(ගයාන් සූරියආරච්චි)

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය පෞද්ගලික රෝහලටකට ඉදිරිපත් නොකර ජාතික අක්ෂි රෝහලට හෙට (9) ඉදිරිපත් කිරීම නියමිත බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න මහතා පැවැසීය.

ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ඇසක පවතින රෝගී තත්ත්වයක් මත ඇය අද (8) බන්ධනාගාර විශේෂඥ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව විශේෂඥ වෛද්‍යවරයා නිර්දේශ කර ඇත්තේ ඇය ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කරන ලෙසය.

'සිරිලිය සවිය' ගිණුම තුළ සිදුවූ බව කියන මුදල් අක්‍රමිකතා චෝදනා මත අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය ඊයේ නියෝග කළාය.