(මොහොමඩ් ආසික් සහ ෂේන් සෙනෙවිරත්න)

මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අද 17 වැනි දා සවස් කාලයේ ඇති වූ අධික වැසි හේතුවෙන් මහනුවර යාපනය ඒ 09 මාර්ගයේ අකුරණ නගරය සම්පූර්ණයෙන් ජලයෙන් යටවිය.

අද පස්වරුවේ සිට අකුරණ නගරයට සහ අවට ප්‍රදේශවලට ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයෙන් ගලා යන පිඟා ඔය සහ දුනුවිල මාර්ගයට සමාන්තරව ගලා විත් පිඟා ඔය හා එක් වන වහගල ඔයද පිටාර ගැලීම නිසා මෙලෙස නගරය ජලයෙන් යටවීම සිදු විය.

ඒ 09 ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීම නිසා මෙම වාර්ගයේ වාහන ගමනා ගමනය සම්පූර්ණයෙන් නැවතී ඇති බැවින් විකල්ප මාර්ග යොදා ගන්නා ලෙස පොලීසිය සහ අපදා කළමණාකරණ මධ්‍යස්ථානය වාහන හිමිකරුවන්ගෙන් සහ රියදුරන්ගෙන් ඉල්ලා සිටියි. අද සවස වන විට අකුරණ නගරය අඩි 10 කටත් වැඩි ප්‍රමාණයකින් ජලයෙන් යටව තිබෙනු දකින්නට ලැබිණ.

මේ හේතුව නිසා ව්‍යාපාරික ස්ථාන සහ නිවාස දහසකට ආසන්න ගණනක් ජල ගැලීමට ලක්ව ඇති අතර දේපළවලටද විශාල හානි සිදු වී තිබේ.

ජල ගැලීම ඇති වන අවස්ථාවේ මාර්ගය අයිනේ නවතා තිබූ කුඩා ප්‍රමාණයේ ලොරි රථයක්ද ජලයේ ගසා ගෙන ගොස් තිබේ. මෙයට අමතරව වටිනා භාණ්ඩ රැසක්ද ජලයේ ගසා ගෙන යනු දක්නට ලැබිණ.

---------------------------------------------------

 

(ෂේන් සෙනෙවිරත්න)

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇදහැලුන ධාරානිපාත වර්ෂාවත් සමඟ අකුරණ නගරයේ ඒ 09 මාර්ගය අවහිර වී ඇතැයි පොලීසිය දැනුම් දෙයි.

සවස් කාලයේ මහනුවර ඇතුළු අනෙකුත් කඳුකර ප්‍රදේශවලට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අකුරණ නගරය සම්පූර්ණයෙන් ජලයෙන්යටවී එහි කඩ සාප්පු නිවාස සම්පූර්ණයෙන් ජලයෙන් යටවී තිබෙනන අයුරු වාර්තා විය