කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත



හදිසියේ ආ නින්ද නිසා රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා ඉස්තරම්ම වර්ගයේ ජංගම දුරකතනයකට සිදුවූ අලි අබැද්දියක් පිළිබඳ කතාවක් ගාලු‍ දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.
ඊශ්‍රායල් රටේ සේවය කර මෙරටට ඊයේ පෙරේදා ආ ගැටයෙකි. ඒ රටේදී ලැබුණු හොඳ වැටුප නිසා ඔහුගේ අතමිටද සරුවි තිබිණ. ඒ නිසාම ඔහු රුපියල් ලක්ෂ තුනක් වටිනා ඉස්තරම්ම වර්ගයේ ජංගම දුරකතනයක් මිලට ගත්තේය. ඒ ලංකාවට ආ සැණින්‍ ය.
අලු‍ත් ජංගම දුරකතනයේ ඇති අලු‍ත් වැඩවලට මේ ගැටයා බොහෝම ආශා කළේය. මේ නිසාම ඔහු ඉඩක් ලද විට සිටියේ මේ අලු‍ත් ජංගම දුරකතනයේය. එය ඔබ ඔබාය. ඔහුට එයින් තොර ලෝකයක් නැතිවා සේය. කෑවේ බිව්වේද, නින්දට ගියේද මේ ජංගම දුරකතනය සමගය. එයට සම්බන්ධ වෙමිනි.


 එදා රෑ ද ඔහු ඉස්මුර්තා වනතෙක්ම ආහාර ගෙන ඇඳට ගියේ මේ පෝන් එකත් එක්කය. ඇඳට ගියද ඔහු එය එබුවේය. එක එක දේවල් බැලු‍වේය. ඒ සමගම ඔහු කැඳවාගෙන යාමට නිදි දෙව් දුව ආවාය. ඔහු ඇයත් සමග යාමට ඔන්න මෙන්න කියා තිබියදී පාවිච්චි කරමින් සිටි පෝන් එක ඇඳ පා මුල තිබ්බේය. ඒ නැගිට එය ආරක්ෂිත ස්ථානයකට තියන්න තරම්වත් ඉඩක් නිදිදෙව් දුව ලබා නොදීම නිසාය.
සිය වටිනා ජංගම දුරකතනය ඇඳේ තබාගෙන නින්දට ගියහොත් පෙරළි පෙරළී නිදා ගන්නා තමාගේ සිරුරට එය යටවී යාමේ ප්‍රවණතාවය වැඩිවි යනු ඇතැයි ඔහු සිතුවේය. එබැවින් ෆෝන් එකේ ආරක්ෂාවට ඔහු තෝරා ගත්​ෙත් ඇඳ පාමුලය. ඇඳ යටට ඔන්න මෙන්න ටයිල් කර තිබූ බිමය.
ගැටයා දැන් සුබ සිහින දකිමින්ය. රාත්‍රී ආහාරයේදී පානය සඳහා භාවිතා කළ සැර පැණි බීම බෝතලයේ සිරුරට උරා නොගත් තොගය බාහිරයට දැමීම සඳහා නිදි දෙව් දුව ඔහු කීද්දුවාය.
එහෙයින් නිදි මර ගාතේම ඔහු ඒ සඳහා ඇඳෙන් බැසීමට සියලු‍ බර දෙපාවලට දුන්නේය. එක් පාදයකට ඇඳ පාමුල තිබූ දෙයක් හසුවී ජර බරස් ගෑවේය. පස්සෙදී මේ තමා පාගා ඇත්තේ සිය ජංගම දුරකතනය බව දැන ගත් විට එයට සිදුවිය යුතුදේ සිය පාදය කර අවසන්‍්ය.