මත් වතුර පානය කොට වෙරි මතින් නිවසට පැමිණීම ගැන උරණවී අමනාපයෙන් කතා නොකර සිටි සිය මව සහ බිරිය  ඇන්දවූ අයකු පිළිබඳ පුවතක් මිනිපේ මහගොවි ජනපදයේ ගම්මානයකින් වාර්තා විය.
ඔහු පෞද්ගලික ආයතනයක සේවය කරන තිස් හැවිරිදි දෙදරු පියෙකි. විවාහයට පෙර මත් වතුර භාවිතා කළත් විවාහයෙන් පසු මත් වතුරට තිත තැබුවෙකි. මත් වතුරට තිත තබා මේ වන විට වසර පහක පමණ කාලයක් ගත වී තිබේ. 
මෙදින නිවාඩු දිනයක් හෙයින් නගරයට ගොස් පෙරළා නිවස කරා යතුරු පැදියෙන් එන අතරේ ඔහුට අතරමගදී හමුවූයේ කොළඹ ප‍්‍රදේශයේ රැකියාව කර නිවාඩුවට නිවසට පැමිණ සිටි සම වයසේ මිතුරෙකි. 
එම මිතුරා යෝජනා කළේ ගොඩ කාලෙකින් හමු නොවුණ නිසා අපේ ගෙදරට ගොඩවෙලා තේ එකක් බී ටිකක් කතා කර කර ඉඳ යමුයි කියාය. එම යෝජනාවට කැමති වූ ඔහු මිතුරා සමග එම අයගේ නිවස බලා ගියේ සවස 5ට පමණය. නිවසට ගොස් තේ එකක් පානය කර කතා බහේ නිරතව සිටින විට මිතුරාගේ මිතුරකු පැමිණියේ යමක් රැගෙනය. එය මේසේ මත තැබූ විට ඔහු පැවැසුවේ ‘‘“අනේ මචං මම මේකට තිත තබලා ගොඩක් කල්නේ. මට නම් මේවා එපා” කියාය. “කට ගැස්මට හොද දඩමසකුත් තියෙනවා ඔන්න ඔහේ චුට්ටක් ගනිමු.” කියා එම මිතුරන් දෙදෙනාම පෙරැත්තය කළත් ඔහු එම යෝජනාව ප‍්‍රතික්ෂේප කළේය.
යහළුවන් දෙදෙනා ගමේ බඩු තොලගාමින් සිටින විට එම මේසයට ආ කට ගැස්ම අනුභව කරන්නට ඔහුට ද ආරාධනා කළෙන් එයට එකඟ විය. ඉතා රසවත් වූ කට ගැස්ම නිසාත් මිතුරා වීදුරුවට වක්කර අතට දුන් මත් වතුර වීදුරුවද ටිකෙන් ටික හිස් වුණේ ඔහුටත් නොදැනුවත්වය. 
ගෙවී ගියේ පැය තුනක පමණ කාලයකි. නිවසින් ලැබුණු ආහාරය ද ගෙන ඔහු සිය යතුරුපැදියෙන් නිවස බලා ගමන් කළේ ඉතා අපහසුවෙනි. යතුරුපැදිය නිවසේ මිදුලේ නතර වෙනවාත් සමගම ඔහුගේ මුවින් පිටවුයේ මහත් හඬක් නගමින් ඔක්කාරයකි.  මේ හඬ ඇසී එම ස්ථානයට දිව ආ මවත් බිරියත් මේ මොකද අසනීපයක් වත් දැයි විමසා ඔහු අසලට ළංවෙනවාත් සමගම ඔහුගේ ළඟින් ආ දුර්ගන්ධය ඔක්කාරයට හේතුව බව ඔවුන්ට තේරුම් ගැනීමට හැකිවිය.
එම දුර්ගන්ධයත් සමඟ මවගේත් බිරියගේත් මුවින් පිටවූයේ වෙනදා පිට නොවූ වදන් වැලකි. ඔක්කාර හඬ ඇසී පැමිණි අසල්වාසින් දෙදෙනකු ඔහුව නිවස තුළට රැගෙන ගොස් ඇඳුම් උනා දෙහි යුෂ ශරීරයේ ගල්වා යාමට තරම් කාරුණික වී තිබිණි.


පසු දින උදේ මුළුතැන්ගෙයට ගිය විට මවගෙන් සහ  බිරියගෙන් එල්ල වූයේ දැඩි දෝෂාරෝපණයකි. ඒ නැවතත් මත් වතුරට හුරු වූ බවත් පෙරදින සවස පැමිණීම ඉතා අශෝබන බවත් කියමිනි. තොර තෝන්චියක් නොමැතිව දිගටම පැවති දෝෂාරෝපණය නිසා ඔහු වහා හැඳ පැලඳගෙන ආහාරයක් නොගෙනම නිවසින් පිටවූයේ සේවයට යෑම සදහාය. 
සේවයට පැමිණියත් ඔහුට පෙර මෙන් සේවය කිරීමට නොහැකි විය. ඒ පෙරදින සිදුවූ දේත් මවගේ සහ බිරියගේ නොමනාපයත් ඔහු වටා බඹරයක් මෙන් කරකැවෙමින් තිබෙන හෙයිනි. ඉතා අපහසුවෙන් සවස 4.30 පමණ වන තුරු සේවය කර කෙළින්ම ගියේ මිතුරාගේ නිවස කරාය. එහි ගිය ඔහු මිතුරාට සිදුවු දේ පවසා මෙයට උපදෙසක් පැතීය.
“අයියෝ  ඕවා සුළු  දේවල්නේ මහත්තයෝ. දෙන්නකෝ අම්මාගේ දුරකතන අංකය” යැයි කියා මවගේ ජංගම දුරකතන අංකය ලබාගත් මිතුරා ‘‘නැන්දේ පණිවිඩයක් කියන්නයි කතා කළේ. මම අහවලා. ඊයේ හරි වැඩක් වුණානේ. මල්ලියි මමයි අහවලාගේ ගෙදරට ගියා පොඩි වැඩකට. එහේ ගියාට පස්සේ අපි දෙන්නට මිනිහා වත්තේ තිබුණු කුරුම්බා ගහෙන් ගෙඩි දෙකක් කඩාගෙන  ගෙට අරගෙන ගිහිල්ලා කුරුම්බා වතුර වීදුරු දෙකකට දාලා ගෙනත් දුන්නා. අපිත් බිව්වා. හැබැයි බොනකෙට ටිකක් අමුතු රසයක් නම් ආවා. අපි ඒක ගණන් ගත්තේ නැහැ”. යැයි තවත් මොනවා දෝ පවසා ඇත.
ඔහු නිවසට පැමිණියේ වෙනදා මෙන් සවස 6ට පමණය. නිවසට ගොඩවීමටත් පෙර මව ඔහු වෙත ගොස් “අහවලා මට කතා කළා” යැයි කියමින් කතාව සැකවින් පවසා “ආයේ ඔය ගෙවල්වල යනවා නෙවෙයි” යැයි අවවාදයක් ද කර පුතා නිවස තුළට කැන්දාගෙන ගොස් බිරිය සහ මව පෙර මෙන් කතා බහ කරන්නටත් ආහාර පාන දෙන්නටත් කටයුතු කළහ.  
යහළුවාගේ තැනට සුදුසු නුවණ නිසා තමන් බේරුණු බව සිතමින් එදින නින්දට ගොස් පෙරළා පසු දින සේවයට ගියත් සේවා ආයතනයට මෙය රහසක් නොවූයේ මිතුරා එම ආයතනයේ තවත් මිතුරකුට මේ පුවත පවසා තිබුණු හෙයිනි.

 

හසලක  සුනිල් ඒකනායක