(කේ. බුද්ධික කුමාරසිරි)

අතුරුගිරිය මිල්ලෙනියම්සිටි සිට අතුරුගිරිය හරහා කොළඹට ධාවනය කළ බස් රථයක් අතුරුගිරිය නගරය ආසන්නයේදී පෞද්ගලික බස් රථයක රියැදුරා ඉකුත් 6 වන දින හිතාමතාම පසුපසට ගෙන මෙට්ට්‍ බස් රථයේ ගැටීමට සලස්වා ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර  පැවසීය.

එම බස් රථයේ රියදුරා විසින්ම ඊට පෙරදින ද රාජගිරිය ප්‍රදේශයේදී අදාල මිලේනියම්සිටි සිට ධාවනය වූ මෙට්රෝ බස් රථයක් අනතුරට ලක්කර ඇති බවත් අනාවරණය වූ බවද ඒ මහතා පැවසීය.‍

කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශවල ධාවනය වන මෙට්රෝ බස් රථ ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන කඩාකප්පල්කාරී සහ කුමන්ත්‍රණකාරී ක්‍රියාකාරකම්වලට එරෙහිව අපරාධ නීතිය සහ පොදු දේපළ පනත යටතේ තරාතිරම නොබලා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන ඇති බව ඒ මහතා කීය.

මාකුඹුර වාහන අංගනයේදී ඊයේ (8) අලුයම 3.15ට පමණ පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයකු බස් රථය පසුපසට ධාවනය කර මෙට්රෝ බස් රථයකට හානි සිදුකර ඇති බවත් එම කොන්දොස්තරවරයා අධික ලෙස බීමත්ව සිට ඇති බවත් වාහන ධාවනය සඳහා වලංගු රියදුරු බලපත්‍රයක් පවා නොතිබූ බවත් වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වී බවද මෙහදී සදහන් කළේය.

ඒ අනුව එම බස් රථවල ආරක්ෂාව තහවුරු කිරීමටත්, බුද්ධි තොරතුරු ලබාගනිමින් පාරිභෝගික පොදු ප්‍රවාහන සේවයට බාධා පමුණුවන පුද්ගලයින්ට එරෙහිව අපරාධ නීතිය, මෝටර් වාහන පනත සහ පොදු දේපළ පනත යටතේ දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් පොලීසිය සූදානමින් සිටින බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා මෙහිදී වැඩි දුරටත් අවධාරණය කරන ලදී.