IMG-LOGO

2024 දෙසැම්බර් මස 03 වන අඟහරුවාදා


කෙවිලිය සහ රෝස මල

කෙටිකතා

ඈ මා සමග නැටුමට එන බව කීවේ, ඇයට රතු රෝස මලක් ගෙනාවොත් විතරයි " තරුණ ශිෂ්‍යයා හඬ ගා තමාම ඇමතීය. " නමුත් මගේ ගෙඋයනෙ රතු රෝස මල් නැහැ " අසල ඕක් ගසෙහි වූ කෙවිලිය ඇගේ කුඩුවේ සිට ඔහුගේ වදන් වලට සවන් දුන්නාය. ඇය කොළ අතු අතරින් පිටත බලා විස්මයට පත් වුවාය.

"මගේ ගෙඋයන කිසි තැනක රතු රෝස මල් නැහැ " ඔහු නැවත නැවතත් කෑ ගසා කීවේය. ශිෂ්‍යයාගේ පියකරු දෙනෙත් කඳුළෙන් තෙත් විය.

" සතුට රඳා පවතින්නේ කොතරම් සුළු දේවල් මතද? මම පඬිවරුන් ලියු සියලුම පොත් වගේ කියවා තියෙනව. දර්ශන විද්‍යාවේ සියලු සංකල්ප මගේ ඒවා තරමට මම දන්නවා. ඒත් රතු රෝස මලක ඇති අවශ්‍යතාව නිසා මම කොතරම් අසරණ වෙලාද? "

" මේ නම් අවංක ආදරවන්තයෙක් " කෙවිලිය තමාටම පැවසුවාය.

" හැම රාත්‍රියක් පාසා මම ඔහු වෙනුවෙන් ගී ගැයුවත් මම ඔහු හඳුනාගෙන සිටියෙ නැහැ. රාත්‍රියක් පාසා මම ඔහුගේ ආදර කතන්දරය තාරකාවන්ට ගැයුවත් මෙතෙක් ඔහු දුටුවේත් නැහැ. ඔහුගේ කේශ කලාපය ඉඳුනිල් මැණිකක් වගේ කාලවර්ණයි. ඔහුගේ තොල් ඔහු ලබා ගන්න හිතන් ඉන්න රතු රෝස මල වගේ
රතු පැහැතියි. නමුත් දුක්බර හැඟීම් නිසා මුහුණ ඇත්දත් පාටින් සුදුමැලි වෙලා, ඇති වී තිබෙන දුක ඔහුගේ ඇහි බැමේ ඇඳිල වගේ."

" රජ කුමරු හෙට රෑ සාදය පවත්වාවි " තරුණ ශිෂ්‍යයා මැතිරුවේය. " එවිට මගේ ආදරය ප්‍රකාශ කළ යුතුයි. මම ඈට රතු රෝස මලක් ගෙනාවොත් එළිවන තෙක්ම ඈ මා සමඟ නැටුමෙහි රැඳේවී. මම රතු රෝස මලක් ගෙන ගියොත්, මම ඇගේ බාහුවෙන් අල්ලා ගත් විට, ඈ මගේ උරහිසට නැඹුරු වී‍, මගේ දෙඅත් තදින් අල්ලා ගෙන ඉඳිවි. නමුත් මගේ ගෙවත්තේ රතු රෝස මලක් කොහෙත්ම නැහැ. එය නැතිව ගියොත් මම තනි වී වාඩි වී සිටින විට ඇය මා නොතකා යාවි. මා ගැන කිසිදු තැකීමක් නැති වු විට, මගේ හදවන වේදනාවෙන් මිරිකේවි." ශිෂ්‍යයා හැඟීම්බර වදනින් තමාටම පවසන්නට විය. 
" මොහු සැබෑම ආදරවන්තයෙක්, මා ගයන්නේ කුමක් ගැනද, ඒ ගැන ඔහු තැවෙනවා, මාගේ ගැයීම ඔහුට වේදනාවක් නම් මගේ ගැයීමේ අර්ථය කුමක්ද? ඇත්තෙන්ම ආදරය කියන්නේ මහ අපූරු දෙයක්. එය මරකත මාණික්‍යකටත් වඩා වටිනවා. අග්නි මාණික්‍යයකටත් වඩා උතුම්, ආදරය මුතු, පළිඟු වගේ මිලට ගන්න පුළුවන් දෙයකුත් නෙවෙයි. රත්රන් කිරන්නා වූ තරාදියෙහි බහා කිරන්න පුළුවන් දෙයකුත් නෙවෙයි. " කෙවිලිය සිතන්නට වූවාය.

ශිෂ්‍යයා නැටුම පිළිබඳ කල්පනා ලෝකයෙහි තව තවත් නිමග්න විය. "සංගීතඥයන් ඒ අයට වෙන් වූ ස්ථානයෙහි හිඳ තමන්ගේ තත් භාණ්ඩ වයාවි. මගේ ආදර වීනාවේ සත්සර ඒ නාදයට අනුව රඟ දේවි. එවිට ඈ ඇගේ යටි පතුල් පොළොවට ස්පර්ශ නොවන්නාක් මෙන් සැහැල්ලුවට තාලයට අනුව තබාවි. තමන්ගේ ගම්භීර ඇඳුමෙන් සැරසුණු රාජ සේවකයෝ ඇය වටා රැස් කකා ඉදිවි. නමුත් ඈට දීමට රතු රෝස මලක් මා සතු නොවන නිසා ඈ මා සමඟ නැටීමට එන එකක් නැහැ." ඔහු තණ බිස්සෙහි ඇද වැටී මුහුණ අත් දෙකෙන් වසාගෙන වැලපීමට පටන් ගත්තේය.

" ශිෂ්‍යයා වැලපෙන්නේ ඇයි? " කුඩා කොළ පාට කටුස්සෙක් එසේ අසමින් වලිගය ඔසවා ඔහු පසු කර ගියේය. " ඇත්තෙන්ම ඇයි ? " ළහිරු රැසින් අත්තටු සලමින් සිටි සමනලයෙක් කීවේය.

" ඇත්තෙන්ම මොකද ? '" මෘදු පහත් ස්වරයෙන් ඩේසි මල ළඟ සිටින සිය යෙහෙළිය ඇමතීය.

" ඔහු රතු රෝස මලක් සඳහා වැලපෙනවා " කෙවිලිය පැවසුවාය. " රතු රෝස මලකට" සැමදෙනාම එක හඬින් පැවසූහ.

" මොන තරම් විහිළුවක්ද? " සෑම දෙයක්ම නුරුස්නා කටුසු පැටියා මහා හඬින් සිනාසුණේ ය.

නමුත් කෙවිලිය ශිෂ්‍යයාගේ වැලපීම පිළිබඳ රහස තේරුම් ගත්තාය. ඈ නිශ්ශබ්දව ඕක් ගසෙහි හිඳ ආදරයෙහි ගුප්ත බව පිළිබඳව සිතුවාය.

එක්වරටම ඇය ඇගේ දුඹුරු පැහැ පියාපත් විහිදුවා අහසට නැඟුණාය. තුරු වදුලු පසු කොට සෙවණැල්ලක් මෙන් ඔහුගේ ගෙවත්ත හරහා පියා සැලුවාය.

තණ බිස්ස වට කොට සරුවට වැඩුණු රෝස පඳුරකි. ඇය ඒ මතට පැමිණ ආලෝකයක් විහිදුවා " මට රතු රෝස මලක් දෙන්න " යි ඉල්ලා සිටියාය. "එවිට මම නුඹට මගේ මිහිරිතම ගීතය ගයනවා."

නමුත් එම රෝස පඳුර හිස වනා "මගේ රෝස මල් සුදු පාටයි, ඒවා සාගරයේ පෙණ කැටි බඳුයි. කඳු මුදුන් වසා තිබෙන හිම වගේ සුදුයි. නමුත් මගේ සහෝදරයා ඉන්නෙ " ඕල්ඩ් සන්ඩේල්" වල. සමහර විට එයා ඔබට ඕන කරන මල දේවි."

එවිට කෙවිලිය පියාඹා ගොස් එම රෝස පඳුරට කිට්ටු විය. එය ඇමතූ කෙවිලිය " මට රතු රෝස මලක් ඕනෑ, එවිට මම ඔබට මගේ මිහිරිතම ගීතය ගායනා කරන්නම් " යි හඬ නඟා පැවසුවාය.

නමුත් එම රෝස පඳුරද හිස සලා "මගේ රෝස මල් කහ වර්ණයෙන් යුක්තයි. හරියට රන් පැහැති සිංහාසනයක වැඩ සිටින කිඳුරියකගෙ කේශ කලාපය වගෙයි. නැත්තම් තණ බිස්සක පිපුණු

ඩැෆඩිල් මලෙක වර්ණය වගෙයි. නමුත් ශිෂ්‍යාගේ කවුළුව පහළින්  වැඩෙමින් පවතින මගේ සහෝදරයා සමහරවිට  ඔබට අවශ්‍ය  වර්ණයෙන් මලක් දේවි. "

කෙවිලිය එම රෝස මල වෙතට පියාඹා ගොස් " මට රතු රෝස මලක් ඕනෑ වී තියෙනවා. එය දුන්නොත්  මම නුඹට මගේ මිහිරිතම ගීතය ගායනා කරනවා " යි පැවසිය.

නමුත් එය ද හිස සලා මෙසේ කීවේය.

" මගේ මල් රතු පාටයි. තාරාවකුගේ ඇඟිලි වගේ රතුයි. සාගර ගුහාවන් හි ඇති රතු පාට කොරල්වලටත් වඩා රතුයි. නමුත් සීත සෘතුව මගේ ලේ නහර ගල් කරල හිමවලින් වැසිල මල් කැකුළු විනාශ වෙලා, කුණාටුව මගේ අතු කඩා දමල. මේ අවුරුද්ද මුළුල්ලේම මගෙන් එකම රෝස මලක්වත් ඉපදෙන එකක් නැහැ.

" එකම එක රතු රෝස මලක් පමණයි මට ඔිනෑ, කොහොමද මම ඒක ලබා ගන්නේ " කෙවිලිය හඬ නගා ඇසුවාය.

" එකට එක ක්‍රමයක් තියෙනව " රතු රෝස පඳුර පැවසීය.

" ඒක ඉතාම භයානක නපුරු ක්‍රමයක්, එය පැවසීමට මට හිත දෙන්නෙ නැහැ."

" කරුණා කරලා ඒ ක්‍රමය මට කියන්න. මම කිසිවකුට බය නැහැ." කෙවිලිය කීවාය.

" ඔබට රතු රෝස මලක් ඕන නම් එය උපදවාගත යුත්තේ සඳ එළියේ ඔබ ගයන ගීතයෙන් සහ ඔබගේ හදවතේ රුධිරයෙන් "

" නුඹ නුඹේ පපුව මගේ සිරුරේ රෝස කටුවකට තදකර තබාගෙන මා සඳහා ගී ගායනා කළ යුතුයි. රෑ මුළුල්ලේම ඔබ මට ගී ගයන්න. ඒ අතරතුර මගේ තියුණු රෝස කටුව ඔබේ හදවත පසාරු කරාවි. එවිට ඔබගේ ජීව රුධිරය මගේ නහර ඔස්සේ ගලාගෙන යාවී. ඔබේ රුධිරය මගේ රුධිරය බවට පත්වේවි.."

" රතු රෝස මලකට මට දිය හැකි ඉහළම මිල තමයි මගේ ජීවිතය " කෙවිලිය හඬ ගා පැවසීය.

" හැම කෙනාටම ජිවිතය වටිනා දෙයක්. නීල වර්ණයෙන් බබළන වනාන්තරවල සැරි සරමින් රන්වන් රථයෙහි වැජඹෙන හිරු දෙවිඳු නැරඹීම කෙතරම් සුන්දරද? ''

සඳ කුමරිය ඇගේ කාන්තිමත් මුතු යානයෙහි හිඳින අයුරු කොතරම් මනරම්ද? වනාන්තරයෙහි වනමල් සුවඳ කොතරම් සුගන්ධවත්ද? නිම්නවල නිල්කැට කොතරම් දැකුම්කලුද? කඳු මුදුන් සිසාරා හමන මඳ නල කොතරම් සුවදායකද? නමුත් ආදරය ජීවිතයකට වඩා උතුම්. අනික් අතට මිනිසෙකුගේ හදවත පක්ෂියකුගේ හදවත හා සසඳන විට මගේ ජීවය කුමක්ද? "

කෙවිලිය ඇගේ දුඹුරු පැහැති පියාපත් විහිදුවා අහසට නැග සෙවනැල්ලක් මෙන් ගෙවත්ත හරහා බඩවැටි පඳුරු ඔස්සේ පියාසර කළාය.

තරුණ ශිෂ්‍යයා ඒ වන විටත් තණ බිස්ස මත වැතිරී සිටියේය. ඔහුගේ නීල වර්ණ දෙනෙත්හි කඳුළු එතෙක් වියළී නැත. " සතුටු වෙන්න, නුඹට රතු රෝස මලක් ලැබේවි. මම එය වන්ද්‍ර කාන්තියෙහි ගයන මගේ ගීතයෙන් ජනිත කරනවා. මගේ හදවතේ රුධිරයෙන් එයට වර්ණ ගෙන දෙනවා. එයට ප්‍රතිඋපකාර වශයෙන් මා නුඹෙන් බලාපොරොත්තු වන්නේ අවංක ආදරවන්තයෙක් වන ලෙස, ආදරය කිරීම දර්ශන විද්‍යාව ඉගෙනීමට වඩා ඥානවන්තව කළ යුතු දෙයක්. එය ශක්තිමත් වූත්, ගැඹුරු වූත්, රුධියෙන් වර්ණවත් වූත් දෙයක්. ඔබගේ තොල් මී පැණි වගෙයි. ඔබගේ හුස්මෙහි අව්‍යාජත්වයේ සුවඳ රැඳී තිබෙනව."

ශිෂ්‍යයා තණ බිස්සේ සිට හිස ඔසවා කෙවිලියගේ වදන්වලට සවන් දුන්නේය. නමුත් කෙවිලිය තමාට කියන්නේ කුමක්දැයි ඔහුට අවබෝධ කළ නොහැකි විය. ඔහු දැන සිටියේ කියවන ලද පොත්වල ලියා තිබුණු ඒවා පමණි.

මෙහිදී ඔික් ගස සියල්ල තේරුම් ගත්තේය. එම ගස තමාගේ අත්තක කැදැල්ලක් සාදායක සිටින කෙවිලියට තදින් ඇළුම් කළාය. "මට අන්තිම වතාවට ගීතයක් ගයන්න" ගස මුදු  ස්වරයෙන් පැවසුවේය.

" නුඹ ගිය විට මට තද පාළුවක් දැනේවී"

කෙවිලිය ඕක් ගසට ගීත ගායනා කළාය. ඇගේ කටහඩ රිදීජෝගුවකට පැන් වත් කරන විට බුබුළු නැගෙන්නක් මෙන් විය.

ඇය ඇගේ ගීතය අවසන් කරනවාත් සමසාම ශිෂ්‍යයා නැගිට සටහන් ලියන පොතක්ද, පැන්සලක්ද ඔහුගේ සාක්කුවෙන් එළියට ගත්තේය.

"ඇගේ ගීතය මගේ ආදරය ගැනමයි. මම ආදරයෙන් වෙළී සිටින බව ඇගෙන් සැඟවිය නොහැකියි. කෙවිලියට අපට මෙන් හැඟීම් තිබේද ? මට පුදුමයි. ඒ හේතුවෙන් ඇය බොහෝ කලාකරුවන් වගෙයි. ඒත් හිතවත් බවක් නැති කලාකරුවෙක් වගෙයි. ඈ සිතන්නෙ සංගීතය ගැන පමණයි. හැම කෙනාම දන්නවා කලාව ආත්මාර්ථකාමී බව. ඒ වුණත් ඒ ගැන සිතා බැලිය යුත්තේ ඉතා මිහිරි ලෙස ගැයිය හැකි තාලයක් ඇගේ කටහඩේ තිබෙන නිසා. ඒ ආදර ගීතය අර්ථවත් නොවීම කනගාටුවට කාරණයක්. කෙවිලියගේ ආදර හැඟීම ක්‍රියාවට නැංවිය හැකිද? ශිෂ්‍යයා එසේ සිතමින් ඔහුගේ කාමරයට ගොස් ඇඳෙහි දිග ඇදුණේය. ස්වකීය ආදරය පිළිබඳව සිතුවිලි දමෙහි නිමග්න විය. ඉන් පසුව ඔහු නින්දට වැටුණේය.

සුරලොවින් එබිකම් කර චන්ද්‍රයා දිලිසෙත්ම කෙවිලිය රෝස පඳුරට සමීප වුවාය. ඉන් පසුව ඇගේ ළමැද රෝස කටුව මත තැබුවාය. මුළු රාත්‍රී කාලයම එසේ ගත කරමින් ඇය ගයන්නට වුවාය. සීතල පළිඟු සඳ, පහතට නැඹුරුව එයට සවන් යොමු කළාය. රාත්‍රී කාලය ගෙවෙන තෙක්ම කෙවිලිය ගී ගයමින් සිටියාය. රෝස කටුව ඇගේ ළමැද පසාරු කරගෙන ගැඹුරට ගමන් කළේය. ඇගේ ජීව රුධිරය ඇය වෙතින් ඉවත් වෙමින් තිබිණි. පළමුව ඈ ගැයුවේ තරුණයෙකුගේ සහ තරුණියකගේ හදවතෙහි පහළවන ආදරය කෙබඳු දැයි ප්‍රකාශ වන අයුරිනි. රෝස පඳුරේ මුදුන් කෙළවරේ විත්තාකර්ෂණීය, මනෝහර පුෂ්පයක් පිපී තිබිණි. ගීතයෙන් ගීතය දිග හැරෙන විට, මල් පෙතිද එකිනෙකක් දිග හැරෙන්නට විය. නදියක මතුපිට මිදුම් පටල මෙන් පළමුව සුදුමැලි ලෙස එය මතු වී ආවේය. එය උදෑසන පින්නෙන් තෙත් වූ පා ඇඟිලි මෙන් සුදුමැලි විය. රිදී කැටපතක පෙනෙන රෝස මලක් මෙන් ද, දිලෙන ජලාශයක දිස්වන රෝස මලෙක ප්‍රතිබිම්බයක් මෙන් ද එය රෝස පඳුර මුදුනේ පිපෙමින් තිබිණි.

එසේ වුවද රෝස පඳුර, කෙවිලියට තව තවත් රෝස කටුවට ළං වී තෙරපෙන ලෙස කීවේය.

" තව තවත් මට ළං වී තෙරපෙන්න කුඩා කෙවිලියේ, නැතිනම් රෝස මල පිරිපුන් ලෙස නිම වීමට පළමුව දිනකර උදාවේවි'' රෝස පඳුර හඬ නගා කීවේය.

මෙවිට කෙවිලිය රෝස කටුවට තව තවත් සමීප වී ඉදිරියට තෙරපුණාය. ඇගේ ගීතයේ රිද්මයද තව තවත් වේගවත් විය. ඇය ගායනා කළේ තරුණයෙකු හා තරුණියකගේ හදවතෙහි ඇති වත ප්‍රථම ආදරයෙහි උත්කෘෂ්ට බව කියා පෑමටය.

සුන්දර රෝස පැහැයක් රෝස මලෙහි පෙති වැළඳ ගති. එය මනාලයෙකු, මනාලියකගේ තොල් සිප වැලඳ ගන්නා විට ඔහුගේ වතෙහි දිස්වන රෝස පැහැය බඳු රෝස පැහැයකි. තවමත් රෝස කටුව ඇගේ හදවත පසාරු නො කෙළේය. ඒ නිසා රෝස මලෙහි හදවත කොටස සුදු පැහැයෙන්ම පැවතිණි. රෝස මලෙහි, හදවත කොටස තද රතු පාටින් වර්ණවත් කළ හැක්කේ කෙවිලියගේ හදවතෙහි රුධිරයෙන් පමණි.

නැවත වරක් රෝස පඳුර, තව තවත් රෝස කටුව දෙසට තෙරපෙන ලෙස කෙවිලියට පැවසුවේය.

"ළංවී මා දෙසට තෙරපෙන්න කුඩා කෙවිලියෙනි, නැත්තම් රතු රෝස මල නිම වීමට පළමුව හිරු උදාවේවි." නැවත වරක් කෙවිලිය රෝස කටුව දෙසට ළං වී තදින් තෙරපුණාය. දරුණු වේදනාවක් දනවමින් රෝස කටුව ඇගේ හදවත පසාරු කළේය. වේදනාව දරුණු වීමත් සමඟ ඇගේ ගීතයේ රාවයද තියුණු ස්වරයක් ගති. ජීවිත පූජාවෙන් අවසන් වන උත්කෘෂ්ට සත්‍ය ප්‍රේමය අභිබවා යන, මෙම ආත්මයෙන් නිම නොවන අමරණිය ප්‍රේමය හෙළි කරමින් ගායනා කරන්නට වූවාය.

ඉතාමත් චිත්තාකර්ෂණිය රෝස මල තද රතු වර්ණයෙන් බබළන්නට විය. රෝස මලෙහි පෙති තද රතු වර්ණයෙන් ඔප වැටී දීප්තිමත් විය. රෝස මලෙහි හදවත පෙදෙස රතු මිණි කැටයක් බඳු විය. නමුත් කෙවිලියගේ ඉමිහිරි ගීත නාදය සෙමින් සෙමින් මන්ද ස්වර තත්වයට පත්වෙමින් තිබිණි. ඇගේ කුඩා අත්තටු එකිනෙක වේගයෙන් සැලිණ. ඇගේ දෙනෙත් පියවෙමින් පැවතිණි. ඇගේ ගීත රාවය සිහින් ස්වරයක් බවට පත් විය. ඇයට උගුරෙහි හුස්ම හිර වෙන්නාක් මෙන් දැනිණ. අවසාන ගී හඬ ඇගේ මුවින් නික්මිණ. එය අසා සිටියේ සඳු පමණි. ඇයට අරුණෝදය අමතක විය. සඳු අහසෙහිම රැඳිණි. රතු රෝස මල එය දුටුවේය. මහත් ප්‍රමෝදයෙන් එය සැලිණි. හිමිදිරි සීතල උදයේ මඳනල අතරෙහි පෙති එකින් එක දිග හැරුණේය.

කඳු මුදුන්හි රත් පැහැති ගුහාවන්හි වැදී විහිදුණු ප්‍රමෝදයේ දෝංකාරය නිසා ගොපල්ලෝ සිය සිහින ලොවින් මිදුණහ. රතු රෝස මලෙහි ප්‍රමෝදයෙහි පණිවිඩය නදිය අසල බට පඳුර විසින් සයුර වෙත ගෙන යන ලදී.

" මේ බලන්න, මේ බලන්න, දැන් රතු රෝස මලේ නිමැවුම අවසානයි" රෝස පඳුර සතුට පළ කළේය. නමුත් කෙවිලියගෙන් කිසිදු පිළිතුරක් නොලැබිණි. ඇය තණ බිස්ස මත පපුවේ ඇනුණු කටුව සමග මියගොස් සිටියාය.

දවස උදා වූ කල්හි ශිෂ්‍යයා ඔහුගේ කාමරයෙහි කවුළුව විවෘත කොට අවට නැරඹීය.

" වාසනාවේ මහිමය කොතරම්ද? මෙතනට රතුම රෝස මලක් ඔහු ප්‍රීතියෙන් කෑ ගැසුවේය.

"මගේ මුළු ජීවිත කාලයට මේ වාගේ රතු රෝස මලක් දැක නැහැ. මෙය ඉතා රමණිය නිසා මට විශ්වාසයි, මෙයට දිගු ලතින් තමක් ඇතියි කියා ශිෂ්‍යයා මිමිණුවේය. ඔහු නැඹුරු වී රතු රෝස මල නෙළා ගත්තේය.

ඉන්පසු තොප්පිය පැලඳි ශිෂ්‍යයා රතු රෝස මලද අතින් ගෙන මහාචාර්යවරයාගේ නිවසට වහ වහා පිය නගන්නට විය. ඔහුගේ දියණිය ආලින්දයෙහි අසුන් ගෙන නිල් පැහැති නූල් රෝදයකින් වාමස් පිළියක් ගොතමින් සිටියාය. ඇගේ බලු පැටියාද ඇගේ පාමුල හිඳගෙන සිටියේය.

" නුඹ පැවසුවානේ මම රතු රෝස මලක් ගෙනාවොත් මා සමඟ නැටුමට සහභාගී වෙනව කියල. මුළු ලෝකයේම තියෙන රතුම රෝස මල තමයි මේ. මේක නුඹේ හදවතට ළංව පලඳින්න. අප එක්ව නටන විට, මම ඔබට කොතරම් ආදරේද කියා එය පවසාවි.''

එවිට තරුණිය ඔරවා ඔහු දෙසට නෙත් යොමු කළාය.

" මට බොහොම කනගාටුයි. මේ රතු රෝසමල මගේ ඇඳුමට ගැළපෙන්නෙ නැහැ" ඇය පිළිතුරු දුන්නාය.

"අනික් අතට, "වැම්බලේන්" ගේ බෑනා මට මැණික් තෑගි කර තිබෙනවා. කවුරුත් දන්නව මැණික්, මල්වලට වඩා මහඟු වටිනා දෙයක් බව. "

" නුඹ නම් සත්‍ය වශයෙන්ම අකෘතඥ ගැහැනියක්" එසේ පවසා ශිෂ්‍යයා රතු රෝස මල විදිය දෙසට විසි කළේය. කරත්ත රෝදයක් එය විනාශ කරමින් ඒ මතින් ගියේය.

" කෙළෙහි ගුණයක් නැහැ. මම නුඹට කිව්වේ මොනවද? නුඹේ කිසිම ආචාරශීලී බවක් නැහැ. නුඹ කවුද ශිෂ්‍යයෙක් පමණයි. මම හිතන්නෙ නැහැ අඩු ගණනේ " වැම්බර්ලින්" ගේ බෑනා අඳින සපත්තුවල තියෙන විදියෙ රිදී ගාන්චුවක්වත් ඔබේ සපත්තුවල ඇතියි කියා." ඇය අසුනෙන් නැගිට ගෙතුළට ගියාය.

" ආදරය කියන්නෙ කොතරම් බොළඳ දෙයක්ද ? " ශිෂ්‍යයා එම නිවසින් ඉවත්ව යමින් පැවසුවේය.

"එය තර්ක ශාස්ත්‍රයෙන් අඩක් පමණක්වත් වටිනා දෙයක් නෙවෙයි. එයට කිසිවක් ඔප්පු කළ නොහැකියි. ආදරය සෑම විටම පවසන්නේ සිදුවිය නොහැකි දෙයක්මයි. ආදරය කියන්නේ, සත්‍ය නොවන දෙයක් කෙරෙහි කෙනෙකුගේ විශ්වාසය ඇති කරවන්නක්. ඒ හේතුවෙන් සත්‍ය ප්‍රේමය ක්‍රියාවට නැංවිය නොහැකි දෙයක්. මේ වයසට සෑම දෙයක්ම ප්‍රායෝගික විය යුතුයි. මම නැවත දර්ශන විද්‍යාවට ඇතුළු  වී පාරභෞතික දේ පිළිබඳව ඉගෙන ගත යුතුයි."

ශිෂ්‍යයා නැවත සිය කාමරයට පැමිණ දූවිලි වැකුණු විශාල පොතක් ගෙන කියවීමට පටන් ගත්තේය.


(අයිරිෂ් ජාතික ලේඛක ඔස්කා වයිල්ඩ්⁣ගේ 
The Nightingale And The Rose කෙටිකතාවෙිඅනුවර්තනයකි.අනුවර්තය පුෂ්පරාණි වික්‍රමරත්න විසිනි)



අදහස් (0)

කෙවිලිය සහ රෝස මල

ඔබේ අදහස් එවන්න

කෙටිකතා

අලුත ගෙනා මනාලිය
2024 දෙසැම්බර් මස 03 324 0

යාබද නිවෙසේ සිටින නීතීඥ වර්මා මහතා අද විවාහ වෙයි. මම දොම්නසට පත්වී සිටිමි. ඔහු සමග රණ්ඩුවක් ඇද ගැනීමට මට වුවමනාය. ඇතැම්විට එය මට සහනයක් ගෙන දෙනු ඇත. කාරණා


උඩුකබාය
2024 නොවැම්බර් මස 26 435 0

ජනවාරි මාසයේ එක්තරා සැඳෑවක, මෝල් මාවත දෙසට දිවෙන ඩේවිස් පාර දිගේ ඇවිදගෙන ආ ජේත්තුකාර තරුණයෙක් චාරිං ක්‍රොස් වීදියට හැරුණේය. ඔහුගේ සිනිඳු හිසකේ දිලිසු


මාරියෝ
2024 නොවැම්බර් මස 19 470 0

එය සිදු වූයේ මෙන්න මේ විදියටය. ෆිලොමෙනා නින්දේ සිටියදී උදේ පාන්දර අවදි වූ මම මගේ ආයුධ මල්ලත් රැගෙන හඬක් නොනගාම නිවෙසෙන් පිටවීමි. මොන්තෙ පරියෝලිවල ග්‍ර


විමානය ගිනි අරන්
2024 නොවැම්බර් මස 12 575 2

අප්සරා එක විටම ත්‍රි රෝද රථයෙන් බහින්නේ නැතිව හොඳින් වට පිට බැලුවා.පොලිසිය මිදුලේ කිහිපදෙනෙක් ගැවසෙනව පෙනුණත් අඳුරන මුහුණක් නම් ඒ අතර පෙනෙන්න තිබුණේ


බස් සීට් එක
2024 නොවැම්බර් මස 05 1080 0

මං මගේ ජීවිතේ මෙතෙක් විඳපු ආස්වාදජනකම දෙතොල් හාදුව මට දුන්නෙ භාග්‍යා. එතකොට අපි දෙන්නම කැලණි කැම්පස් එකේ. තර්ඩ් ඉයර්. මං කළේ මාස් කොම්. භාග්‍යා කළේ බීකො


කෙවිලිය සහ රෝස මල
2024 ඔක්තෝබර් මස 29 637 0

ඈ මා සමග නැටුමට එන බව කීවේ, ඇයට රතු රෝස මලක් ගෙනාවොත් විතරයි ’’ තරුණ ශිෂ්‍යයා හඬ ගා තමාම ඇමතීය. ’’ නමුත් මගේ ගෙඋයනෙ රතු රෝස මල් නැහැ ’’ අසල ඕක් ගසෙහි වූ කෙව


මේවාටත් කැමතිවනු ඇති

සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි 2024 දෙසැම්බර් මස 03 47 0
සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි

බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 660 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 836 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

Our Group Site