රජයේ කන්තෝරුවක අවිවාහක ලිපිකාරිනියක හා හාදවූ වෙනත් ආයතනයක ලිපිකරු මහතකු ගැන ප්‍රසිද්ධ වූයේ සත්කෝරළයෙනි.
මොහු දරුවන්ද ඇති විවාහකයෙකි. වයස නොපෙනෙන කඩවසම් අයෙකි. පෙර සඳහන් කළ ලිපිකාරිනිය රූමත් ළඳකි. ඇය සමග හාද වූ ලිපිකරු මහතා තමා අවිවාහකයකු  බවත් විවාහයට කෙනකු සොයන බවත් පැවසූ අතර ඇයට කැමති බව පැවසීය. ඇයද අවිවාහක නිසා ඔහුට කැමැත්ත දුන්නේ එක සිතින්මය.
මෙසේ අනියම් ඇසුර දිගටම ගෙන යන්නේ බිරියට රහසේය. ඔහුගේ අලුත්ම උඩුකය සේයාරුවක්ද ඇයට දුන්නේය. මේ කිසිවක් නොදන්නා බිරිය ගෙදර වැඩ කරමින් දරුවන් පාසල් යවා සැමියාට ආදරය දක්වන්නට වූයේ තම පණ ලෙසයි.


දිනක් ඇයගේ රාජකාරි වැඩක් සඳහා යන්නට සිදුවූයේ මේ ලිපිකාරිනියගේ කන්තෝරුවටයි. පළමුව පිළිගැනීමේ  නිලධාරී  වෙත ගිය ඇය යොමු කළේ අපේ ලිපිකරු නෝනා වෙතටයි. තමාගේ ප්‍රශ්නය ගැන පවසන අතර එයට ලිපිකාරිය හොඳින් සවන් දුන්නාය. කතාව ගලාගෙන යනවිට දකින්නට ලැබුණේ මේසය  මත ඇති කුඩා සේයාරුවකි. එය දුටු කාන්තාව එහි ඉන්නේ කවුදැයි හොඳින්ම  හඳුනා ගත්තාය.
“කාගෙද මැඩම් මේ පොටෝ එක?”. මම මේ බඳින්න ඉන්න මහත්තයානෙ. පෙරේදා තමයි දුන්නෙ. වැඩ කරන ගමන් බල බල ඉන්නවා  ඉතින්” ලිපිකාරිනිය ඇඟට පතට නොදැනී පැවසුවාය.
“හා හා එහෙමද මැඩම්? හොඳයි මනමාලයෙක් හොයා ගත්ත. විලිලැජ්ජා නැද්ද බැඳපු මිනිහෙක් යාළු කරගන්න. මේ මගෙ මිනිහගෙ පොටෝ එක. ඇය යක්ෂාරූඪ වී කෑ ගසන විට අනෙක් නිලධාරීන් පිරිසද වටවූහ. සිද්ධිය මුල සිට අපේ ලිපිකරු නෝනා සභාව මැද දිග හැරියාය. ඇය නොදැන කළ වරදට සමාව ගත්තාය.


ලහි ලහියේ නිවසට ගිය ලිපිකරු මහතාගේ බිරිය ඔහු වැඩ නිමවී එනතුරු සිටියේ පුපුරු ගසමිනි. සවස් යාමයේ ගෙදර එනවිටම ඇඟට පැන්නේ යක්ෂණියක ලෙසය.
“තමුසෙ උපාසකයා වගේ හිටියට තවත් කසාදයක් කරගන්න හදන්නෙ. අර කන්තෝරුවෙ එකිත් එක්කම යනව. ළමයි  ටිකත් අරගෙන මම යන්නම් මහ ගෙදර”. “මට තේරුම් ගන්න බෑ ඔයා කියන දේවල්” ඔහු කියන විට ඇය තව තවත් කෝප වූවාය.
“හොඳයි මහත්තයො මම තේරුම් කරල දෙන්නම්. ඔයා තොත්ත බබානෙ. අර කන්තෝරුවෙ එකියක් එක්ක තමුසෙ හාදකම් පවත්වනව නේද? වැඩේ අහුවුණේ තමුසෙගෙ පොටෝ එකෙන්. හොර වැඩ කවදාහරි අහුවෙනව කියලා හිතාගන්නව”.  “වැරැද්දක් මගේ අතින් වුණා තමයි අනේ. දුරදිග නොබල මම කරපු වැරැද්දට මට සමාවෙන්න. මෙහෙම වැරදි මම මීට පස්සෙ කරන්නෙ නෑ” ඔහු බැගෑපත්වන්නට වූයේ අහිංසක පූස් පැටියකු මෙනි. 
දුරදිග සිතා බැලූ ඇයද ඔහුට සමාව දුන්නේ දීගය කැඩුණොත් තව ප්‍රශ්න රාශියකට මුහුණදීමට සිදුවන නිසාය.

නිකදළුපොත 
කරුණාදාස සපුතන්ත්‍රී