(අංජුල මහික වීරරත්න)

වන අලි ඇතුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමත්, මිනිස් ජීවිත හා දේපළ සුරක්ෂිත කරමින් අලි–මිනිස් ගැටුම අවම කිරීමත් අරමුණු කරගත් ‘හස්ති සේනා’ ජාතික මෙහෙයුම යටතේ තිරප්පනේ ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී, වන සතුන් දඩයම් කිරීම සඳහා යොදාගන්නා අනවසර ගිනි අවි, බඳින තුවක්කු, හක්කපටස්, මදු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයාගෙන තිබේ.

ගල්කුලම, ගැටමාලාකන්ද, මුරියාකඩවල, පෙරියමියන්කුලම, කිරින්දේගම, නිරාවිය, තලගුලු විහාරය, නබඩවැව, වන්නන්කුලම, ඔරුක්කන්කුලම සහ කුට්ටිමඩුව ඇතුළු ප්‍රදේශ රැසක් ආවරණය කරමින් මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කෙරිණි.

පරිසර අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ, 212 වන පාබල බලසේනාව යටතේ පවතින 7 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ප්‍රධාන දායකත්වයෙන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක විය.

21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කමින්ද සිල්වා මහතාගේ සහ 212 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුරංග බස්නායක මහතාගේ අධීක්ෂණය යටතේ, 7 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ප්‍රභාත් අබේවික්‍රම මහතාගේ මෙහෙයවීමෙන් සහ බලඝණාධිපති මේජර් දිමුතු මුල්ලේවිදාන මහතාගේ සහභාගීත්වයෙන් මෙම මෙහෙයුම සංවිධානය කර තිබිණි.