දහවලට වඩා වැඩියෙන් මේ සන්ධ්‍යාව විචිත‍්‍රවත්ය. ඒ විචිත‍්‍රත්වය මොනවට පෙනෙන්නේ බේරේ වැවේ නිසල ජලතලය දෙස බලා ඉන්නා විටය. රත්තරං පාට අව්රැල්ල බේරේ වැවේ නිල්පාට දියරැල්ල සමග අතිනත ගෙනය. ශ්‍රී ජිනරතන ඉංග‍්‍රීසි අධ්‍යයන ආයතනයේ කාර්යාලයෙන් නික්මුණු උන්වහන්සේ බේරේ වැව අද්දරට වැඩම කළහ.
පසෙක බස්නැවතුමය. එහි සිටගෙන සිටින මිනිසුන්ද ගැහැණුන්ද සිටින්නේ හිස ගිනිගත් කලෙක මෙනි. කුටුම්බවල හෝ රාජකාරී ස්ථානවල හෝ ප‍්‍රශ්නවලින් ඔවුන් හෙම්බත්ය...... ජීවිතය කරදරයකි. පිටුපසින් තිබෙන බේරේ වැවේ ජලතලය මත නැගෙන දියරැල්ලක අපූරුව හෝ එම දිය සිපගෙන හමන සුළෙඟ් සුවය හෝ ඔවුනට නොදැනෙන පාටය. ඔවුන් දෙස බැලූ හාමුදුරුවෝ බේරේ වැව මධ්‍යයේ ඇති සීමා මාලකයට වැඩම කළහ.
”රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ”
බසයේ සිටි මගියෙකු හෙමිහිට මිමිනුවේය.
උන්වහන්සේ හෙමින් හෙමින් ඇවිද ගියහ.
සුදෝ සුදු චෛත්‍යය සිලි සිලි සුළෙඟ් කොළ, දළු නැලවෙන බෝධිය මෙත් කරුණා වැසිවස්සන බුදුරුව නෙත් ගැටෙන ඕනෑම මොහොතක හිත සමාධිගත වේ. එහෙත් හාමුදුරුවෝ තම සිත පෙලූ දුක්ගැනවිල්ල බුදුහාමුදුරුවන්ට වාර්තා කළහ.

පිහිටක් නැති සරණක් නැති
සතුටක් නැති මූණක් නැති
මේ සසර දනව්වේ
අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා
බුදු හාමුදුරුවනේ
හබලක් නැති ඔරුවක් නැති
මිනිසුන් වෙති වෙරළක් නැති
මේ සසර දනව්වේ
අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා
බුදු හාමුදුරුවනේ
නිවනක් ඇති ගෙදරක් නැති
ගමනක් වෙති පෙරසත් නැති
මේ සසර දනව්වේ
අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා
බුදු හාමුදුරුවනේ
රඹුකන හාමුදුරුවන් එසේ කීව ද බුදුහාමුදුරුවෝ කිසිත් නොකීහ. බුදුන් වහන්සේගේ මුවෙහි තිබෙන උපේක්ෂා සහගත මන්දස්මිතය එලෙසම මුවෙහි රැුඳී පැවතිණි.
එහෙත් තම දුක්ගැනවිල්ලට බුදුනෙත් විවර වූ බව දත් අපේ හාමුදුරුවෝ සීමා මාලකයේ පසෙකට වී බේරේ වැවේ ජලතලය දෙසම බලා සිටියහ.
උන් වහන්සේ මේ බේරේ වැවට පෙම් බඳින්නට පටන් ගත්තේ මීට දශක තුන හමාරකට පමණ පෙරාතුවය. ඒ කවදාදැයි හරියටම සෙවූ හාමුදුරුවෝ ඒ 1979 අවුරුද්ද බව සිහිපත් කරගත්හ. ඒ වන විට කැලණිය සරසවියෙන් බෞද්ධ දර්ශනය පිළිබඳ ගෞරව උපාධියක් ලබා තිබූ හාමුදුරුවෝ ගංගාරාමයේ අධ්‍යාපන ආයතනයේ වැඩකටයුතු බාරගත්හ. කොළඹ වාසය උන්වහන්සේගේ සාහිත්‍ය සේවනයටද පිටිවහලක් විය. සිය ප‍්‍රකාශන මාධ්‍යය බවට ගීතය පත්කරගත් සිද්ධාර්ථ හාමුදුරුවෝ තමන් ලියූ පළමු ගීතය සිහියට නගාගත්හ.
කල්ප කාල ගතවෙනතුරු
මෙතේ බුදුන් බුදු වනතුරු
වැඩ සිටින්න බෝ සමිඳේ
මහ බෝ සමිඳේ
නමින් ලියූ ඒ ගීතය ගැයුවේ විශාරද දයාරත්න රණතුංගයන්ය. ඒ ගීතය ලියැවුණු 1976 වසර වන විට සිද්ධාර්ථ හාමුදුරුවන් වැඩසිටියේ කැලණිය සරසවියේ ය.
හැත්තෑව දශකය වූ කලී සිංහල ගීතයේ ස්වර්ණමය යුගය විය. ගුවන් විදුලියෙන් ශ්‍රේණිගතවූ ගායකයන් ප‍්‍රතිභා සම්පන්න ගීත රචකයන් මෙන්ම නිර්මාණශීලී සංගීතඥයන් එකල සංගීත ක්ෂේත‍්‍රයේ සිටියහ. ඔවුන් නිර්මාණය කළ ගීතයක ප‍්‍රතිභාව මැන බලන්නට තවත් ප‍්‍රවීණයන් පිරිසක් කැපව සිටියහ. මේ නිසා එකල බිහිවුණු ගීතයක් වෙතොත් එය අතිවිශිෂ්ට නිර්මාණයක් ම විය. මේ නිර්මාණ බිහිවූ සැනින් එය ප‍්‍රචාරය කිරීමට බලා සිටි ගුවන්විදුලියක් එකල තිබිණි. හැත්තෑව දශකය සිංහල ගීතයේ ස්වර්ණමය යුගය බවට පත්වූයේ ඒ ආකාරයෙනි. සිද්ධාර්ථ හාමුදුරුවන් වාසනාවකට මෙන් ගී ලියන්නට පටන්ගත්තේ එකල ය.
එහෙත් අද එසේ නොවේ. විවෘත ආර්ථිකයත් සමග සියලූ දේ විවෘත විය. ගීතයක් බිහිකරන්නට කිසිදු ප‍්‍රතිභාවක් අනවශ්‍ය ය. අවශ්‍ය වන එකම දේ මුදල් පමණකි. ගායකයාට ගායන හැකියාවක් ගීත රචකයාට සාහිත්‍ය දැනුමක් ආදී කිසිවක්ම අවශ්‍ය නැති පරිසරයක් අද බිහිව තිබේ.
එහෙත් සිද්ධාර්ථ හාමුදුරුවෝ ඉන් නොසැලෙති. බුදුහිමියන් පුරුදු පුහුණු කළ උපේක්ෂාව සරල බව උන්වහන්සේ සතුව ද පවතින බැවිනි.
ගංගාරාමයට වැඩම කිරීමෙන් පසුව සිද්ධාර්ථ හාමුදුරුවන් අතින් ලියැවුණු රසයෙන් අනූන බොදු ගීත රැසකි. විටෙක ඒවා බණ පද වැනිය.
වරක් උන්වහන්සේ අතින් ලියැවී පණ්ඩිත් අමරදේවයන් මුවින් ගැයුණු ගීයක් උන්වහන්සේගේ මතකයට පිවිසියේය.
සසර දනව්වේ දුක් පීඩාවිඳ
නවාතැන් සොයා අප යනවා
ඒ යන ගමනේ කොතැනකදී හෝ
බුදු හිමි සෙවණේ සිහිල ලැබේවා
දනිමි හැඳින්නෙමි ගුණ තුන් රුවනේ
නිවමි නිවෙන්නෙමි දුක භව ගමනේ
සරමි සරන්නෙමි සදහම් අරණේ
ගයමි ගයන්නෙමි බුදුගුණ වරුණේ
මලකින් මලකට පාවෙන සුවඳයි
සවනින් සවනට යාවෙන මිහිරයි
පහනින් පහනට දැල්වෙන එළියයි
අඳුරින් එළියට යන මිණි පහනයි
රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ නම මේ ගීතත් සමග රසික සමූහයා අතර පැතිරෙන්නට පටන් ගත්තේය. තව තවත් ගී ලියූ උන්වහන්සේ ‘සිංදු ලියන හාමුදුරුවො’ ලෙස විරුදාවලි ලබද්දී තවත් පිරිසක් බුද්ධ පුත‍්‍රයකුට ගී ලිවීමට කැපදැයි විමසූහ.
බෞද්ධ දර්ශනය මැනවින් හැදෑරූ සිද්ධාර්ථ හාමුදුරුවන් ළඟ ඒ චෝදනාවන්ට පිළිතුරු තිබිණි.
සිදුහත් තවුසා බුද්ධරාජ පදවිය ලද වහාම උදාන ගීතයක් ගායනා කළේය. අනේකා ජාති සංසාරා නම්වූ එකී උදාන ගීතයත් තමන් ලියූ ගීතයකත් අතර වෙනසක් නොවන බවට සිද්ධාර්ථ හාමුදුරුවෝ තර්ක කළහ. පාලියෙන් ගාථාවක් වන්නේ සිංහලෙන් ලියන ගීතයකි. මේ නිසා මේ ගී නච්ච ගීත වාදිත යන තහනම් විසූක දස්සනවලට අයත් වන්නේ නැති බව උන්වහන්සේගේ විශ්වාසයයි.
ඇත්තවශයෙන්ම උන්වහන්සේ තම ගීත මගින් කළේ බණ කීමක් විනා අන්කිසිවක් නොවේ. එක්කෝ උත්තම බුදුගුණ වැනුවෝය. නැත්නම් බණ පදයක් කීවෝය.
මේ තර්ක පිළිගත් රසික සමූහයා අපේ හාමුදුරුවන්, සිංදුවෙන් බණ කියන හාමුදුරුවෝ බවට පත්කළ අයුරු හාමුදුරුවන්ට සිහිපත් විය.
අඳුර හාත්පස ගලා ගොසිනි. එහෙත් සඳ අහසේ ගමන් අරඹා තිබිණි. සඳ රැසින් බේරේ වැවේ ජල තලය කහපාට වෙද්දී සිද්ධාර්ථ හාමුදුරුවෝ සීමා මාලකයෙන් නික්මුණහ. උන් වහන්සේගේ හිත සංසුන්ය. හැමූ සුළඟක අරලිය මල් සුවඳක් මුසුව තිබිණි. බේරේ වැවේ ඉවුර දිගේ සංසුන් පියවර තැබූ උන්වහන්සේට පසෙක වූ අරලිය ගසෙක මල් පිපී ඇති අයුරු දැකගත හැකිවිය.
‘මලක මෙලෙක හිතාගන්න බැරි අතකින් මල් නෙලන්න එපා යාලූවේ’ යි බණ පදයක් කියූ අයුරු මතකයට නගාගත් සිද්ධාර්ථ හාමුදුරුවෝ තවදුරටත් බේරේ වැව දෙසම බලාසිටියහ.
උන්වහන්සේට සිතුනේම සංසාරේ බෝහෝ ඈත ආත්මයක බුදුහිමියන් දම්දෙසන මොහොතක ඒ දහම් දෙසුමට තමන්ද කන්දී සිටින්නට ඇති බවකි.... නිවන් දකින්නට පින් මදිවූ බවකි.
බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
බණත් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට පින් මදිවෙන්නැති
ඒකයි තවමත් සංසාරේ
දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති
බුදුන් වඳින්නට ඒ කාලේ
නිවන් දකින්නට පින්මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ
අපිත් එක්ක සිටි අපේම යාලූවෝ
නිවන් දකින්නැති ඒ කාලේ
මෙතේ බුදුන් දැක නිවන් දකින්නට
පින් පුරවමු අපි සංසාරේ
මේ පදවැල ආචාර්ය වික්ටර් රත්නායකයන් ගැයූ යුගය සිද්ධාර්ථ හාමුදුරුවෝ සිහිපත් කළහ. වික්ටර්ගේ ගී අතරින් අතිශය ජනප‍්‍රියත්වයක් ලබාගත් මේ ගීතය සිද්ධාර්ථ හාමුදුරුවන් ලියූ ගීතාවලියේ ජනප‍්‍රියම ගීතය යැයි විචාරකයන් කියා තිබිණි.
එහෙත් තමන් ලියූ තවත් බර ගණනක් ගී නිතර නිතරම ඇසුණු යුගයක මතකය සිද්ධාර්ථ හාමුදුරුවන් සතුය. සඳ තරුමල් මට දන් දුන්, පිපිලා පරවෙන සුවඳ කැකුළු මල්, රැ සඳ අහස් ගෙඟන්, මහගෙදර මහ අවුල්, පිපෙනා මලකට ගලනා දොලකට, ලා දලූ බෝපත් සෙමෙන් සැලෙන සේ, මිනිසා හඳට ගියා ලූ....
ඒ පද වැල් එකින් එක මුමුනමින්ම උන්වහන්සේ ගංගාරාමය දෙසට වැඩම කළහ. උන්වහන්සේගේ ඇස ගියේ පොඩිහාමුදුරු නමක් වෙතටය.
ළමා වියේ කිරි සුවඳ ගියේ නැති
ළමා වියේදිම කසාවතක් දැරු
පොඩි හාමුදුරුවො පුංචිම කාලේ
තනියම හිතිලද මහණවුණේ?
සිද්ධාර්ථ හාමුදුරුවන්ට පෙර කලෙක ලියූ තවත් ගීයක් සිහිපත් විය. ඒ පැනය මාලනී බුලත්සිංහල තමන්ගෙන්ම ඇසුවේ නම් තමන්ටම දීමට පිළිතුරක්ද තිබිණි.
එතකොට මගෙ වයස අවුරුදු දොලහයි. ඒ කාලෙත් බණ අහන්න පිරිත් අහන්න මං හරි කැමතියි. මල්ලිලා නංගිලා සෙල්ලම් කරද්දී මං පන්සලට ගිහින් පොඩි හාමුදුරුවරු දිහා බලාන හිටිය, පස්සේ මගෙ අම්මයි තාත්තයි මාව ගංගාතිලකරාමයට බාර දුන්නා....
මාතර මොරවක් කෝරලයේ පිහිටි රඹුකන ගම්මානයෙන් සසර කතරින් එතෙර වන මගට පිලිපන් හැටි සිද්ධාර්ථ හාමුදුරුවෝ සිහිපත් කළහ.
සිද්ධාර්ථ හාමුදුරුවෝ බෝධිය වටා පැදකුණු කළහ. සඳ එළිය බෝමළුවේ සෙවණැලි මතුකර ඇත. වෙසක් පෝයට තවත් ඇත්තේ සතියක් තරම් සුළු කාලයකි. 1950 වසරේ වෙසක් පුන් පෝය උදාවූයේ මැයි 22 වැනි දා වකය. ආනන්ද ලියනගේ නමින් තමන් උපන්නේ එදා බව සිද්ධාර්ථ හිමියනට සිිහිපත් විය. දැන් දිවි ගමනේ දශක හයක් ගෙවී අවසානය.
සිරි සිරි බෝපත් සුළඟට නැලවෙයි එයද ගී හඬකට නොදෙවෙනිය
ලා දළු බෝපත්
සෙමින් සැලෙන සේ
යශෝධරා දේවී
වාවනු බැරිතැන
රහසින් හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී
තම මතකය යළිත් අතීතයට යන හැටි සිද්ධාර්ථ හිමියන්ට දැනිණි.
යශෝදරාවන් යනු ආත්මාර්ථකාමී නොවූ සැබෑම ආදරය පිළිබඳව ලොවට හෙලිදරව් කළ ලොවේ උතුම්ම කාන්තාවයි. සිදුහත් කුමරා ගිහිගෙයින් නික්ම ගියදා ඔහුට බැණ නොවැදී සියල්ල දරාගත්තේ සැබෑ ආදරයේ ස්වරූපය ලොවට කියාපාමිණි.
යශෝධරාවන් පිළිබඳව තවත් ටිකක් මෙනෙහි කළ හාමුදුරුවෝ සිය කුටියට ගොස් කඩදාසියක් අතට ගත්හ.
උන්වහන්සේට ලියන්නට ඇත්තේ අනන්ත වූ බුදු ගුණය ම පමණි.
හිමි සනරාමර ලෝක සිවංකර
ලොව්තුරු බුදු සමිඳේ
මාහද මැලවෙන මල් දෝතට ගෙන
පාද වඳිමි නිබඳේ
හිමි ගුණ ආකර ලෝක දිවාකර
ලෝව්තුරු බුදු සමිඳේ
හිත දුක වාවන බුදු බණ පදයක
මිහිර දකිමි නිබඳේ
හිමි දම් ආකර ගුණමිණි සාගර
ලොව්තුරු බුදු සමිඳේ
හිත සුවදායක බුදු ගුණ ගීයක
රසය විඳිමි නිබඳේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාදීප නිරන්තරයෙන් මේවගේ ලිපි පළකරන්නකෝ. කියවනකොටත් පුදුම සුවයක් දෙනෙන්ව .ඔබවහන්සේට ගොඩක් පින්. චිරංජයතු ,,,
කලෙක පස්සේ රටට ඇනෙන සුවයක්,අනේ අපේ හාමුදුරුවන්ට බොහොම පින්!!!!!!(අ)
කාලෙකින් ලංකාදීපය හොඳ ලිපියක් පලකරලා. කියවන්න ආසා හිතෙන ලිපියක්. ඔබවහන්සේටත් දීර්ගයුෂ ලැබෙන්න ඕනේ, ලංකදීපටත් ස්තුතියි.(නදී)
ලංකදීප නියමයි ආ.(නදී)
අද ඇහෙන ගීත වල අදහස තේරුම් ගන්න දවස් තුනක්වත් නිවාඩු දාල කල්පනා කරන්න ඕනා.(නදී)
අදහස තේරුම් ගන්න විතරක් නෙවෙයි මොනවද කිව්වේ කියලා තේරුම් ගන්නත් තව දවස් 3 යනවා සඳරුවන්. මොකද හෝයි හෝයි ගානවා විතරනේ ඇහෙන්නේ (අ)
මෙහෙම ගීතයක් ඇහෙන කොට හිතට දැනෙන්නේ පුදුම නිදහසක්. ඇත්තටම ඔබ වහන්සේ අපිට හොද ආදර්ශයක් දීල තියෙනවා. අපි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රර්ථනා කරනවා.(නදී)
සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ වහන්සේ ජීවත් වේවා. -------------------------------- මෙතේ බුදුන් දැක නිවන් දකින්නට පින් පුරවමු අපි සංසාරේ.... මේ පැතුම ඉටුවෙවා! හිත සුවදායක බුදු ගුණ ගීයක රසය විඳිමි නිබඳේ.................. ---මාහද මැලවෙන මල් දෝතට ගෙන පාද වඳිමි නිබඳේ.... (නි)
ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. දේශපාලනයෙන් තොරව ඔබ වසන්සේ කරන සේවය ඉතා ගෞරවනීයයි.(නදී)
අදකාලේ කටෝරක් නැතිව ඇසෙන නොහොබිනා ගීත කලාවට ඔබ වහන්සේගේ තැන ගන්න කෙසේවත් නොහැකිය. මෙවැනි මාහැඟි අර්ථවලින් පොහොසත් වූ ඔබ වහන්සේගේ ගීත කලාව තවත් චිරාත් කාලයක් පවතීවායි ප්‍රාර්ථනා කරන අතර ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරමි! තෙරුවන් සරණයි ! (නි)
ඔබ වහන්සේගේ දෙපා නැමද වන්දනා කරමි. මේ ලිපිය ඉතා රසවත්ව ලියු ශාන්ත කුමාර විතාන මහතාත් ලංකාදීප පුවත්පතත් අගය කරමි . (නි)
අරුත්බර වදන් ලිහිල් බසින් - මුතු පොටක් වෙසින් ගොතන සදහම්බර සිතුවිලි ලෙසින් - ජන හද තුල පින්කෙතාක් සාදන බව දුකින් දුරු කරන සිතින් - සදහම් සද කිරණ විහිද දෙන රබුක්කන සිදුවත් මාහිමි ඔබ - මේ රන්දෙරණට පිනක් නේද (ස)
ශාන්ත මහතාගේ ලිපියද සුන්දර ගීතයකි. (ත)
ලංකාදීප පුවත්පතට මගේ ස්තුතිය පුද කරමි. (නි)
ඉතාම රසවත් ලිපියක්, එයටම අදාලව සිත නිවන ලෙස භාෂාව යොදා ගෙන ඇත (නි)
ඔබ වහන්සේ අද අපේ රටට මැණිකක් අපේ හමුදුරුවනේ.(නදී)
මේ රටේ ඉන්නම ඕන කෙනෙක් තමයි අපේ හාමුදුරුවෝ. නැත්නම් අර ස්ටාර් ගායකයෝ මේ රට විනාශ කරනවා.(නදී)
පෙළපාලි දහසකින්, සටන්කාමී සංවිධාන දහසකින්, ගිනි තබාගැනීම් දහසකින් කරන්න බැරි දේවල් සංවර,මිහිරි,අරුත්බර වචන කිහිපයක් එකට ගැටගැසීම මගින් ඔබ වහන්සේ තනිවම කරන සේවය විශිෂ්ඨි. ඔබ වහන්සේ හැබෑම බුදු පුතෙකි. මා සිරස නමා ඔබවහන්සේට වන්දනා කරමි.(නදී)
කිහිපවිටක් දුටුවත් ඔබවහන්සේට කතාකරන්න පින් මදි වුනා. අපේ හාමුදුරුවනේ, ඔබවහන්සේ අපිට මහත් ආඩම්බරයක්.සසුන් කෙතට ඔබවහන්සේ සරු අස්වැන්නක්.දළඳා හාමුදුරුවන්ගේ පිහිටෙන් තවත් උසස් නිර්මාණ බිහිකිරීමට නිරෝගී සම්පත්තිය අපේ හාමුදුරුවන්ට පතමි. (නි)
හාමුදුරුවෝ කියන්නේ ජාතියේ ත් බුදු දහමේ ත් පිනට මෙරට පහළ වූ යථිවරයාණන් වහන්සේ නමක්. ගීතයෙන් බණ කියන කලාව උගන්වපු හාමුදුරුවෝ කියලා තමයි මම නම් උන්වහන්සේව හඳුන ගන්නේ. උන්වහන්සේ විසින් රචිත “ලා දලු බෝ පත් සෙමින් සැලෙන සේ“ ගීතය මා බෙහෙවින ප්‍රිය කරන ගීතයක්. අපේ හාමුදුරුවන්ට තව චිරාත් කාලයක් එවන් සොඳුරු, පහන් සිතිවිලි ජනිත කරවන නිර්මාණයන් කිරීමට හැකියාව සහ නිදුක්, නිරෝගී දිඟාසිරි පතනවා... (දී)
අත්තමය් හිතට පුදුම සහනයක් දැනෙනවා. මේ වගේ සිංදු අපට අහන්න ලැබෙන්නේ කලාතුරකින්. (නි)
රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ වැනි විරල වියතුන් හෙලදෙරණට මහත් ආඩම්බරයකි. ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ පතන්නෙමි. (නි)
මේ ගීත රස විදිනවිට බුදු ගුණ ශ්‍රවනය කරනවා හා සමානයි.(නදී)
හිමි ගුණ කියන්නට මගේ කවි බස මදිය හිමි ගුණ ගයන්නට මගේ ගී රස මදිය බුදුගුණ වලින් ඔබ කළ ඒ මහ මෙහෙය මහ මෙරකටත් වැඩි මිස අඩු නොම වේය (නි)
අනේ හාමුදුරුවනේ, ඔබට බොහෝ පින් ලැබේවා! (නි)
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අපගේ උත්තමාචාරය! (නි)
ඔබ වහන්සේට බොහෝ පින් ලැබේවා. ලංකාදීපයටත් ගොඩක් ස්තුතියි.(නදී)
බුදු ගුණ කිව්වා නිරන්තරේ ......... බුදු බන ඇහුව නිරන්තරේ ...... ගති ගුණ අතින් අපි තාමත් වනන්තරේ ...... අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සුවය පතමු! (නි)
හිමියනි, අපේ සමහරක් මිනිස්සු බුදුබණ අහන්නේ නැහැ කම්මැලිකමට. ඒත් සුමියුරු ලයාන්විත ගීයකට කන්දීගෙන ඉන්න කැමතියි. ඔබ වහන්සේ මේ අරුත් ඇති සිත නිවන ගී ඇසීමත් බුදුබණ පතුරාලීමේ තැත අනර්ඝයි. ඔබ වහන්සේ නිරෝගී වේවා!(නදී)
" අපි අසරණ වෙලා වගෙයි හිතට දැනෙනවා.....බුදුහාමුදුරුවනේ.....".මෙවැනි ගීත අප සවන් අතර නිබඳවම රැඳුනේ ඔබ වහන්සේගේ අර්ථාන්විත පදවැල් නිසයි. ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා...!!!! (නි)
අනේ අපේ හාමුදුරුවනේ, අද නාලිකා තුලින් ඇහෙන්නේ, පෙනෙන්නේ හිත නිවන ගී පද නෙමෙයි. යටිගිරියෙන් කෑගසන තේරුමක් නැති කන් කරච්චල . හැබැයි ඔවුන් නම් කියන්නේ හාමුදුරුවනේ, ඒක ගීතයේ නව ඉමලු. (නි)
ගරුතර, ස්වාමීන්වහන්ස ,අද සිංහල ගීතයට ලබා තිබෙන කලදසාව ගැන දුක හිතෙනවා. "අව්‍යාජ"කියන වචනයේ තේරුම නොදන්න විනිසුරුවන් ඉන්න විනිශ්ය මන්ඩලයක් මගින් "සුපෙර් ස්ටාර්ස්" තෝරන රටක් මේක. (නි)
සිද්ධ අර්ථයෙන්ම ''සිද්ධාර්ථ" නම් වූ " අපේ ස්වාමින් වහන්සේ තැවුණ සිත් සුවපත් කරන ගන්න උත්සාහය " අමා ඔසුවක්". ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා. (නි)
ඇත්තටම අප අසරණ වෙලා අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා! (නි)
ඔබ වහන්සේට සුබම සුබ උපන් දිනයක් පතනවා. (නි)
ඔබ රුව දකින සැ විට මට ඇස්. මහින්ද හිමි මතක් වෙනවා. ඒ මුහුණෙත් මේ මුහුණෙත් දකින සමානකම ගීත තුල දකින්නේ ඊට වෙනස්ම විදියකට වුණත් ඔබ දෙදෙනාම මේ රටේ මිනිස්සුන්ගේ ඇස් අරින්නට කළ මහ මෙහෙවර අපමණය. ඔබේ ගී අසන අසන සැම මොහොතකම මම තව තවත් බුදුන් වෙත ලං වෙනවා. ඒ කියන්නේ නිවනට ලං වෙනවා. බුදුන් ගෙන් බණ අසන්න පින් නොකළත් ඔබේ බුදුගුණ ගීත අසන්න කල පින් බෙලෙන් නිවනට දොරටු විවර වේවා! යනු මගේ පැතුමයි. ඔබට තව තවත් මෙවන් ගී ලියන්නට සියක් ආයු ලැබ මගේත් ආයු ලැබ සුවන් වෙසෙන්නට දීර්ඝායු පතමි! (නි)
සරල බසින් දෙසවන රැව් දේ තවම.. හෙල සංගීත රසවත් කර පද තැනුම.. ආදර දයා කරුණා මඟ පෙන්වීම.. අගයමි සමිඳු ඔබෙ සේවය සැමදාම (නි)
අප අසරණ වෙලා වගේ හිතට දැනෙනවා අපේ හාමුදුරුවනේ... (නි)
අනේ ඔබ වහන්සේව දකින්න ලංකාවට ආපු දවසක අපි එනවා. මේ සසර දනව්වේ අපි තනිවෙලා.... මේ සින්දු අහපුවහම බන ඇහෙව්වා වගේ තමා.ඔබ වහන්සේට චිරන් ජයතු. (නි)