නිමල කොඩිතුවක්කු 


සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීම සඳහා වන ණය යෝජනා ක්‍රමය (Re-MSME Plus) යටතේ අතිරේක මුල්‍ය ප්‍රතිපාදන සලසා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීම සඳහා වන ණය යෝජනා ක්‍රමය (Re-MSME), ක්‍රියාත්මකව පැවති තෝරාගත් තවත් ණය වැඩසටහන් කිහිපයක් ද ඒකාබද්ධ කරමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීම සඳහා වන ණය යෝජනා ක්‍රමය (Re-MSME Plus) මෙම වර්ෂයේදී ක්‍රියාත්මක කරනු ලැබ ඇත.

දිට්වා ආපදා තත්වයෙන් පීඩාවට පත් ව්‍යාපාර නගා සිටුවීම පිණිස 2026 අගෝස්තු මාසය අවසන් වන විට රුපියල් මිලියන 4,276.50කට අදාළ ව්‍යාපෘති සඳහා සහ අනෙකුත් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වෙනුවෙන් රුපියල් මිලියන 25,926.84කට අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබා දී තිබේ.

Re-MSME Plus ණය යෝජනා ක්‍රමය සඳහා රුපියල් මිලියන 30,000ක ප්‍රතිපාදන සලසා දී තිබූ අතර, මේ වන විට එම සමස්තමුදල සහභාගිත්ව මූල්‍ය ආයතන විසින් උපයෝජනය කරනු ලැබ ඇත. සහභාගිත්ව මූල්‍ය ආයතන විසින් අභ්‍යන්තර ඇගයීම් ක්‍රියාවලිය අවසන් කර, ණය අනුමැතින් ලබා ගෙන, ණය මුදා හැරීමට සුදානම් තත්වයේ පවතින ව්‍යාපෘතිවලට අදාළව තව දුරටත් රුපියල් මිලියන 7,500ක පමණ ප්‍රතිපාදන අවශ්‍යතාවක් පවතින බව වාර්තා කර තිබේ. 

ඒ අනුව, එකී ණය යෝජනා ක්‍රමය යටතේ තවදුරටත් ණය මුදල් ලබා දීමට හැකි වන පරිදි රුපියල් මිලියන 7,500ක අතිරේක ප්‍රතිපාදන සලසා දීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.