මොරගොල්ලාගම සිසිර නන්දන කැලේගම
මාස ගණනක් තිස්සේ තීරණාත්මක විභාගයකට පාඩම් කරපු පුතුගේ සියලු අපේක්ෂාවන් පියා ගෙනා එක කොත්තුවකින් දියාරු වී ගිය පුවතක් කුරුණෑගල නගර සීමාවෙන් අසන්නට ලැබුණි.
සිද්ධිය සැකෙවින් මෙසේය.
පාසල් ගමන නිමා කළ පුතා තවත් තීරණාත්මක විභාගයකට දිවා රෑ වෙහෙස මහන්සි වී පාඩම් කළේය.
“පුතේ හෙට නේද විභාගය. අද නිදිමරන්න එපා. මම පුතාට හොඳ ස්පෙෂල් කොත්තුවක් ගෙනාවා. එන්න ඒක උණු උණුවේම කාලා පුතා අද කලින්ම නිදා ගන්න.”
පියාගේ වදනට අවනත වූ පුතා කොත්තු කෑමටද දැඩි ගිජුතාවයක් ඇති නිසා සුවඳ හමන, කුඵබඩු පිරි මස් කැබැලි යහමින් දැමු කොත්තුවේ රසය උජාරුවට කියමින් දෙදෙනා එය ගිල දැමූහ.
පසුදින විභාගයට යන පුතුගේ තනියට පියාද එක් විය. කල්වේලා ඇතිවම විභාග ශාලාව වෙත ගොස් වාඩිවීමට ඇති ස්ථානය බලා පුතු එළියට ආවේ විභාගයට තවත් කල් වේලා තිබෙන නිසාය.
ගත වූවේ නිමේෂයකි. පුතුගේ බඩ ගෝරනාඩු කරයි. එන හැටි හොඳ නැති බව වටහා ගත් හෙතෙම වැසිකිළියක් සොයා දිව්වේය.
ඒ සමඟම පියාගේ බඩෙන්ද ශබ්ද පිට ශබ්ද නැගුණි. ඔහුද පුතු පසු පසුම ලුහු බැන්ඳත් එකම වැසිකිළියට දෙදෙනාටම රිංගන්නට බැරි තැන පියා ගැහැනු වැසිකිළියකට රිංගුවේය. තම ශරීර කෘත්‍යය නිමවා පියා එළියට ආවත් පුතු තවමත් වැසිකිළියේමය.
“පුතේ, ඔතැන තපින්නේ නැතිව වරෙන් එළියට. විභාගයට යන්නත් සුනංගු වෙනවානේ”.
“තාත්තේ බඩ අජීර්ණ වෙලා. මම මෙහෙම කොහොමද එළියට එන්නේ. මට අලුතින් කලිසමක් ගේන්න.”
දෙදෙනාගේ සංවාදය ඇසුණු අසල්වැසියෙක් අසල ඇති නිමි ඇඳුම් වෙළද සලක් පෙන්නුවේය. එහි හනික ගිය පියා අලුතින්ම කලිසමක් මිලදී ගෙනාවේය. එය වැසිකිළියේ සිටම ඇදගෙන ජරාව තැවරුණු කලිසම පාර්සලයක ඔතා පියාගේ අතට දී පිම්මට දෙකට පුතා විභාග ශාලාව වෙත පිය මැන්නේය. එහෙත් ඒ වනවිටත් කාලය ඉක්ම ගොස් තිබුණු බැවින් ඔහුට එහි ඇතුළුවීමට අවසර නොලැබුණි.
ගිය සැනින් මැලවුණු මුහුණින් ආපසු පුතු එන කාරණාව පියාද වටහා ගත්තේය.
“පුතේ උඹ විභාගය ලිව්වා නම් ප්‍රතිපල එන්නේ තව මාස කිහිපයකින් නේ. එදාට උඹ පාස් නම් ප්‍රසංසා ලැබෙයි. පේල් නම් අපවාද එයි. නමුත් ඒක නෙමෙයි පුතේ මට තියෙන ප්‍රශ්නේ. මේ වෙච්ච හුටපටය දැන් ගිහින් අම්මාට කිව්වාම ඒ මහයියාගෙන් ඇහෙන කන්දොස්කිරියාවෙන් බේරෙන්නේ කොහොමදැයි” කියමින් පියා පැවසීමෙන් පසුව දෙදෙනාම දෙගිඩියාවෙන් යුතුව ගෙදරට යාමට පිටත් වුණාලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd