(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ වන අලි ඇතුන්ගේ ආරක්‍ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ අලි මිනිස් ගැටුම් අවම කිරීමේ අරමුණින් ත්‍රිවිධ හමුදාවේ දායකත්වය සහිත ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ සංකල්පයකට අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මකය. පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇත.

ආරක්‍ෂක අංශ සතු මෙහෙයුම් හැකියාවන් සහ සම්පත් වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ කාර්යභාරය සමඟ ඒකාබද්ධ කරමින්, වන අලි ආරක්‍ෂාව සහ අලි - මිනිස් ගැටුම් අවම කිරීම සඳහා පවතින වැඩපිළිවෙළ වඩාත් කාර්යක්‍ෂම කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.

ඒ අනුව, ත්‍රිවිධ හමුදාව, වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, පශු වෛද්‍ය විශේෂඥයන් සහ අනෙකුත් අදාළ ආයතන අතර මෙහෙයුම් සම්බන්ධීකරණය සහ තොරතුරු හුවමාරුව විධිමත් කිරීම සඳහා යුද හමුදා මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ද යෝජනා කර තිබේ.

වන අලි ඝාතන සහ අනෙකුත් වනජීවී අපරාධ වැලැක්වීම, නිරීක්‍ෂණ කටයුතු සහ තොරතුරු හුවමාරුව ශක්තිමත් කිරීම මෙන්ම අලි - මිනිස් ගැටුම් බහුල ප්‍රදේශවල ඒකාබද්ධ මෙහෙයුම් සඳහා සහාය ලබාදීම ද මෙම වැඩපිළිවෙළේ ප්‍රමුඛ අරමුණු අතර වේ.