යම්කිසි චරිතයක් පේ‍්‍රක්ෂකයාට දැනෙන්නට, හැඟෙන්නට, විඳින්නට හැකි ලෙස රංගනයේ යෙදෙන ශිල්පිනියක ලෙස චාන්දනී සෙනෙවිරත්න හඳුන්වාදිය හැකිය. ඇය අපට සිටින දක්ෂතම රංග ශිල්පිනියන් අතළොස්සට අයත් තවත් චරිතයකි. ඇය ගැන අද බොහෝ විචාරකයින් මෙන්ම පේ‍්‍රක්ෂකයින් කතා කිරීමට හේතුව අරුණ ජයවර්ධනගේ ”නිකිණි වැස්ස” චිත‍්‍රපටයේ රඟපාන චරිතය නිසාය. නිකිණි වැස්සට අපූරු ජීවයක් කැවූ චාන්දනී සමග අපි කතා බහකට එක්වෙමු.
මේ චරිතය ගැන කරන සඳහනකින් අපි පිළිසඳර ඇරඹුවහොත්?
මෙය සත්‍ය කතාවක් වටා ගොනු වූ චරිතයක්. ඇයගේ සත්‍ය චරිතය සහ ඇයගේ ජීවිතයේ මුහුණපාන්නට වූ කාරණා ගොනුවූ චරිතයක්. සාමාන්‍යයෙන් බහුලව අපට මුණ ගැහෙන චරිතයක් නොවේ. මරණයට පත්වූ කෙනකුගේ දේහය මල් ශාලාවේ සිට එම්බාම් කිරීමේ කටයුත්තේ සිට සියල්ල සිදුවන්නේ ඇයගේ අතින්.
මේ චරිතය කරද්දී ඔබට දැනිච්ච දේවල් මොනවද? කොහොමද මේ චරිතය ගැන හැඟෙන්නෙ?
මෙතෙක් කළ චරිත සමග එය සැසඳිය යුතු නැහැ. සැසඳීමක් කරන්න මම කැමති නැහැ. සෑම නිර්මාණයක්ම මට වැදගත්. නමුත් මෙම චරිතයේ හැටියට ශ්‍රී ලංකාවේ පමණක් නෙවෙයි, ලෝකයේම මෙවැනි චරිත විරලයි.
එවැනි විරල චරිතයකට රංගනයෙන් දායකවීම ඔබ දකින්නෙ?
මේ චරිතයෙ නම සෝමලතා. සෝමලතා වැනි චරිත ආගන්තුක නැහැ. නමුත් ඇය කරන මෙම වෘත්තිය ආගන්තුකයි. එනිසා ඒ ආගන්තුක බව මකා ගන්න ඒ වෘත්තිය සාමාන්‍ය දෙයක් බවට පත්කර ගැනීම සඳහා සත්‍ය ලෙස ඇය කරන කටයුතු දැක බලා ගැනීමට සම්බන්ධ වුණා. මිනියක් එම්බාම් කිරීමේ සිට නිවසට රැගෙන යාම දක්වා කරන ඒ කටයුත්ත ලොකු අත්දැකීමක් වුණා. සාමාන්‍ය ජීවිතයේදී මිනියක් වෙතින් ඈත්ව කටයුතු කිරීම කාගෙත් කැමැත්තයි. නමුත් ඒ ඈත්වීම වෙනුවට මිනියකට ළංව කටයුතු කිරීමට සිදුවුණා. එය එහෙම වුණේ සෝමලතාත් අප අතර සිටින චරිතයක් නිසයි. අරුණ සමග මෙහි පිටපත ගැන හොඳ අවබෝධයෙන් කටයුතු කළ බව කියන්න පුළුවනි.
පේ‍්‍රක්ෂකයින්ට මෙය කෙසේ සමීප වේවිද?
පේ‍්‍රක්ෂක රසය එකිනෙකාට වෙනස්. නමුත් සිනමාත්මක රසයට පුරුදු පුහුණු වූ පිරිසක් සිටිනවා. කැමති වගේම අකමැති පිරිසක් සිටින්න පුළුවනි. එය සාපේක්ෂයි. කෙසේ වෙතත් මේ චරිත වෙතින් විකාශය වන්නේ සැබෑ මානුෂීය අවස්ථා වෙන්න පුළුවනි. ඒ හැර බලහත්කාරයෙන් ඇතුළු කරගත් දේවල් කිසිවක් නැහැ.
මෙලෙසින් රංගනයේ විවිධ පරාසයන් අතර සිටින ඔබ වේදිකාවේදී පුත‍්‍ර සමාගම, මායාදේවි සහ බර්නාඩාගේ සිපිරි ගෙය සමග අපට හමුවනවා. ඊට අමතරව රූපවාහිනියට ලබා දෙන දායකත්වය නැති තරම්?
අප්පච්චි ටෙලි නාට්‍යයට දායක වුණාට පසුව, කරන්න තරම් හිතක් දෙන, හිතට ආසා හිතෙන, ඒ කරන දේට සතුටු වන විදියෙ දෙයක් ලැබුණෙ නැහැ. මෙගාවලට නම් යන්නෙ නැහැ. හොඳ පිටපතක් ලැබුණොත් කරාවි.
හොඳ චරිත කියන දේ ඔබ විග‍්‍රහ කරන්නෙ මොන විදියටද?
එයින් අදහස් කරන්නෙ ලෝකයේ තියෙන විශිෂ්ටතම පිටපත ලැබෙන කල් බලන් ඉන්නවා කියන එක නම් නෙවෙයි. නිකම්ම නිකම් නොවූ සිද්ධි සමූහයකට දායක වීම ඵලක් නැහැ. මුලින්ම ඒ චරිතය මට දැනෙන්න එපායැ. හැමෝම සතුටු වෙන්න ඒ නිර්මාණයේ ගුණය තියෙන්න ඕනෑ. චරිතයක් සතුටින් බාර ගන්න ඒ වටපිටාව බලපානවා. කිසිම හේතුවක් නැතිව, නිකම්ම කරන්න දෙයක් නැහැනෙ.
කෙසේ වෙතත්, කලාවට සමීපව ගෙවී යන මේ ජීවිතය ඔබට දැනෙන්නෙ කොහොමද? හැඟෙන්නෙ කොහොමද?
සතුටු විය හැකියි. විවිධ චරිත රංගනයන්ට දායකවුණා. එය උපරිම සතුටම කියලා මම හිතන්නෙ නැහැ. වෘත්තීය මට්ටමින් හිතන විට එය ගොඩාක් දුරයි. රංගන වෘත්තියේදී සීමාව මෙතැනයි කියා දක්වන්න බැහැ. රංගන ශිල්පිනියක ලෙස ගත්තාම චරිත රංගනය අතින් සතුටු විය හැකි සීමාව ඇත්තේ අනන්තයක වෙන්න පුළුවනි. කෙසේ වෙතත් ලැබුණු දේ ගැන සතුටු වන අතරේ ඉදිරියටත් තවත් බලාපොරොත්තු රංගනය කෙරෙහි තබා තිබෙනවා.
පේ‍්‍රක්ෂකයකු ලෙස පවතින කලාව ඔබට දැනෙන්නෙ කොහොමද?
මට හිතෙන විදියට, විෂයයක් ලෙස ගත්තාම මාධ්‍ය ගැන හිතන, ඒ ප‍්‍රකාශන මාධ්‍ය කෙරෙහි අරුත ගැන කැක්කුමක් තියෙන පිරිස ඉන්නෙ ටික දෙනයි. ඒ අය හරහා නිර්මාණයක් කිරීමේ වටපිටාව බලා සිටීම පාඩුවක්. ඒ කියන්නෙ ඒ අය වෙතින් නිර්මාණ බිහිවීම ප‍්‍රමාණවත් නැහැ. අඩුවක් තියෙන්නෙ. මට හිතෙන්නෙ එහෙමයි.
|
නිකිණි වැස්සේ සෝමලතා ලෙස එය මගේ පළමු අත්දැකීම විය. නිකිණි වැස්ස මගේ නිළි ජීවිතයේ කූඨප‍්‍රාප්තියයි. මෙවන් පෙර පුහුණුවකින් පසු මා රඟ පෑ පළමු හා එකම සිනමා පටයද එයයි. මම ඒ ගැන දැන් ඔබට කියමි. සෝමලතා මිනී පෙට්ටි සාප්පුකාරියකි. තිර පිටපතට අනුව ඇයට භාරවන මළසිරුර රැගෙන ඒම, සැකසීම, සැරසීම, දෙනේ තැන්පත් කිරීම මේ ආදී කුදු මහත් සියළු කටයුතු ඇය අතින්ම සිදුවේ. ඇයට අත්උදව්කරුවෙකුද සිටී. ඔහු නමින් පියසිරිය. ජගත් මණුවර්ණ ඒ භූමිකාවට පණ පොවයි. රූගතකිරීම්වලට පෙර අප දෙදෙනා අවමංගල්‍ය ශාලාවක පුහුණුවක් ලැබිය යුතු බව අධ්‍යක්ෂක අරුණ ජයවර්ධනගේ තීරණයයි. ඒ අනුව නිකිණි වැස්ස රූගත කළ අම්පාර ප‍්‍රදේශයේ අවමංගල්‍ය ශාලාවක පුහුණුවීම් කටයුතු සූදානම් කර තිබුණා. මෙයට පෙර කිසි දිනක මළ සිරුරක් අතපත ගා නොතිබුණු මම මුල් දිනයේ එයට කෙසේ මුහුණ දුන්නාදැයි සිතා ගන්නට ඔබට භාරකරමි. ජගත් මා හා සිටීම මට ලොකු අස්වැසිල්ලක් විය. ඔහු මුල සිටම පළපුරුද්ද ඇත්තෙකු සේ වැඩට බැස සිටී. මම ද සිතට ධෛර්ය ගෙන ටිකෙන් ටික මළවුන් හා මිතුරු උනෙමි. දෙවන තුන්වන දිනය වන විට මළවුන් අතර ගත කිරීම මට අමුත්තක් නොවීය. මා ලද ඒ පුහුණුව කෙතරම් වැදගත් දැයි මට වැටහුනේ පසුව කළ රූගත කිරීම් පටන් ගත්තාට පසුවයි.
නිකිණි වැස්ස නරඹන ඔබේ සිතේ සෝමලතා ගැන ඇතිවන හැඟීම දැනගන්නටත් මම ආසයි.
|

නිකිණි වැස්ස රැුගෙන අප ඩුබායි අන්තර්ජාතික සිනමා උළෙලට ගිය විට හමුවූ හැම විදේශ නිළියක්ම වාගේ විමසුවේ මා කෙසේ ඒ දර්ශන වලට මුහුණ දුන්නාද කියලයි. මේ සියළු විස්තර ඔවුන්ට කී විට ඔවුන් විශ්මයට පත්වුණා. නිකිණි වැස්සේ සෝමලතා මා මෙතෙක් රඟපෑ චරිත අතරින් සුවිශේෂ බව කිව යුතුය. හුදෙකලා වූ ගැහැණියක් කෙතරම් නම් අසරණ වෙනවාද? එවන් ගැහැණියකට ඒ අභියෝග මැඩගෙන මතුවන්නට ඇය තුළ ආත්ම ශක්තිය ගොනුවන හැටි එක මොහොතක වේදනාවත් තවත් මොහොතක දැඩි අධිෂ්ඨානයත් ඊළඟ මොහොතේ සතුටක සේයාවත් මතු කළ යුතුව තිබූ සෝමලතාගේ චරිතය කොයිතරම් සංකීර්ණද? එවන් සංකීර්ණ චරිතයකට මා උපරිමයෙන් සාර්ථකව මුහුණ දුන්නායැයි මට හරිහැටි තේරුම් ගියේ ඩුබායි උළෙලේ අවසන් දා සම්මාන රාත‍්‍රියේ මාගේ රංගනය ඇගයීමට ලක්වූ මොහොතේයි. එදා ඒ ශාලාවට රැස්ව සිටි ලෝකයේ නන් දෙසින් පැමිණ සිටි සිනමා දැවැන්තයන්ගේ ජය ඝෝෂා මැද වේදිකාවට පියනගන මොහොතේ මගේ කණට වැටුනු ජූරියේ ප‍්‍රධානියාගේ නිර්දේශය ජීවිතය පුරාවට මගේ හදවතේ තැන්පත්ව තියෙනු ඇත. ”පුංචි රටෙන් පැමිණි මේ සොඳුරු රංගන ශිල්පිනිය තිරය මත ප‍්‍රාතිහාර්යයක් කළා යැයි මම සිතමි.”
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරි පැරකුම් චිත්‍රපටයේ හොඳම රඟපෑම මම දැක්කේ ඔබෙන්. රෙදි නැන්දාගේ චරිතයට ඔබ මනා ලෙස පන දී තිබුනා. රඟපෑම ගැන ඉගෙනගන්න මෙවැනි ප්‍රතිභාපූර්ණ නිළියන්ගෙන්. නැතුව තමන්ම තමන්ගේ වරිගේ ගැන පම්පෝරි නොගහ. (නි)
චිත්‍රපටය තවම නැරැඹීමට අවස්ථාවක් නොලැබුණත් රංගනය ප්‍රතිභා පූර්ණ බව නිසැකයි.(අ)
ආදරණිය චාන්දනී, ඔබ විශිෂ්ට ගනයේ නිලියක්. ඉතාම සරලව දක්ෂ ස්වාබාවිකව චරිතයට පන පොවන රන්ගන ශිල්පිනියක්. මම කැමතිම නිලියක්. ජයවේවා !!! (නි)
ගෞරවය තියාගෙන ඉන්න රංගන ශිල්පිනියක්,, විශිෂ්ටයි! සුබපැතුම් .(නදී)
මාලනී,ස්වර්ණ ගෙන් පසුව පර පුරේ බිහිවුණු දක්ෂතම රංගන ශිල්පිනිය. එයා සම්බන්ධවෙන්නේ හරවත් නිර්මාණ වලට පමණක් බැවින් ,කිසිම චකිතයකින් තොරව,ඇය රඟපාන නිර්මාණයක් බලන්න පුළුවන්. තරුණ මහලු, වගේම හද්ද පිටිසර වගේම නාගරික සංකර චරිතයක් එක සේ දක්ෂ ලෙස රගපාන්න පුළුවන් දැනට සිටින එකම නිළිය මෙතුමියයි.(නදී)
ඇත්තටම ඔබ නියම නිලියක්, ගොඩාක් චරිත කළේ නැතත් කළ ටිකට මම කැමතියි (නි)
දක්ෂ, වැදගත්, නිලියක්. (නි)
මෙම කතාව කලකට පෙර පුවත් පතක පලවූ සත්‍ය කතාවක්. කතා නායිකාව ඇඹිලිපිටිය පළාතේ.එමනිසා ඇයටද සම්මානය කොටසක් අයිතිය ලැබීමට සුදුසුයි (අ)
මම කැමති නිලියක් (අ)
චාන්දනී සෙනෙවිරත්න කියන්නේ ලංකාවේ ඉන්න නිලියන් අතර අග රැජිනක්. විශිෂ්ට රංගන කුසලතාවයක් දක්වන නිලියක්. මගේ උණුසුම් සුබ පැතුම්.(නදී)
අක්කේ ඔය ගේ රංගපෙම් මම ඉස්සරලම බැලුවේ ''''බුමුතුරුණු;; නාට්යෙන්,එදා ඉඳල අද වෙන කන් මගේ හොඳම නිළියන්ගෙන් කෙනෙක් ඔය,මට කවුරුහරි කියන්න චාන්දනී අක්ක දුබි සිනමා උළෙලේ හොඳම නිළිය උනාද,,?? ඇයි අපේ ව අගේ නොකරන්නේ (අ)
සැබැවින්ම චාන්දනී විශිෂ්ට නිළියක්. සිරි පැරකුම් චිත්‍රපටියෙත් ප්‍රධාන චරිත අභිබවා රෙදි නැන්දා ඉස්මතු වුනා.(නදී)
ඔබ ඉතාමත්ම දක්ෂ රංගන ශිල්පිනියකි. මනෝරත්නයන්ගේ විවිධ නාට්‍ය සමග ඉතාලියට පැමිණ ඇති ඔබ මෙහි සිටින බොහෝ ලාංකිකයන්ගේ ඇගයීමට පාත්‍ර වූ ශිල්පිනියකි. (නි)
ආදරණීය චාන්දනී අක්කේ, මෙය ඔබගේ විශිෂ්ටම රංගනයි. රංගනයට එහා ගිය මහා ප්‍රාතිහාර්යක් ඔබ මේ චරිතයෙන් පෙන්වනවා. ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවුන අග්‍රගණ්‍ය චිත්‍රපටියක් විදිහට මෙය ඉතිහාස ගතවේවි. ඔබගේ නිරහංකාරකම, කැපිපෙනෙන්න නොදකින එක ඔබටම අනාගතයට ආශීර්වාදය වේවි. හදවතින්ම මම ඔබට සුබපතමි. චිරන්ජයතු. (නි)
රගපාන චරිතයට සාධාරණය ඉටු කරන නිලියක්. අපි ගොඩක් ආදරෙයි. අනාගකයට සුභ පැතුම්.(නදී)
මම බොහොම අදෙරේ කරන දක්ෂ, වැදගත්, නිලියක් (දී)
මගේ ප්‍රියතම නිළිය ඔබව බවට පත්වුයේ මේ සම්මාන ලැබීමට ගොඩක් ඉහතදී වීම ගැන මම ආඩම්බර වෙමි. ඔබ රගපානවා නොව එම චරිතය පනපොවනවා යන්න වඩාත් නිවැරදිය. ඔබ හා සලකන කල අයිරාංගනී සේරසිංහ මහත්මියද වියපත් නමුත් ඔබ මෙන්ම වටිනා නිළියකි. (දී)
චාන්දනී රග පාන්නේ ඒ චරිතයේ ජිවත් වෙමින්.ඒ තරමට විශ්ෂ්ට නිලියක්.චාන්දනී ගේ රංගනය ඔපවත් කරන්න දක්ෂ අධ්‍යක්ෂක වරයෙක් හමුවේවා .ඔබ ට මම හදවතින් ම සුප පතනවා.සුබ අනාගතයක් (දී)
ඔබට අපි මුළු හදවතින්ම සුබ පතනවා. ඔබට ජයෙන් ජයම වේවා. සුබ අනාගතයක්.(නදී)
තිරයේ මා දකින විශිෂ්ඨ ප්‍රතිභාපුර්ණ රංගන ශිල්පිනියක්. ඔබට මගේ හෘදයාංගම සුභ පැතුම්.(නදී)
අනේ කෝ අර බහුබූත දොඩවන අපේ කට්ටිය..චාන්දනී අක්කේ ඔබට මගේ සුබ පැතුම්. ඔබට ඔයිට වැඩිය දෙයක් කරන්න පුළුවන්.බුදු සරණයි! (නි)