
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60වෙනි සංවත්සර සමරු උලෙළෙ සඳහා ථේරවාද, මහායාන සහ වජ්රයාන බෞද්ධ සම්ප්‍රදායන් නියෝජනය කරමින් රටවල් 50කට අධික සංඛ්‍යාවක භික්ෂූන් වහන්සේලා සහ භික්ෂුණීන් වහන්සේලා සහභාගී වීමට නියමිත බව එහි සංවිධාන කටයුතු පිළිබඳ පූර්ව සාකච්ඡාවේදී අනාවරණය විය. මෙම සාකච්ඡාව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
මෙම සංඝ සම්මේලනය සඳහා ගිහි නියෝජිතයන් 800කට ආසන්න පිරිසක් ද සහභාගී වීමට නියමිතය.
එසේම, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ත්‍රෛනිකායික මහනායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය 5,000කට ආසන්න පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතව තිබේ.
නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙම සංවත්සර සමරු උලෙළ නොවැම්බර් 28 වෙනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන අතර, දෙසැම්බර් 02වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
විදේශීය මහා සංඝරත්නය ප්රමුඛ ගිහි නියෝජිතයන් මෙරටට පැමිණෙන කටුනායක ගුවන්තොටුපළ අවට මෙන්ම ඔවුන් ගමන් ගන්නා අනුරාධපුරය, මහනුවර ඇතුළු ප්‍රදේශ අලංකාරවත් කිරීම සඳහා අදාළ පළාත් පාලන ආයතනවල සහාය ලබාගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ සැමරුම් උත්සවයක් මෙරට පැවැත්වීමට ලැබීම රටට මහත් අභිමානයක් බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා මෙහිදී සඳහන් කළේය.එය සාර්ථකව පැවැත්වීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කළේය.
එසේම, මෙම උලෙළ තුළින් ශ්‍රී ලංකාවේ සංවිධාන ශක්තිය සහ ආගන්තුක සත්කාරය ජාත්‍යන්තරයට විදහා දැක්වීමට අවස්ථාවක් උදාවන බව සඳහන් කළ ජනාධිපති ලේකම්වරයා, එය විදේශීය මහා සංඝරත්නය ප්රමුඛ ආරාධිත ගිහි නියෝජිතයන්ට පිරිනමන ගෞරවයක් ලෙස ද සැලකිය යුතු බව පැවසීය.
ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60වෙනි සංවත්සර සමරු උලෙළ සාර්ථකව පැවැත්වීම සඳහා රජය දක්වන උනන්දුව අගය කරන බව සඳහන් කළ සංවත්සර සංවිධායක කමිටුවේ සභාපති ආචාර්ය සාහිත්‍යසූරී බෝදාගම චන්දිම නාහිමියෝ මෙම උලෙළ උත්කර්ෂවත් අයුරින් පැවැත්වීම මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට ද මනා පිටුවහලක් වනු ඇති බව පෙන්වා දුන්හ.
ලෝක බෞද්ධ සංඝ සම්මේලන සංවත්සර සංවිධායක කමිටුවේ ප්‍රධාන ලේකම් මාඉටිපේ විමලසාර නාහිමි, කමිටුවේ සාමාජික කුඩාකත්නෝරුවේ විනීත හිමි, පස්ගොඩ සුමිත්ත හිමි ඇතුළු මහා සංඝරත්නයද, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් රෝෂන් ගමගේ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපති අරෝෂ අතපත්තු, දෙහිවල-ගල්කිස්ස මහ නගර සභාවේ නගරාධිපති කේ. ඩී. පැරකුම් ශාන්ත, කැස්බෑව නගර සභාවේ සභාපති චාමර මද්දුමකළුගේ, කඩුවෙල නාගරික කොමසාරිස් එස්. ඒ.නදීෂා ඩී. සපරමාදු, දෙහිවල-ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ඒ.ඒ. විදුර සම්පත් යන මහත්ම මහත්මීහුද, පළාත් පාලන ආයතනවල ලේකම්වරු, නාගරික කොමසාරිස්වරු, රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල ප්‍රධානීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd