
(අංජුල මහික වීරරත්න)
ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවර ප්රශ්නය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයේ හිතාමතාම මහජනතාව නොමග යවන සුළු විකෘති අදහසක් ඉදිරිපත් කර ඇතැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය නීතිඥ හර්ෂණ නානායක්කාර නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එක්සත් ජාතික පක්ෂය 2026.10.14 දින නිකුත් කළ මාධ්ය නිවේදනයට පිළිතුරක් ලෙස නිකුත් කෙරුණු එම නිවේදනයේ මෙසේද සඳහන්ය.
එක්සත් ජාතික පක්ෂය විසින් ඊයේ (14) දින නිකුත් කරන ලද මාධ්ය නිවේදනය සම්බන්ධයෙන් මාගේ අවධානය යොමු වී ඇත. එම ප්රකාශයේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා උපුටා දක්වමින් භික්ෂූන් වහන්සේලා ප්රමුඛ ආගමික නායකයින් බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාමට අදාළ බන්ධනාගාර විධිවිධාන සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීම අවශ්ය නොවන කටයුත්තක් බවත්, දැනටමත් බන්ධනාගාර දෙපාර්තමේන්තු නිත්ය නියෝගවල අනුගමනය කළ යුතු විධිවිධාන සියල්ලක්ම පැහැදිලිව සඳහන්ව ඇති බවත් ප්රකාශ කර ඇත.
නමුත් මෙම නිවේදනයේ හිතාමතාම උක්ත කරුණු තහවුරු කිරීම පිණිස බන්ධනාගාර නිත්ය නියෝග අංක 550 හි එක් කොටසක් පමණක් උපුටා දක්වා මහජනතාව නොමග යවන සුළු විකෘති අදහසක් ඉදිරිපත් කර තිබීම කණගාටුදායකය. සිරදඬුවම් විඳින භික්ෂූන් වහන්සේ නමකට අදාළ කරුණක් වැනි සමාජයට සංවේදී කරුණක් අරභයා මෙවැනි විකෘති සහගත අදහසක් සමාජගත කිරීමට වගකීම් සහගත දේශපාලන පක්ෂයක් කටයුතු කිරීම කණගාටුදායක තත්වයකි.
නීතිමය විධි විධානයක එක් කොටසක් පමණක් පදනම් කරගනිමින් කරුණු ඉදිරිපත් කිරීම තුළ වැරදි හෝ අසම්පුර්ණ අවබෝධයක් ඇති විය හැකි බව නීතිය පිළිබඳ අවම හෝ අවබෝධයක් සහිත අයෙකුට අවබෝධ විය යුතු කරුණකි. එම මාධ්ය නිවේදනයේ නොමග යවන සුළු තත්ත්වයක් නිර්මාණය වන්නේ අදාළ නිත්ය නියෝගයේ සම්පූර්ණ අන්තර්ගතය ඉදිරිපත් නොකිරීම සහ ඥානසාර හිමියන්ට ලැබී ඇති සිරදඬුවමේ කාල සීමාව සැලකිල්ලට නොගනිමින් කරුණු ඉදිරිපත් කිරීමයි. බන්ධනාගාර ආඥා පනතේ 550 වන වගන්තිය:
"උසාවියට ඉදිරිපත් කළ යුතු වරදකරු කරනු ලැබූ සිරකරුවන් බන්ධනාගාර ඇඳුමින්ම උසාවියට ඉදිරිපත් නොකළ යුතුය. ඒ වෙනුවට වරදකරුවන් කරනු ලැබීමට පෙර ඔවුන් ඇඳීමට පුරුදුව සිටි ඇඳුමට ගැලපෙන සිවිල් ඇඳුමක් ඇඳීමට ඔවුන්ට ඉඩ දිය යුතුය. අවුරුදු තුනක හෝ ඊට අඩු හෝ සිරදඬුවම් ලද සිරකරුවන් සම්බන්ධයෙන් කළ යුත්තේ ඔවුන්ගේ පෞද්ගලික ඇඳුම් ගබඩාවෙන් ගෙන ඇඳීමට දීමය. ඔවුන්ගේ පෞද්ගලික ඇඳුම් වලින් සිරකරුට ශිෂ්ට සම්පන්න පෙනුමක් නොලැබේ නම් මුදාලන විට සිරකරුවන්ට ආණ්ඩුවේ වියදමින් දෙනු ලබන රෙදිපිළිවලින් එම අඩුපාඩුව පිරවිය යුතුය. අවුරුදු තුනකට වැඩි සිරදඬුවම් ලද සිරකරුවන් සම්බන්ධයෙන් මුදාලන සිරකරුවන්ට දීමට නියම කොට ඇත්තා වූ ද බන්ධනාගාරයේදී අයත්වන වස්ත්ර චක්රයට ගැලපෙන්නා වූද ඇඳුම් ඇඳීමට සැලැස්විය යුතුය. මේ සඳහා අවශ්ය වන රෙදිපිළි 'ඒ' චක්රය හෝ 'බී' චක්රය යටතේ වර්ග කර තිබෙන සිරකරුවන්ට දීම සඳහා සිරකරුවන් මුදාලන විට දෙනු ලබන සම්පූර්ණ ඇඳුම් කට්ටල සෑහෙන ප්රමාණයක් සෑම බන්ධනාගාරයකම උපකරණ ගබඩාවේ සූදානමින් තැබිය යුතුය. එසේ නිකුත් කරනු ලබන රෙදිපිළිවල බන්ධනාගාර රෙදිපිළි වශයෙන් හඳුනා ගැනීමට කිසිදු සලකුණක් නොතිබිය යුතුය."
බන්ධනාගාර නිත්ය නියෝග 550 හි මූලික කරුණු 03 ක් අන්තර්ගතය:
1. උසාවියකට ඉදිරිපත් කළ යුතු වරදකරු කරනු ලැබූ සිරකරුවන් බන්ධනාගාර ඇඳුමින්ම උසාවියකට ඉදිරිපත් නොකළ යුතුය.
2. අවුරුදු තුනක හෝ ඊට අඩු හෝ සිරදඬුවම් ලද සිරකරුවන් සම්බන්ධයෙන් ඔවුන්ගේ පෞද්ගලික ඇඳුම් ඇඳ පැළඳ බන්ධනාගාරයෙන් බැහැර විය හැකිය.
3. අවුරුදු තුනකට වඩා වැඩි සිරදඬුවම් ලැබූ සිරකරුවන් බන්ධනාගාරයෙන් බැහැර වන විට, මුදාලන සිරකරුවන්ට දීමට නියම කොට ඇත්තා වූ බන්ධනාගාර වස්ත්ර චක්රයට ගැලපෙන්නා වූ ඇඳුම් ඇඳීමට සැලැස්විය යුතුය.
ඒ අනුව ඥානසාර හිමියන්ගේ බන්ධනාගාරගත කිරීම වසර හයක කාලයක් වන බැවින් උන්වහන්සේගේ පෞද්ගලික ඇඳුමෙන් (සිවුරෙන්) අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි අතර, එයට අදාළ වන්නේ ඉහතින් සඳහන් කළ 550 වගන්තියේ තුන්වන කොටසයි. එම වගන්තියට අනුව ප්රකාශ කරන 'ඒ' හා 'බී' වස්ත්ර කාණ්ඩ වලට භික්ෂූන් වහන්සේ විසින් අඳිනු ලබන චීවරය ඇතුළත් නොවේ. ඒ අනුව භික්ෂූන් වහන්සේලා සමග රජය පැවැත් වූ සාකච්ඡා වලදී ඉදිරිපත් වූ යෝජනාව අනුව රැස්වූ විශේෂ කමිටුව නිත්ය නියෝග සංශෝධනය කර වසර තුනකට වැඩි සිරදඬුවමක් ලැබුණු භික්ෂුවකටද තම නිකායේ හෝ පාර්ශවයේ අනුමැතිය පරිදි බන්ධනාගාරයෙන් බැහැරවීමේදී තම චීවරය පැළඳ බන්ධනාගාරයෙන් බැහැරවීමට අවස්ථාව ලබා දීම සඳහා නිර්දේශ කරනු ලැබ තිබේ. මෙම නිර්දේශයට අනුව අඳිනු ලබන වස්ත්ර කාණ්ඩයට එය ඇතුල් කිරීම මගින් බන්ධනාගාර නිත්ය නියෝගයන්ට අදාළව මෙතෙක් පැවති අඩුපාඩුව සම්පුර්ණ කිරීමට කටයුතු යොදා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd