(රංජන් කස්තුරි සහ නිමල කොඩිතුවක්කු)

බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා ගිහි පැවිදි පිරිසක් සහ සිවිල් ක්‍රියාකාරිකයන් පිරිසක් එක්ව ඉකුත් දා ආරම්භ කළ “සිවුරට යුක්තිය -නිදහසේ පාද යාත්‍රාව” දින හයක චාරිකාවකින් පසුව මහවැසි මධ්‍යයේ අද(15) පස්වරුවේ කොළඹට පැමිණීයේය.

පාගමනින් පැමිණි භික්ෂූන් වහන්සේලා අද පස්වරුවේ ජනාධිපති ලේකම්කාර්යාලය අසලට පැමිණ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමුවී සාකච්ඡා කරනු ලැබීය.

එහිදී මහ සංඝරත්නය කියා සිටියේ, ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබාදුන් ජනාධිපති සමාවේ ඇති බව කියන තාක්ෂණික දෝෂය නිවැරදි කර දෙන ලෙසයි.

කෙසේවෙතත් ඊට පිළිතුරු ලබා දෙමින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා කියා සිටියේ, මේ අවස්ථාවේ මේ සම්බන්ධයෙන් නිසි පිළිතුරක් ලබා දිය නොහැකි බවය. කෝට්ටේ ශ්‍රී කල්‍යානී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් කඩවත බෝධින් වහන්සේ ඉදිරිපිටින් අද පෙරවරුවේ පා ගමන ආරම්භ කෙරිණ.

චීවරයට අත නොතබනු රට ජාතිය වෙනුවෙන් හඬ අවදිකළ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සාධාරණය ඉටුකරනු මැයෙන් ඥානසාර හිමියන්ට නිදහස ඉල්ලීම සඳහා විවිධ වැකි ලියූ බැනර් සහ පුවරු ප්‍රදර්ශනය කරමින් මෙම පා ගමන සිදුකෙරිණ.

බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමින් සිදුකරන නිදහසේ පා ගමනට සහයෝගය දැක්වීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඊට ගිහි පැවදි විශාල පිරිසක් එක්වූහ.

මහනුවර මහමලුවේ සිට ඉකුත් 10 වැනිදා පා ගමන ආරම්භ කෙරිණ.

පළමු දිනයේ පා ගමන මහනුවර සිට කඩුගන්නාව දක්වා ගමන් කෙරිණි.

දෙවැනි දිනයේදී කඩුගන්නාවෙන් ආරම්භ වූ පා ගමන කෑගල්ල නගරයෙන් නිමා කෙරිණි. තෙවැනි දින කෑගල්ල නගරයෙන් ආරම්භ වූ සිවුරට යුක්තිය නිදහසේ පා ගමන වරකා පොළ නගරය දක්වා පැමිණ තිබිණි.

පා ගමනේ පස්වැනි දිනය වූ පෙරේදා නිට්ටඹුව නගරයෙන් ඇරැඹි පා ගමන පස්වරුවේ කඩවත නගරය දක්වා ගමන් කෙරිණි.

මෙම පාගමන සඳහා මහා සංඝ රත්නය, දේහපාල`ඥයින්” සිවිල් ක්‍රියාකාරීන් ඇතුලු විශාල පිරිසක් පා ගමනට එක්ව සිටියහ.

ඡායාරූප ඉසුරු පෙරේරා