- මෙරට සමස්ත රාජ්ය ණය මෙම වසර අවසානය වනවිට රුපියල් බිලියන 34,438 ක් දක්වා ඉහළට
- ලබන වසර අවසානය වනවිට රජයේ ණය බර ක්රමයෙන් අඩුවන ලකුණු
- රජයේ ණය වැඩිවන වේගයට වඩා ආර්ථිකයේ මුළු වටිනාකම වැඩිවන බවටත් පුරෝකථනයක්
විමුක්ති එස් රුද්රිගු
ශ්රී ලංකා රජය දේශීය සහ විදේශීය ණය හිමියන්ට ගෙවීමට ඇති සමස්ත ණය ප්රමාණය ඉදිරි වසර දෙක තුළ රුපියල් බිලියන 4,480 කින් ඉහළ යනු ඇතැයි ජාත්යන්තර මූල්ය අරමුදල සිය නවතම දත්ත වාර්තාව මගින් පුරෝකථනය කර ඇත.
පසුගිය වසර අවසානයේ රුපියල් බිලියන 31,702.57 ක්වූ මෙරට සමස්ත රාජ්ය ණය ප්රමාණය මෙම වසර අවසානය වනවිට රුපියල් බිලියන 34,438 ක් දක්වා ඉහළ යනු ඇති බවත් එය ලබන වසර අවසානය වනවිට රුපියල් බිලියන 36,181.51ක් දක්වා ඉහළ යනු ඇති බවත් එම වාර්තාව පෙන්වා දෙයි. කෙසේ වෙතත් ලබන වසර අවසානය වනවිට රජයේ සමස්ත ණය රුපියල් බිලියන 4,480 කින් ඉහළ ගියත් රටේ ආර්ථිකයේ ප්රමාණයට සාපේක්ෂව පවතින ණය බර ක්රමයෙන් අඩුවනු ඇතැයිද ජාත්යන්තර මූල්ය අරමුදල පුරෝකථනය කර ඇත.
ඒ අනුව පසුගිය වසර අවසාන වනවිට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 96.80ක්වූ රජයේ සමස්ත ණය ප්රමාණය මෙම වසර අවසානයේ සියයට 95.23 දක්වාත් ලබන වසර අවසාන වනවිට සියයට 91.82 දක්වාත් පහළ යනු ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ. මින් අදහස් වන්නේ රජයේ ණය ප්රමාණය වැඩිවන වේගයට වඩා රටේ ආර්ථිකයේ මුළු වටිනාකම වැඩිවන බවට පුරෝකථනය කරන බවය.
සරලව පැහැදිලි කළහොත් පුද්ගලයකුගේ ණය ප්රමාණය රුපියල් ලක්ෂ දහයේ සිට ලක්ෂ දොළහ දක්වා වැඩිවුවද ඔහුගේ ආදායම ඊට වඩා වේගයෙන් ඉහළ ගියහොත් ආදායමට සාපේක්ෂව පවතින ණය බර අඩුවිය හැකිය. ශ්රී ලංකාවේ රජයේ ණය සම්බන්ධයෙන්ද ජාත්යන්තර මූල්ය අරමුදලේ පුරෝකථනවලින් පෙන්වා දෙන්නේ එවැනි තත්වයකි.
මේ අතර පසුගිය වසරේ සියයට 5ක්වූ මෙරට ආර්ථික වර්ධන වේගය මෙම වසර අවසානය වන විට සියයට 4ක් දක්වා පහළ යනු ඇති බවත් ලබන වසර අවසාන වනවිට මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 3.7ක් දක්වා පහළ යනු ඇති බවත් ජාත්යන්තර මූල්ය අරමුදල පුරෝකථනය කර ඇත. කෙසේ නමුත් මින් අදහස් වන්නේ රටේ ආර්ථිකය හැකිළෙන බව නොව වර්ධනය සිදුවන වේගය මන්දගාමී වන බවය.
මෙරට සමස්ත ආර්ථිකයේ වටිනාකමින් එසේත් නැතිනම් දළ දේශීය නිෂ්පාදිතයේ ප්රතිශතයක් ලෙස සියයට 16.75ක රජයේ ආදායම මෙම වසර අවසානයේදී සියයට 15.94 දක්වාත්, ලබන වසර අවසානයේදී සියයට 15.54දක්වාත් පහළ යනු ඇතැයි එම දත්ත වාර්තාව පුරෝකථනය කර ඇත. කෙසේ නමුත් රුපියල් වශයෙන් ගත්කල පසුගිය වසරේ රුපියල් බිලියන 5,485.55ක්වූ රජයේ ආදායම මෙම වසරේදී රුපියල් බිලියන 5,764.41දක්වාත් ලබන වසර අවසානය වනවිට රුපියල් බිලියන 6,123.88 දක්වාත් ඉහළ යනු ඇතැයි ජාත්යන්තර මූල්ය අරමුදල අපේක්ෂා කරයි.
ඒ අනුව රජයට ලැබෙන ආදායම රුපියල් වශයෙන් වැඩිවුවද රටේ ආර්ථිකය වර්ධනය වන වේගයට සමාන වේගයකින් එම ආදායම වැඩි නොවන බව මෙම සංඛ්යාලේඛනවලින් පැහැදිලි වේ.
පසුගිය වසර අවසානයේදී රුපියල බිලියන 6,230.42 ක්වූ රජයේ වියදම, මෙම වසර අවසානය වනවිට රුපියල් බිලියන 7,287.10 දක්වාත්, ලබන වසර අවසානය වනවිට රුපියල් බිලියන 7,414.69 දක්වාත් ඉහළ යනු ඇතැයි එන දත්ත වාර්තාව පෙන්වා දෙයි. ජාත්යන්තර මූල්ය අරමුදලේ පුරෝකථනය අනුව මෙම වසර අවසන් වනවිට රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 5,764.41ක් වන අතර වියදම රුපියල් බිලියන 7,287.10ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඒ අනුව මෙම වසරේ රජයේ ආදායම සහ වියදම අතර පරතරය එසේත් නැතිනම් අයවැය හිඟය රුපියල් බිලියන 1,522.69ක් පමණ වනු ඇතැයි පුරෝකථනය කර තිබේ.
මෙරට අයවැය හිඟය පසුගිය වසර අවසානය වනවිට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.27 ක්වූ අතර එය මෙම වසර අවසානය වනවිට සියයට 4.21ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පසුගිය වසර අවසානයේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.72ක අතිරික්තයක් වාර්තා කළ මෙරට ජංගම ගිණුම මෙම වසර අවසානයේදී ඩොලර් මිලියන 580 ක සහ ලබන වසර අවසානයේදී ඩොලර් මිලියන 302 ක හිඟයක් වාර්තා කරනු ඇතැයි එම වාර්තාව පෙන්වා දෙයි.
ජාත්යන්තර මූල්ය අරමුදලේ පුරෝකථන අනුව ශ්රී ලංකාවේ භාණ්ඩ අපනයන ප්රමාණය මෙම වසරේදී සියයට 1.01කින් අඩුවනු ඇති බවත් නැවතත් ලබන වසරේ අවසානයේ සියයට 2.76 කින් වර්ධනය වනු ඇති බවත් අපේක්ෂා කෙරේ. පසුගිය වසරේදී එය සියයට 5.88කින් වර්ධනය වී තිබිණි.
මේ අතර මෙරට සමස්ත ආයෝජන රටේ ආර්ථිකයේ ප්රමාණයට සාපේක්ෂව එසේත් නැතිනම් දළ දේශීය නිෂ්පාදිතයේ ප්රතිශතයක් ලෙස ඉදිරි වසර දෙක තුළ පහළ යනු ඇතැයිද ජාත්යන්තර මූල්ය අරමුදල පුරෝකථනය කර ඇත.
ඒ අනුව 2025 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 29.65කට සමාන වූ මෙරට දළ ප්රාග්ධන සම්පාදනය මෙම වසරේදී සියයට 27.89 දක්වාත් ලබන වසරේදී සියයට 24.30 දක්වාත් පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව වසර දෙකකදී රටේ ආර්ථිකයට සාපේක්ෂව සමස්ත ආයෝජන අනුපාතය ප්රතිශතාංක 5.35කින් පහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබේ.
මේ අතර රජයේ ණය පොලී ගෙවීම් හැර අනෙකුත් ආදායම් හා වියදම් අතර වෙනස පෙන්වන ප්රාථමික අයවැය අතිරික්තය 2025 වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.36ක් වූ අතර මෙම වසරේදී සියයට 2.28 දක්වා පහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබේ.
එසේ වුවද 2027 වසරේදී එය සියයට 2.60 දක්වා යළි ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙයින් පෙන්වා දෙන්නේ ණය පොලී ගෙවීම් හැර අනෙකුත් වියදම් පියවා ගැනීමට ප්රමාණවත් ආදායමක් රජයට ලැබෙනු ඇතැයි අපේක්ෂා කළද ණය පොලී ඇතුළු සමස්ත වියදම් සලකා බැලීමේදී අයවැය හිඟයක් තවදුරටත් පවතින බවය.
මෙම වසර අවසානයේ මෙරට උද්ධමනය සියයට 6.51ක් වනු ඇති බවත් එය ලබන වසර අවසානයේදී සියයට 5 දක්වා පහළ යනු බවත් ජාත්යන්තර මූල්ය අරමුදලේ එම දත්ත වාර්තාව පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd