
සෞරග්‍රහ මණ්ඩලයෙන් ඔබ්බට ගිය, ‘වොයේජර් 1’ නාසා රොබෝ යානය හෙට (18) ‘ආලෝක දිනයක්’ පසු කරනු ඇත. මිනිසා නිර්මාණය කළ රොබෝ යානයක්, අභ්‍යවකාශය හරහා ඈතට ගොස් ‘ආලෝක දිනයක්’ පසු කරන පළමු ඓතිහාසික අවස්ථාව මෙයයි. ‘වොයේජර් 1’, ‘ආලෝක දිනය’ පසු කරද්දී එය පෘථිවියේ සිට කිලෝ මීටර් බිලියන 25.9 ක දුරක් සම්පූර්ණ කර තිබෙනු ඇත.
‘ආලෝක දිනයක්’ සහ ‘ආලෝක වර්ෂයක්’ යනු කාලය මැනීමට භාවිතා කරන ඒකක නොව, විශ්වයේ අතිවිශාල දුර ප්‍රමාණය මැනීමට භාවිතා කරන තාරකා විද්‍යාත්මක ඒකක වෙයි. ආලෝක වර්ෂයක් යනු ආලෝක කදම්භයක් රික්තයක් තුළ පෘථිවි වර්ෂයක්, එනම් දින 365.25 ක කාලයක් තුළ ගමන් කරන සම්පූර්ණ දුර ප්‍රමාණයයි.
ආලෝකය තත්පරයකට කිලෝමීටර 300,000ක පමණ වේගයකින් ගමන් කරන බැවින්, වර්ෂයක් තුළ එය ආසන්න වශයෙන් කිලෝමීටර ට්‍රිලියන 9.5ක අතිවිශාල දුරක් පසු කරයි. උදාහරණයක් ලෙස, අපට ආසන්නතම තාරකාව ලෙස සැලකෙන ‘ප්‍රොක්සිමා සෙන්ටෝරි’ තාරකාව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 4.2ක් පමණ දුරින් පිහිටා ඇති අතර, එම තාරකාවෙන් නිකුත් වන ආලෝකය අප වෙත ළඟා වීමට වසර 4.2ක කාලයක් ගත වන බවය.
‘ආලෝක දිනයක්’ යනු ආලෝක කදම්භයක්, පැය 24ක කාලයක් තුළ, එනම් දිනක් තුළ ගමන් කරන දුර ප්‍රමාණයයි. ‘ආලෝකය දිනක්’ තුළ ආලෝකය ගමන් කරන මෙම දුර ආසන්න වශයෙන් කිලෝමීටර බිලියන 25.9 කි.
නාසා විද්‍යාඥයන්, ‘වොයේජර් 1’ යානය බෘහස්පති සහ සෙනසුරු යන ග්‍රහලෝක ගවේෂණයට පිටත් කර හැරියේ, මීට අවුරුදු 49 කට පෙරය. ‘වොයේජර් 1’ විශ්වය හරහා ගමන් කරමින්, පෘථිවියේ සිටින විද්‍යාඥයන්ට දත්ත ලබා දීම සිදු කරයි. එම දත්ත පෘථිවියට ළගා වීමට ගතවන කාලය එක් දිනයකි. ‘වොයේජර් 1’ පමණක් නොව, නාසා විද්‍යාඥයන් විශ්වය ගවේෂණයට යැවුණු ‘වොයේජර් 2’ රොබෝ යානය ද මේ වනවිට අප සෞරග්‍රහ මණ්ඩලය පසුකර ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd