් මිලියන 2,473 ට සාපේක්ෂව සියයට 9.2 ක අඩුවීමක් වී තිබේ. එසේම පරිගණක සහ තොරතුරු තාක්ෂණ/ව්‍යාපාර ක්‍රියාවලි (IT/BPO)  හරහා ලැබුණු සේවා ආදායම් ඩොලර් මිලියන 621 ක සිට 525ක් දක්වා සියයට 15.5 කින් අඩුවීමත් සමගින් සේවා ගිණුමේ ලැබීම් මේ වසරේ මුල් මාස නවයේදී ඩොලර් මිලියන 5,257ක් දක්වා වසරින් වසර සියයට 0.6 ක අඩුවිමක් සටහන්ව ඇත.

මීට අමතරව වසරේ මුල් මාස නවයේදී සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් ඩොලර් මිලියන 5,812ක සිට ඩොලර් මිලියන 6,865ක් දක්වා වසරින් වසර සියයට 18.1ක වර්ධනයක් පෙන්වා තිබේ.

මේ අතර මාස හතරකට පසුව එනම් 2026 අගෝස්තු මාසයේදී විදේශ ජංගම ගිණුමේ වාර්තා වූ ඩොලර් මිලියන 134 ක අතිරික්තයට පසුව සැප්තැම්බරයේදී නැවතත් ඩොලර් මිලියන 128 ක හිඟයක් සටහන්ව තිබෙන බව මහ බැංකුව පවසයි. කෙසේ වෙතත් 2025 සැප්තැම්බර් මාසයේ වාර්තා වූ ඩොලර් මිලියන 194 ක හිඟයට සාපේක්ෂව මෙය අඩු අගයකි.

මේ අතර 2026 වසරේ අප්‍රේල් මාසයේ සිට ජූලි දක්වා පිළිවෙලින් ඩොලර් මිලියන 572ක්, 222ක්, 193ක් සහ 143ක් ලෙස මෙම විදේශ ජංගම ගිණුම් හිඟ වාර්තා විය. 

එහිදී මූලිකවම පෙබරවාරි මාසය අගදී ඇති වූ මැදපෙරදිග යුද ගැටුම් නිසා ඇති වූ තත්වය බලපා තිබේ. විශේෂයෙන්ම සැපයුම් සේවා වෙත එල්ල වූ බලපෑම් නිසා ආනයන වියදම් ඉහළ යෑම මෙන්ම ඩොලරයට සාපේක්ෂව රුපියලේ අවප්‍රමාණයත් මේ සඳහා හේතු විය. 
2026 වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ මෙම විදේශ ජංගමේ ගිණුම තුළ පිළිවෙළින් ඩොලර් මිලියන 427ක, 212 ක සහ 65ක අතිරික්තයක් වාර්තා විය.