(අංජුල මහික වීරරත්න)

​කලා සම්ප්‍රදායන් පිළිබඳ ගැඹුරු දැනුමක් ඇති සහ ඒවායේ වටිනාකම හඳුනාගත් පරම්පරාවක් බිහි කිරීමට අවශ්‍ය පදනම සැකසීම රජයේ වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූය පැවසුවාය.

මිනිසුන් අතර සහකම්පනය, සංහිඳියාව සහ සාමය වර්ධනය කරන අන් අයගේ වේදනාව හඳුනා ගැනීමට හැකි  වෙනස්කම් වලට ගරු කිරීමට මඟ පෙන්වන කලාවක් බිහි විය යුතු බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.

 'සාම මුද්‍රා නාට්‍යයේ' 40 වසරක ගමන් මඟ සැමරීම සහ එහි ප්‍රවීණයන් ඇගයීමේ "TRIBUTE TO LEGENDS" උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය  මේ බව සදහන් කළාය.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මෙය පැවැත්විණි.

​මෙම උත්සවයේදී කලා ක්ෂේත්‍රයේ දැවැන්තයින් වන කලාකීර්ති රවිබන්දු විද්‍යාපති, මහාචාර්ය මුදියන්සේ දිසානායක, ආචාර්ය චන්න විජේවර්ධන සහ සාම මුද්‍රා නාට්‍යයේ පුරෝගාමියකු වන නවීන් ගුණරත්න යන මහත්වරුන් ඇතුළු සාම මුද්‍රා නාට්‍යයේ ශිල්පීන්ගේ අතීත මෙහෙවර ඇගයීමට ලක් කරමින් අග්‍රාමාත්‍යවරිය  අතින් සම්මාන ප්‍රදානය සිදු කෙරිණි.

සාම මුද්‍රා නාට්‍යයේ 40 වසරක ගමන් මඟ අනුස්මරණය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මඟින් සමරු මුද්දරය සහ මුල්දින කවරය නිකුත් කිරීම ද මෙහිදී සිදු විය.

​මෙම අවස්ථාවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්ම මහත්මීහු ද  සහභාගී වූහ.