(අමදෝරු අමරජීව )

වෙරළ කලාපය තුළ අනවසර ඉදිකිරීමක් සම්බන්ධයෙන් ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුවකට පෙනී නොසිටීම නිසා විවෘත වරෙන්තු මත සිටි ය බලංගොඩ කස්සප හිමි  බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ එම හිමියන් හෙට  (17) දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම්.එස්.එම්. සන්සුදීන් මහතා නියම කළේය.

බලංගොඩ කස්සප හිමියන් අනුරාධපුර සිදුවීමකට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියදී බන්ධනාගාර නිලධාරීන් විවෘත වරෙන්තුවට ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් අධිකරණයට මෙලෙස ඉදිරිපත් කළ අවස්ථාවේ ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරු රැසක් සැකකාර හිමිනම මහේස්ත්‍රාත්වරයාට හා අධිකරණයට අපහාස කර ඇති බව එක හඬින් පැවසීය.

සැකකාර හිමියන් වෙනුවෙන් නීතිඥයකු පෙනි නොසිටි අතර  මහේස්ත්‍රාත්වරයා නීතිඥයකු පෙනි නොසිටිම සම්බන්ධයෙන් සැකකාර හිමිනමගෙන් විමසීමක් කළේය.

එහිදී ය බලන්ගොඩ කස්සප හිමියන් විවෘත අධිකරණයේ ප්‍රකාශයක් කිරීමට ඉල්ලූ අවසරයට මහේස්ත්‍රාත්වරයා අවසරය ලබා දුන් අතර එහිදී සැකකාර හිමිනම ප්‍රකාශ කළේ තමන් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව තිබු දින අනුරාධපුර මාරාන්තික උපවාසයක නිරත වී සිටී බවත් එහිදී පහර කෑමට ලක්ව රෝහල්ගතවීම නිසා ත්‍රිකුණාමලයේ නඩුවට පෙනී සිටීමට නොහැකි වු බවත් ඒ සම්බන්ධයෙන් තමන්ට ඇප ලබාදෙන ලෙසත් ඉල්ලීය.

පෙර දින රාත්‍රී තමන් ත්‍රිකුණාමල බන්ධනාගාරයට රැගෙන ඒම නිසා නීතිඥ සහාය ලබා ගැනීමට වේලාවක් නොතිබුණු බවද කී සැකකාර හිමිනම තමන් අධිකරණයට හෝ මහේස්ත්‍රාත්වරයාට අපහාසයක් නොකළ බවත් සංඝ නීතිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා නොදන්නාකම පමණක් ප්‍රකාශ කළ බවත්  කීහ.

මෙහිදී පොලිසිය වෙනුවෙන් පෙනී සිටි ත්‍රිකුණාමලයවරාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සසංක කුමාර සමරසිංහ මහතා විවෘත අධිකරණයේ ප්‍රකාශයක් කරමින් පැවසුවේ ත්‍රිකුණාමල මහාධිකරණයෙන් ප්‍රශ්නගත නඩුවට සැකකරුවන්ට ඇප නියම කිරීමේදී සැකකාර හිමිනම ඇප කොන්දේසි කඩකර ඇති නිසා ඇප ලබාදීමට විරුද්ධ බවය.