- විදුලියෙන් ක්රියාත්මක වාණිජ මෝටර් රථ අඩු මිලට ලබාදීමට හැකි නම් සැබෑ වෙනසක් සිදුවනු ඇති
|
ඉන්ද්රා ට්රේඩර්ස් කළමනාකාර අධ්යක්ෂ රුෂන්ක සිල්වා |
රට තුළ පරිසර හිතකාමී පොදු ප්රවාහනයක් ක්රියාත්මක වීමට නම් විදුලියෙන් ක්රියාත්මක බස් රථ ඇතුළත් වාණිජ මෝටර් රථ සඳහා දැනට පවතින බදු පිළිබඳව නැවත සිතා බැලිය යුතුව ඇතැයි ඉන්ද්රා ට්රේඩර්ස් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්යක්ෂ රුෂන්ක සිල්වා මහතා පවසයි.
ඒ අනුව සිදුවිය යුතුව ඇත්තේ දැනට විදුලියෙන් ක්රියාත්මක කාර් රථ සඳහා ලබා දී ඇති බදු සහනය වැනි අවස්ථාවක් විදුලියෙන්ද ක්රියාත්මක වාණිජ මෝටර් රථ සඳහාද ලබාදී ඒ සම්බන්ධයෙන් පවතින උනන්දුව තවදුරටත් ඉහළ දැමීම බවත් ඒ මහතා සඳහන් කරයි.
මෙට්රෝ බස් සේවාව සඳහා FOTON බස් ආනයනය කරන සමාගම ලෙස ඉන්ද්රා ට්රේඩර්ස් පෞද්ගලික සමාගම පසුගියදා එම බස් රථ අලුත්වැඩියාව සහ නඩත්තුව සඳහා ජා-ඇළදී පිහිට වූ පරිශ්රය විවෘත කිරීමේ අවස්ථාවේදී ‘ලංකාදීප FT’ වෙත අදහස් දක්වමින් සිල්වා මහතා මෙම කරුණු සඳහන් කළේය.
මෙට්රෝ බස් සමාගම වෙත ආනයනය කළ බස් රථ 104ත් සමගින් මේ වනවිට එම සමාගම මෙරට වෙත FOTON බස් රථ 200ක් පමණ ආනයනය කර තිබේ.
“මේ ආනයනය කරන සියලුම බස් රථ ඉන්ධන දහනයෙන් ධාවනය කෙරෙන ඒවා. එහෙත් FOTON සමාගම විදුලියෙන් ක්රියාත්මක බස් රථ නිපදවීමටත් ප්රසිද්ධයි. ලංකාවට එවැනි බස් රථ ආනයනය කිරීමේ ගැටලුව වෙන්නේ විදුලියෙන් ක්රියාත්මක වාණිජ මෝටර් රථ සම්බන්ධ ඉහළ බද්දයි.”
මේ අතර විදුලියෙන් ක්රියාත්මක මෝටර් රථවල ප්රධානම උපාංගය බැටරිය බවත්, අද වනවිට චීනයේ නිපදවන එවැනි බැටරි සඳහා වසර 10ක පමණ වගකීමක් හිමි වන බවත් ඒ මහතා සඳහන් කළේය.
විශේෂයෙන්ම වාණිජ මෝටර් රථයක් මිලදී ගන්නා අයෙකු මුල් වසර පහ තුළ සිය වියදම ආවරණය කරගැනීමට උත්සාහ කරන බවත්, ඒ අනුව අඩු මිලට විදුලියෙන් ක්රියාත්මක වාණිජ මෝටර් රථ ලබාදීමට හැකි නම් සැබෑ වෙනසක් සිදුවනු ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.
“සාමාන්යයෙන් පෙට්රල් වාහනයකටත් වඩා අඩු බද්දක් තමයි විදුලියෙන් ක්රියාත්මක පාරිභෝගික මෝටර් රථ සඳහා පවතින්නේ. ඉදිරි අයවැයට අපි මේ සම්බන්ධයෙන් යෝජනා කරලා තියෙන්නේ. අපි බලාගෙන ඉන්නවා වෙනසක් වේවි කියලා.” ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd