IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


තොරොක්කෝව

කෙටිකතා


ඔඩවාරා  සහ අතමි අතර කුඩා දුම්රිය මාර්ගයේ වැඩ පටන් ගන්නා විට ර්යෝහෙයි ගේ වයස අවුරුදු අටකි.ර්යෝහෙයි සෑම දිනකම කම්කරුවන් වැඩ කරනු බැලීමට නගරාන්තයට ගියේය. තොරෝක්කෝවලින් කුණු කසළ අදිනවාට වැඩි වැඩක් එහි නොවිය. ඔහු එහි ගියේ ඒ කාර්යය නැරඹීමට ආශා හෙයිනි.

   තොරොක්කෝවේ කොවේ පිටිපස කසළ ගොඩක් අසල කම්කරුවෝ දෙදෙනෙක් සිටගෙන සිටිති. තොරොක්කෝව කන්දක සිට පහළට එන බැවින් එය වේගයෙන් බසී. එහි බක්කිය වේගය නිසා වෙව්ලයි 

එහි තුනී ගරාදි ගැටීම නිසා නැමී යයි. කම්කරුවන්ගේ කබා කෙළවර පට පට ගා සුළඟට වැදෙයි. ඒ දෙස පරීක්ෂාවෙන් බලා සිටිනා ර්යෝහෙයිට හමාටත් කම්කරුවෙක් වන්නට ඇත්නම් යි සිතේ, විටෙක හෝ එක වරක් වත් කම්කරුවන් සමග තොරොක්කෝවේ යන්නට ලැබේවායි පතයි. තොරොක්කෝව නගරයේ අසලට පැමිණෙත්ම පොළොව  තැනිතලා නිසා වේගය අඩුවී ඉබේම නවතී . එවිට කම්කරුවෝ කඩිසර ලෙස ඉන් වතට පැන කසළ හළති. ඉන්පසු එය කන්ද ඉහළට තල්ලු කිරීමට පටන් ගනිති .

තොරොක්කෝවේ නැග යාමට නොහැකි වුවත් තල්ලු කිරීමට වත් ඉඩ ලැබේ යයි ර්යෝහෙයි බලාපොරොත්තු වුයේ මෙවැනි අවස්ථාවකය. 

     ර්යෝහෙයි පෙබරවාරි මාසයේ මුල් හරියේ එක සන්ධ්‍යාවක නගරාන්තයෙහි තොරොක්කෝව නවතා තිබුණ තැනට ගියේය. ඔහු තමාට අවුරුද්දකින් බාල තම සහෝදරයාද සහෝදරයාගේ වයසේම සිටි අසල්වැසි ළමයකුද කටුව ගියේය.බක්කිවල මඩ කැටි ගැසී තිබුණ තොරොක්කෝ කීපයක් පේලියට නවතා තිබෙනු දක්නට ලැබිණ.

  හේ වටපිට බැලිය. කම්කරුවන්ගෙන් කිසිවෙක් එහි නොවීය. ඔවුහු තිදෙනා දෙගිඩියාවෙන් අන්තිමට නවතා තිබුණු තොරොක්කෝව තල්ලු කිරීමට පටන් ගත්හ.

  තල්ලුවෙන් රෝද කරකැවෙන්නට විය.රෝද වලින් නිකුත් වූ.ශබ්දය මුලින් ර්යෝහෙයි තැති ගැන්වූ නමුත් ඒ ශබ්දය දෙවනුව  ඇසුණු විට ඔහුගේ බිය පහව ගියේය 

අත් පොඩි හයේ
 බලයෙන් එය රේල් පීලි දිගේ ඉහලට හෙමින් තල්ලු වී ගියේය.

තොරොක්කෝව යාර විස්සක් පමණ තල්ලු වී ගිය පසු ඔවුන් කොතරම් මහන්සි ගත්තද කන්ද නිසා ඉන් ඔබ්බට රථය සෙලවිය නොහැකි විය. ඇතැම් විටක රථය ආපසු තල්ලු වුයේ ඔවුන් තිදෙනා සමගය.

තම අභිමතාර්ථය ඉටු කර ගැනීම සඳහා පැමිණි දුර හොඳටම සෑහේ යයි සිතු ර්යෝහෙයි '' වරෙල්ලා , ගොඩ වෙයල්ලා ''යි බාල ළමයින් දෙදෙනාට සන් කළේය.

ඔවුහු තිදෙනා තොරොක්කෝවේ එල්ලී ගත්හ. එය හෙමින් හෙමින් ඇදෙන්නට වන . ක්‍රමයෙන් වේගය වැඩි විය.

   අන්තිමේදී තොරොක්කෝ පීලි මත ඉගිලෙන්නට පටන් ගත්තේය. ඉදිරිපස දර්ශනය ර්යෝහෙයිගේ ඇස් ඉදිරියෙහි දිගහරි ශීඝ්‍රයෙන් දෙපසට ඇදිණි. සන්ධ්‍යා මාරුතය ඔහුගේ දෙකම්මුල්හි ගැටී ගියේය. වෙවුලන තොරොක්කෝව ඔහුගේ දෙපා යට නැටීය. 

  ර්යෝහෙයිගේ සතුට උතුරා යන තරම් විය.

මිනිත්තු කිහිපයක් ඇතුළතදී තොරොක්කෝවේ ගමන් වේගය ක්‍රමයෙන් අඩු වී නැවතුණේය.

''වරෙල්ලා ආයෙත් තල්ලු කරමු.''

ර්යෝහෙයි බාල ළමයින් දෙදෙනා සමග නැවතත් තොරොක්කෝව තල්ලු කිරීමට සුදානම් විය. රෝද යන්තම් සෙලවුණා. ඔවුන් පිටුපසින් මහ ශබ්දයක් ඇසිණි .ඉක්බිතිව මහත් හඬක් රැව් දුන්නේය.

''උඹලා ඔතන මොකද . කවුද උඹලාට ඔය තොරොක්කෝ අල්ලන්න කිව්වේ '' 

 වැඩට අඳින කබල් ජැකට්ටුවකුත් යල් පැනපු පිදුරු තොප්පියකුත් ඇඳගත් උස කම්කරුවෙක් ඔවුන් අසලින් සිට ගත්තේය.

''මේ අමුත්තා කවුදැ ''යි හඳුනා ගන්නා විට ඔවුන් සිටියේ යාර විස්සකටත් වඩා ඈතය. 

එවිට ඔවුහු  දුවන්නට වුහ. ර්යෝහෙයි ආපසු ගෙදර දුවන විට වැඩපොළ අසල තොරොක්කෝ රාශියක් දක්නට ලැබුණත් නැවතත් ඒවා පැදීමට නොසිතිණි. සුළඟට වෙව්ලමින් තිබුණ පිදුරු තොප්පිය- ඔහු රවා බලු හැටි -ර්යෝහෙයිට නිතරම සිහියට් නැගුණේය.එහෙත් කාලයාගේ ඇවෑමෙන් ඒ හැඟීම අතුරුදහන්ව ගියේය .

දස දිනකට පමණ පසු එක සැන්දෑවක ර්යෝහෙයි, වැඩ කරන පෙදෙසේ තමා සමීපයට එන තොරොක්කෝ නරඹමින් සිටියේය. එක්  තොරොක්කෝවෙක ඉතා උස කසළ ගොඩක් විය. දෙවැනි තොරොක්කෝවේ සිල්බර කඳන් පටවා තිබුණේය .

තරුණයෝ දෙදෙනෙක්  මේ විශේෂ තොරොක්කෝව තල්ලු කරමින් සිටියහ.

ඔවුන් දුටු සැණෙකින්ම ''ඔවුන් හා මිත්‍ර වීමට ලැබුණොත් ''යි ර්යෝජෙයිට සිතිණි. ''ඔවුන් මට කෑගසන එකක් නැහැ''යි හේ සිතිය.

එසේ සිතා ඔවුන් දෙසට දිව්වේය.

''යාළුවා මාත් තල්ලු කරන්න උදව් වෙන්නද ?''

''හොඳයි හොඳයි එනවා ''

ර්යෝහෙයි බලාපොරොත්තු වූ පරිදි, ඔවුන්ගෙන් එකෙක් -ඉරි වැටුණු කමිසයක් ඇඳන සිටි මිනිසා- හිස නමා තොරොක්කෝව තල්ලු කරන ගමන් විනීත ලෙස පිළිතුරු දුන්නේය.

ර්යෝහෙයි මිනිසුන් දෙදෙනා අතරට වී පුළුවන් තරම් ශක්තිය යොදා තොරොක්කෝව තල්ලු කිරීමට පටන් ගත්තේය.

''උඹට හුඟක් හයිය තියෙනවානේ ළමයෝ''

කන අද්දර සිගරැට්ටුවක් රඳවා ගෙන සිටි අනෙක් මිනිසාද ර්යෝහෙයිට ප්‍රශංසා කළේය.

වැඩි කාලයක් ගත නොවීම පල්ලම ළඟා විය.

''තවත් තල්ලු කරන්න වුවමනා නැහැ ''යි කවර මොහොතක ඔවුන් කියාවිදෝයි ර්යෝහෙයි නොසන්සුන්කමෙන් පසු විය .

එහෙත් කම්කරුවෝ දෙදෙනා පෙරට වඩා තරමක් ශරීරය ඍජු ව තබාගෙන වචනයකුදු නොකියා දිගටම තල්ලු කරගෙන ගියහ.

ර්යෝහෙයිට තම අදහස තව දුරටත් සඟවා ගෙන සිටිය  නොහැකි විය.

හේ බයෙන් බයෙන් ''තව තල්ලු කරන්නදැ?''යි 

''හොඳයි හොඳයි '' ඔවුහු දෙදෙනාම පිළිතුරු දුන්හ.

ඔවුන් ඉතා විනීත යැයි ර්යෝහෙයි සිතුවේය. යාර පන්සියයක් හයසියයක් පමණ ඉක්මවූ විට නැවතත් කන්ද ළඟා විය. මාර්ගය දෙපසම ජබනාරම් වතු දක්නට විය. ඉදි රන්වන් වූ ජබනාරම් ගෙඩි මත හිරු රැස් වැටි තිබිණි.

ඔවුහු ජබනාරම් වතු අතරින් කඳු මුදුනට තොරොක්කෝව තල්ලු කළහ. එතැන් සිට වුයේ තද බැස්මකි. ඉරි කමිසය ඇඳ සිටි මිනිසා ''වරෙන් වරෙන් පැනපන් ''යි හඬ නගා කිව්වෙිය. ර්යෝහෙයි ඇසිල්ලකින්ම රථයට පැන්නේය. ඔවුන් සියලු දෙනාම රථයට  නැගුණු පසු තොරොක්කෝව පීලි දිගේ වේගයෙන් පහළට  බසින්නට විය.

ජබනාරම් සුවඳ ඔවුන්ට ආඝ්‍රාණය විය. ර්යෝහෙයිගේ කබාය පවනේ ලෙළ දුන්නේය.

''තල්ලු කරනවාට වැඩිය නැගලා යනඑක හරි ෂෝක්.ආපහු එනකොටත් කවුරු හරි තල්ලු කරනවා නම් හුඟක් තැන් නැඟිලා යන්න පුළුවන් ''. මෙවැනි නොයෙකුත් අදහස් ඔහුගේ සිතට වැදුණේය.

තොරොක්කෝව දෙපස වූ උණ පඳුරුවලට ළංවෙත්ම ක්‍රමයෙන් එහි වේගය අඩුවන්නට විය.තිදෙනා නැවතත් එය තල්ලු කිරීමට පටන් ගත්හ. උණ පඳුරු වන ලැහැබකට පරිවර්තනය විය.  මඟ දිගටම වැටි තිබුණ වියළි කොළවලින් පීලි සම්පුර්ණයෙන්ම වැසි තිබුණේය. ඔවුන් කඳු මුදුනට පැමිණි විට කඳු ගැට අතරින් මුහුද දිස්විය. බොහෝ දුර ගොස් ඇති බව ර්යෝහෙයිට වැටහුණේ එවේලෙහිය.

 තිදෙනා නැවත තොරොක්කෝවට නැග ගත්හ.එය මුහුදට වම්පසින් වන ලැහැබේ අතුපතර යටින් දිවෙන්නට විය. කෙසේ වුවද ර්යෝහෙයිට පෙරදී මෙන් තොරොක්කෝ පැදීමේ විනෝදය නම් මෙවර නොලැබිණි.ඔහුට එය ආපසු හරවා ගැනීම ට තරම් සිත් විය. එහෙත් එහි ගමන අවසාන වනතුරු එය ආපසු නොහැරෙන බව හේ විශ්වාස කළේය .

තොරොක්කෝව නැවතුණේය. ඔවුන් සිටියේ පිදුරු සෙවෙණි  කළ තේ පැන් හලකට මුහුණ ලාගෙනය. එය අසලින්ම පස් කණ්ඩි කඩා වැටුණු  කන්දක් විය.

තේ පැන් හල තුළට  පිවිසි කම්කරුවෝ බිලිඳකු පිටෙහි එල්ලාගත් ගැහැනියකගෙන් තේ ඉල්ලා ගෙන නිවාඩු පාඩුව එහි රස බලනු දක්නා ලදහ.

 ර්යෝහෙයි නොසන්සුන් ගතියකින් තොරොක්කෝව වටා සක්මන් කළේය. තොරොක්කෝ චැසියේ මුදුනෙහි  දෙපස.ලී පුවරු වල තැවරුණු මඩ තට්ටු වේලී කැටි ගැසී තිබුණේය.

  මිනිත්තු කිපයකට පසු කනේ සිගරැට්ටුවක් ගසා ගෙන සිටි මිනිසා කඩයේ සිට අවුත් කඩදාසියක ඔතන ලද සුකිරි වගයක් ඔහුට දුන්නේය. ර්යෝහෙයි කිසිම හැඟීමක් නැතිව ආවාට ගියාට මෙන් '' ස්තුතියි''යි කිවේය. 

එහෙත් තමා කොතරම් දරදඬු වී දැයි පසුව ඔහුට වැටහුණේය.එහි වරද හරි ගස්සන්නට මෙන් හේ සුකිරි ටිකක් කටට විසිකරගත්තේය.භූමිතෙල් ගඳක් ඔහුට දැනුණේ නිසැකයෙන්ම ඒ කඩදාසිය නිසා විය යුතුය.

  තිදෙනාම තොරොක්කෝව යළිත්  තල්ලු කරන්නට වුහ. ර්යෝහෙයිගේ අත් තොරොක්කෝව මත තිබුණු  නමුත් සිත යොමු වී තිබුණේ වෙනත් දේවල් කෙරෙහිය.

ඔවුහු අනෙක් පාර්ශ්වයේ කඳු පාමුලට ළඟා වුහ.එතනද මුලින් වූ තේ පැන්හල වැනි කඩයක් තිබුණේය.

කම්කරුවන් එය තුළට ගිය පසු ර්යෝහෙයි තොරොක්කෝවෙහි වාඩි ගෙන ''ආපසු ගෙදර යන්නේ කෙසේදැ"යි සිතන්නට විය.

   මිදිවල් මත වැටුණු බසින හිරුගේ ආලෝකය ක්‍රමයෙන් අඩුවන්නට විය.

''"දැන් හොඳටම හවස් වෙලා"

මේ අදහස පහළ වූ විට ඔහු නොවිසිලිමත් විය. හේ තම කරදරවලින් සිත වෙන අතකට යොමු කිරීමට මහන්සි ගත්තේය.තොරොක්කෝවේ රෝදවලට පයින් ගැසුවේය. තමාට බැරි බව  දැන දැනම මුළු ශක්තියම යොදා එය තනියම තල්ලු කිරීමට සැරසුණේය. 

කම්කරුවෝ ආපසු පැමිණ, 

''ළමයෝ ඉකමනට ගෙදර දුවපන් අපි අද රෑ මෙහි නතර වෙනවා.''යි කීහ.

''උඹ තවත් පරක්කු වුණොත් අම්මලා තාත්තලා කලබල වෙනවා''යි කීහ.  ර්යෝහෙයි මොහොතක් පුදුමයට පත්ව බලා සිටියේය. ඒවනවිට ඇඳිරි වැටී අවසානය. ගිය අවුරුද්දේ ඔහු ඉවාමුරා දක්වා පැමිණියේය. අද පැමිණි දුර ඊට වඩා සතර ගුණයකින් පමණ වැඩිය. ඔහුට මේ දුර ප්‍රමාණය තනියම පයින් යාමට සිදුවන්නේය. මේ හැම කරුණක්ම ඔහුගේ සිත විනිවිද ගියේය.

ර්යෝහෙයිගේ ඇස්වල කඳුළු පිරුණේය.හැඬිමෙන් පලක් නැති බවත් මෙය ඊට අවස්ථාව නොවන බවත් ඔහුට කල්පනා වුයේය. ඔහු තරුණ කම්කරුවන් දෙදෙනාට යන්තම් ආචාර කොට රේල් පීලි දිගේ දුවන්නට පටන් ගත්තේය. විටෙක ඔහු රේල් පිලි මත දිව්වේ තෝන්තු වූවාක් මෙනි 

සුකිරි මුල ඉරි විසිරෙන බව ඔහුට දැනුණේය. හේ ඉතිරි ටිකද ඉවතට විසිකළේය .පාවහන් යුවළද ගැලවී විසිවන්නට  ඉඩ හැරියේය.මේස් පමණක් ඇතිව දුවන ඔහුගේ පතුල්වල බොරළු ඇනී තරමක වේදනා ඇති වුවද දෙපාවලට ඉතා සැහැල්ලු බවක් දැනුණේය.

හේ කඳු මුදුනට දිව්වේය.වම පසින් මුහුද දිස්විය. කඳු ධාරා දෙකම්මුල් දිගේ වැගිරෙත්ම හිස දෙපසට ගැස්සිය.

 හේ නිර්භීත වීමට මහන්සි ගත්තේය.එහෙත් ඔහුගෙන් ඉබේම සුසුම් පිටවිය.

ඔහු උණ වනය මැදින් වේගයෙන් දුවන විට බැසයන හිරුගේ රැස් දුර්වර්ණ වෙමින් තිබෙනු කඳු මතින් දර්ශනය වුයේය. 

 ර්යෝහෙයිගේ සිත හොඳටම අවුල් වී ගොස්ය.සමහර විට එසේ වුයේ ගමන් මාර්ගය වෙනස් වූ නිසා විය යුතුය.මෙි දර්ශනය
  ඔහුගේ සිත නොසන්සුන් බවට පත්කළේය.

ඔහුගේ ඇඳුම් දහදියෙන් තෙත්ව තිබිණි. ඔහු ඇඳ  සිටි කබාය ඒ අවස්ථාවෙහි මහත් කරදරයක් වුයෙන් ඒ ගලවා වේගයෙන් විසිකළේය .

බලාපොරොත්තු සුන්වූ හේ දිගටම දුවන්නට වන්නේය.

   ජබනාරම් වත්තට ළං වනවිට විට හොඳටම ඇඳිරි වැටි තිබිණ. ඇතැම් විට ලිස්සමින් ඇතැම් විට ගල් මුල්වල හැපෙමින් දුවන අතර ''මගේ පණ නොනැසී තිබුණොත් ඇති''යි ර්යෝහෙයි තමාටම කියා ගත්තේය.

  නගරාන්තයෙහි වැඩපොළ අඳුරේම ර්යෝහෙයිට දිස්වූයේය.එවිට ඔහුට කෑගැසීමට සිත් විය. එහෙත් හේ දිගටම දිව්වේය. නගරයට පිවිසි විට වීදියෙහි පහන් දැල්වෙමින් තිබිණි. වතුර අදින ගැහැනුද ගොවිපොළේ සිට වැඩ නිමකොට තම නිවෙස්වලට යන මිනිස්සුද ර්යෝහෙයි හති දම දමා දුවනු දුටහ.  

''මොකද කාරණේ ?'' ඔවුහු ඔහුගෙන් ඇසුහ.

ඔහු කිසිවක් නොකියා බඩු ගබඩාවද බාබර් සාප්පුවද ආලෝකයෙන් බබළන තවත් නොයෙක් ගෙවල්ද පසු කළේය.


  ගෙදර ඉස්සරහ දොර ළඟට පැමිණි විට ර්යෝහෙයිට හැඬිම වළක්වා ගත නොහැකි විය .ඔහු හඬනු ඇසු මවත් පියාත් ඔහු වෙත දුව ආහ. 

මව ඔහු ළංකරගෙන යම් කිසිවක් කීවාය. එහෙත් ර්යෝහෙයි අතපය විසිකරමින් ඉකි බිඳිමින් දිගටම හඬන්නට විය. ඔහු බෙරිහන් දෙනු අසා අහල පහළ ගැහැනු කීප දෙනෙක් කළුවරේම එතනට රොක් වුහ. ඔහුගේ මවුපියන් මෙන් ඔවුහුද හැඬිමට කාරණය කුමක්දැයි විමසුහ. .ඔවුන් කුමක් ඇසුවත් ඔහු  ඒ ගණනකට නොගත්තේය. ඔහු දිගටම හැඬුවේය .

  ඒ සා විශාල දුර කතරක සිට දුව එද්දී දැනුණ තනිකම කොතෙක් හැඬුවද සිතින් බැහැර නොයන බව පසුව ර්යෝහෙයිට වැටහුණේය .

පරිවර්තනය - ජයන්ත විමලසේන 



අදහස් (1)

තොරොක්කෝව

පාලිත මහින්ද මුණසිංහ Tuesday, 10 December 2024 06:51 AM

තොරොක්කෝව - කෙටිකතාව -2024 12.10 දිනපතා ලංකාදීප රචකයා ජයන්ත විමලසේන මහතා මෙය ජපන් ජාතික රියුනොසුකේ අකුතගාවා ගේ කෙටි කතාවකි. හොඳ නිර්මාණයකි. මෙය මීට පෙර ඩක්කුව නමින් විමලදාස සමරසිංහ මහතා විසින් 2008 දී පලකල කුරුල්ලාගේ සුවඳ කෙටිකතා සංග්‍රහයේ 74 පිටුවේ සිට 83 පිටුව දක්වා කියවීමට ඇති කෙටිකතාවමයි නේද? මට වැරැදිමක් වෙලාවත්ද? ජයන්ත විමලසේන රචකයාගේ කුසලතාවය හා උත්සාහය අගය කරමි.

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

කෙටිකතා

රතු රෝස මල
2025 අප්‍රේල් මස 22 432 1

මගේ සොහොයුරකු වූ සෝමපාලගේ අසනීපය ගැන දැනගන්නට ලැබුණු වේලෙහි මා තුළ මහත් ශෝකයක් ඇති විය.


මගක් වසා මගක්
2025 අප්‍රේල් මස 15 466 0

’’දරුවා නැති කරමු’’ නිහැඬියාව බිදුණි. ඕ හොල්මනක් දුටුවාක් මෙන් ඔහු වෙතින් පියවරක් ආපසු ගත්තාය.


මල් මිටිය
2025 අප්‍රේල් මස 08 157 0

සමන්ගී බලාගෙන හිටියේ තමන් ගේ මේසය උඩ තියෙන ක්‍රිස්ටල් මල් බඳුන දෙස .ඒක හිස්.අද විතරක් නෙවෙයි දැන් දින ගණනාවක ඉඳලම ඒක හිස්.තමන් සේවය කරන ප්‍රචාරක ආයතනයේ


ඩේවිඩ්ගේ උයන
2025 අප්‍රේල් මස 01 490 2

සියල්ල සුබවාදී ලෙස සිතන්නටත්, පතන්නටත් හුරු පුරුදු වී සිටි මා කරා ව්‍යාධිය නම් වූ ධර්මතාව පැමිණියේ පෙර මට දන්වා නොවේ. මගේ දයාබර බිරිඳට හා දියණියට ද දන්ව


සියල්ල අහම්බයන්ය
2025 මාර්තු මස 25 686 2

“ අමල් මට ඔයාගෙන් දරුවෙක් ඕනේ…” ඇගේ දෙතනේ හිස හොවාගෙන සිටිද්දීදී මට ඒ වදන් ඇසුණේ දුර ඈත ග්‍රහලෝකයකින් එන්නාක් මෙනි. ඒ කටහඬේ තිබුණේ ඉමහත් දායාර්ද්‍ර බව


අඹුසැමියෝ
2025 මාර්තු මස 18 911 2

මහනුවර නගරයෙන් මදක් ඈතට වන්නට නිස්කලංක පරිසරයක පිහිටා ඇති සාත්තු නිකේතනයේ සේවයට පැමිණ මේ ගෙවී යන්නේ තෙවැනි වසරයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 880 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 393 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 547 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site