ව්‍යාපාරික ගුණාත්මක බව හා ලාභදායීත්වයෙන් අලෙවි විශිෂ්ටත්වය විදහා දැක්වූ ලාංකික සහ වියට්නාම GIPA සම්මානලාභීන් ඇගයීමට ලක් කෙරේ


 ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ් (SLIC General) සහ වියට්නාමයේ  PVI ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ආයතනය එක්ව, ‘2026 General Insurance Pinnacle Award - GIPA’ සම්මාන උළෙල උත්කර්ෂවත් ලෙස පවත්වමින්, සාමාන්‍ය රක්ෂණ අලෙවිකරණ ක්ෂේත්‍රයේ කැපීපෙනෙන දක්ෂතා දැක්වූ දෙපාර්ශ්වයේම විශිෂ්ටයන් ඇගයීමට ලක් කළේය.

3 වැනි GIPA සම්මාන ප්‍රදානෝත්සවය වියට්නාමයේ හැනෝයි නගරයේ පිහිටි PVI ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ආයතනයේ ප්‍රධාන කාර්යාලය වන PVI Tower හි 20 වැනි මහලේදී 2026 ඔක්තෝබර් මස 09 වැනි දින උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. SLIC General ආයතනය නියෝජනය කරමින් ශ්‍රී ලාංකික GIPA සම්මානලාභීන් 40 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර, PVI ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ආයතනයේ සම්මානලාභීන්, ඔවුන්ගේ අධීක්ෂකවරුන් මෙන්ම PVI ඉන්ෂුවරන්ස් කෝපරේෂන් සහ Hanoi-Re ආයතනවල ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව කණ්ඩායම් ද මෙම අවස්ථාවට එක් වූහ. 100කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති 2026 GIPA සම්මාන උළෙල, විශිෂ්ටත්වය, අන්‍යෝන්‍ය සුහදත්වය සහ ජාත්‍යන්තර සහයෝගීතාව අගයමින් සැමරුණු, මතකයේ රැඳෙන සුවිශේෂී අවස්ථාවක් විය.

වියට්නාමයේ සාමාන්‍ය (ජීවිත නොවන) රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන PVI ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ආයතනය, මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ උපායමාර්ගික සත්කාරක හවුල්කරු ලෙස සිය දායකත්වය ලබා දෙන ලදී. PVI ඉන්ෂුවරන්ස් කෝපරේෂන් හි සභාපති මෙන්ම PVI Holdings හි උප සභාපති Dúóng Thanh Danh මහතාගේ දැක්ම හා මගපෙන්වීම යටතේ, එහි ප්‍රධාන විධායක නිලධාරී Pham Anh Đúc මහතා සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී Le Hong Linh මහත්මියගේ නායකත්වයෙන් යුත් PVI හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව කණ්ඩායම, GIPA සංකල්පය තවදුරටත් ප්‍රවර්ධනය කරමින් ඉදිරියට ගෙන යාම සඳහා SLIC General සමග එක්ව කටයුතු කරන ලදී. එමෙන්ම, PVI සමූහයට අයත් සමාගමක් වන Hanoi Re හි කළමනාකාරීත්ව කණ්ඩායම ද මෙම සම්මාන උළෙලට සහභාගී වූ අතර එම ආයතනය නියෝජනය කරමින් සම්මාන දිනාගත් ජයග්‍රාහකයෝ ද වූහ.

SLIC General හා PVI ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ආයතනයේ විශිෂ්ටතම දක්ෂතා දැක්වූවන් ඇගයීමට ලක් කරමින්, සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තීය දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම, කර්මාන්තයේ නියැළී සිටින පාර්ශ්ව අතර සබඳතා ශක්තිමත් කිරීමට මෙන්ම අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා මෙම අවස්ථාව මනා පිටුවහලක් විය.

ක්ෂේත්‍රයේ මෙම ප්‍රමුඛ සමාගම් දෙක එක්ව සිය සහයෝගීතාවෙන් අලෙවි ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය උදෙසා නව යුගයක ආරම්භය සනිටුහන් කරමින්, අලෙවි කාර්යසාධන විශිෂ්ටතා ඇගයීමට ලක් කෙරිණි. ව්‍යාපාරයක සාර්ථකත්වය මැන බැලීමේ එකම නිර්ණායකය තවදුරටත් සමස්ත අලෙවි පරිමාව නොවන බව මෙම සහයෝගීතාවෙන් අවධාරණය කෙරිණි. හුදෙක් විකුණුම් පරිමාවට එහා යමින්, දිගුකාලීන සාධනීයත්වය, ස්ථාවර වූ මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ ශක්තිමත් ආයතනික ලාභදායීත්වය දෙසට අවධානය යොමු කරවන උපායමාර්ගික ව්‍යාපාරික ඇගයීමක් ලෙස GIPA සම්මානය මෙහිදී කැපී පෙනේ.

ව්‍යාපාරික වර්ධනය, පාරිභෝගික රඳවා තබාගැනීම සහ මූල්‍යමය ශක්තිමත්භාවය යන අංශ තුන කෙරෙහිම සමානව අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් GIPA සම්මාන උළෙල, සාම්ප්‍රදායික අලෙවි ඉලක්ක හඹා යාමේ ප්‍රවේශය වෙනුවට, තිරසාර වර්ධනය සහ දිගුකාලීන ව්‍යාපාරික සාර්ථකත්වය අරමුණු කරගත් උපායමාර්ගික ප්‍රවේශයක් කරා යොමුවීමට මග සලසන ප්‍රමුඛ දිරිගැන්වීමේ වේදිකාවක් ලෙස කටයුතු කරයි. අවසාන වශයෙන්, මෙය පෞද්ගලික ජයග්‍රහණ ඇගයීමේ සීමාවෙන් ඔබ්බට ගොස්, කලාපීය රක්ෂණ කර්මාන්තයේ විශිෂ්ටතා ප්‍රමිති ඉහළ නැංවීමට දායකත්වය ලබා දෙන අතර, වෘත්තීය අලෙවි විශිෂ්ටත්වය මැනිය යුත්තේ ව්‍යාපාරයට සැබෑ ලෙසම එක් කරන වටිනාකම සහ උත්පාදනය කරන ලාභදායීත්වය මත බවට මෙම සම්මාන උළෙල තුළින් තහවුරු කළේය.

හැනෝයි නුවරදී පැවැති GIPA සමුළුවේ තෙවැනි අදියර, J B Boda & Reinsurance Brokers Lanka සහ සිංගප්පූරුවේ JB Boda & Co හි කළමනාකාර අධ්‍යක්ෂිකා හා ප්‍රධාන විධායක නිලධාරිනී, චම්පා මෙල්ලව මහත්මියගේ සහභාගීත්වයෙන් සහ ඉන්දුනීසියාවේ සහ සිංගප්පූරුවේ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්ගේ නොමඳ සහයෝගය හා අනුමැතිය ඇතිව සාර්ථකව පැවැත්විණි. 

කලාපීය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ සුවිශේෂී පියවරක් ලෙස, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (Insurance Regulatory Commission of Sri Lanka - IRCSL) මැදිහත් වෙමින් මෙම සමුළුවට සහභාගී වූ වියට්නාම රක්ෂණ නියාමන අධිකාරිය වෙත GIPA සංකල්පය නිල වශයෙන් හඳුන්වා දීමට පියවර ගන්නා ලදී. 2023 වසරේදී ආරම්භ කරන ලද GIPA වැඩසටහන, රක්ෂණ ක්ෂේත්‍රයේ තිරසර විශිෂ්ටත්වය සහ ව්‍යාපාරික ගුණාත්මකභාවය ඇගයීමට ලක් කිරීම අරමුණු කර ගනිමින්, සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටතම අලෙවි කාර්යසාධනයක් අත්කර ගනු ලබන වෘත්තිකයන් උදෙසා පිරිනමනු ලබන ජාත්‍යන්තර ඇගයීම් වැඩසටහනකි.